දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ 'ප්‍රින්ට් අවුට්' සිද්ධියක්: විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ සහයකයෙකු අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, Dehiwala - Mt. Lavinia Municipal Council
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ දේපළ අවභාවිත කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත කෝට්ටවත්ත හේවගේ අශාන් මදුසංක නමැති 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
දෙහිවල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගැනුණු ඔහු දෙහිවල, වෛද්‍ය පාරේ, රණජයගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අප වාර්තාකරු පැවසූ පරිදි, මෙම සැකකරු දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ ස.ජ.බ. නාගරික මන්ත්‍රී චන්න විකුම් නමැත්තාගේ සමාජ මාධ්‍ය ක්‍රියාකරු ලෙස කටයුතු කරන්නෙකි.
ඊයේ (මැයි 05) පස්වරුවේ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කාමරය තුළ රැඳී සිටිමින් ලැප්ටොප් පරිගණකයක් මගින් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදවා හැර ඇති බවත්, එහිදී පරිගණකය නගර සභාවේ විදුලිය භාවිත කරමින් ආරෝපණය කර ඇති බවත්, ඡායා පිටපත් යන්ත්‍රය මගින් ඡායා පිටපත් ලබාගෙන ඇති බවත්, එමගින් රාජ්‍ය දේපළ අවභාවිත කර ඇති බවත් නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වින්දන එදිරිසූරිය විසින් සිදුකර ඇති පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.
සැකකරු කළ බව කියන වැරදි මොනවා ද?
දෙහිවල පොලිසිය පැවසුවේ, සාපරාධී සාවද්‍ය පරිහරණය, අයුතු ඇතුළු වීම සහ සාපරාධී බලහත්කාරය යන කරුණු ඔස්සේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ය.
සැකකරු අවසරයකින් තොරව නගර සභාවේ කාමරයකට ඇතුළු වී ඇති බවත්, එහි තිබූ ෆැක්ස් යන්ත්‍රයක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් පරිහරණය කර ඇති බවත්, නගර සභාවේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරයක් සිදු කළ බවත් පොලිසිය පැවසීය.
විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්
අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙහිවල පොලිස් ස්ථානය වෙත පැමිණ මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් පැවසුවේ, අශාන් මධුසංක අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ය.
"මට පෙනෙන ආකාරයට අශාන් මැතිතුමා අත්අඩංගුවට ගැනීම තුළ ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරල තියෙනවා. මොකක් ද එතුමා කරපු වරද? අපේ නාගරික මන්ත්‍රීවරයෙකුගෙ ඉල්ලීමකට නගර සභාවේ ම නිලධාරීතුමියක් ළඟට ගිහිල්ල, ඒ මන්ත්‍රීවරයා ඒ නිලධාරීතුමියට වට්ස්ඇප් කරපු ඒ තොරතුරු ප්‍රින්ට් කරල ආපහු මන්ත්‍රීවරයාට ලබා දෙන එක තමයි එතුමා කළේ."
'මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බවට තහවුරු කරන ලේඛන තිබුණේ නැහැ'
කෙසේ වෙතත්, දෙහිවල පොලිසිය ප්‍රකාශ කළේ, අදාළ මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බවට තහවුරු කළ හැකි ලේඛන ඔහු සතුව නොතිබූ බව ය.
ඒ අනුව, නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පැවසීය.
මේ අතර, ඔහු ඇප මත මුදා හරින ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව ද පොලිසිය සඳහන් කළේ ය.


































