දිට්වා ආපදාවට මාස 5යි: හානි වූ උඩරට දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද ඇයි?

ගම්පොළ නාවලපිටිය දුම්රිය මාර්ගයට අයත් වරකාපිටිය ප්‍රදේශයට සිදුව ඇති හානිය
ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්පොළ සහ නාවලපිටිය දුම්රිය මාර්ගයට අයත් වරකාපිටිය ප්‍රදේශයට සිදුව ඇති හානිය
    • Author, සම්පත් දිසානායක සහ හරිනි දිසානායක මහනුවර සිට
    • Role, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 8

දිට්වා ආපදාව සිදු වී මේ වන විට මාස 5ක් ගත වී තිබේ. එයින් උඩරට දුම්රිය මාර්ගයට සිදුවුණු දැවැන්ත හානිය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු මුළුමනින් ම පාහේ අඩපණ විය.

කොළඹ - මහනුවර දුම්රිය මාර්ගයේ මේ වන විට දුම්රිය ධාවනය කෙරෙන්නේ, රඹුක්කන දක්වා පමණි. දිට්වා සුළි කුණාටුවෙන් දින 23කට පසු එම කොටසේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමත්විය.

එහෙත් මහනුවර සිට මාතලේ දක්වාත්, රඹුක්කන සිට මහනුවර දක්වාත්, මහනුවර සිට නාවලපිටිය දක්වාත්, නානුඔය සිට අඹේවෙල දක්වාත් මේ දක්වා දුම්රිය ධාවනය කෙරෙන්නේ නැත.

මේ වසර අවසානය වන විට කොළඹ සිට යළි මහනුවරට දුම්රියක් ධාවනය කළ හැකි වෙතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන (අප්‍රේල් 27 වන දා පැවති) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශ්වාසය පළ කළේය.

බලධාරීන් මෙලෙස දුම්රිය ගමන් ආරම්භ කරන දින වකවානු ගැන පවසන අතර වාරයේ, මාස 5ක් ගතව ඇතැත් කොළඹ - මහනුවර අතර දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට නොහැකි වීම හා එම කටයුතු මන්දගාමී බවට විපක්ෂ දේශපාලනඥයින්ගෙන් මෙන්ම ඇතැම් පිරිස්වලින් රජයට විවේචන එල්ල වෙමින් තිබේ.

මෙම පසුබිම තුළ මෙතෙක් කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම දුෂ්කර වී ඇත්තේ ඇයි දැයි අපි සොයා බැලුවෙමු.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම දුෂ්කර වී ඇත්තේ ඇයි?

දිට්වා සුළි කුණාටුවෙන් වැඩි ම හානියක් සිදුව ඇත්තේ කොළඹ - බදුල්ල සහ මහනුවර හා මාතලේ අතර දුම්රිය මාර්ගවලටයි.

එහෙත් එම කටයුතු දුෂ්කර වී ඇත්තේ, අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර රැගෙන ඒමේ අපහසුතාව හේතුවෙනි.

කඳු හෙල් සහිත පටු මාර්ග ඔස්සේ අවශ්‍ය යන්ත්‍රෝපකරණ රැගෙන ඒම අභියෝගයක් වී ඇති බව බීබීසී සිංහල අප කළ සංචාරයේදී දැක ගත හැකි විය.

මේ අතර දුම්රිය මාර්ග නවීකරණය කරමින් අලුතින් මාර්ග ඉදිවෙමින් තිබිණි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ලබා දෙන නිර්මාණ සැලසුම්වලට අනුව, දුම්රිය දෙපාර්තමේන්තුව, මිනින්දොරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම මාර්ග සැලසුම් සකස් කරන අතර පෞද්ගලික ඉදිකිරීම් සමාගම් ද ඉදිකිරීම් කටයුතු සඳහා දායක වී සිටී.

බැකෝ යන්ත්‍රයක ඡායාරූපයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, කඳු හෙල් සහිත පටු මාර්ග ඔස්සේ අවශ්‍ය යන්ත්‍රෝපකරණ රැගෙන ඒම අභියෝගයක් වී ඇති බව බීබීසී සිංහල අප කළ සංචාරයේදී දැක ගත හැකි විය

මගීන්ට අත්විදීමට සිදුව ඇති දුෂ්කරතා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කඩුගන්නාව වෙරළුගොල්ල ප්‍රදේශයේ පදිංචි සුනිල් වරකාපනේ බීබීසී සිංහල වෙත පැවසුවේ, මහනුවර දක්වා දුම්රිය ධාවනය නොවීමෙන් මාස ගාණනාවක් තමන් දැඩි දුෂ්කරතා මැද දිවි ගෙවන බවයි.

"ලොකු බලපෑමක් වුණා. ළමයින්ගේ ඉස්කොල පහසුකම් නැහැ. ගමන් පහසුකම්. අපිට රාජකාරිවලට යන්න එහෙම ගොඩක් අපහසුයි. ට්‍රේන් එක තමයි අපිට තිබුණ එක ම විකල්පය. ඒක ඇත්තට ම නැතිවෙලා ගියා. මාස ගාණක්ම අපි ගොඩක් දුෂ්කරතා මැද්දේ තමයි ජීවත් වෙන්නේ. මෙහෙන් එක්කෝ කොළඹ පාරට යන්න ඕනේ. කඩුගන්නාව ටවුන් එකට වගේ යනවා නම් රුපියල් 850ක්- 900ක් වගේ වැය වෙනවා. ඇත්තට ම ට්‍රේන් එක නැතුවයින් ලොකු ම පාඩුවක්."

ඇතැම් මගීන් කියා සිටියේ, උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ වන දිනයක් තමන්ට සිතා ගත නොහැකි බවයි.

නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් බීබීසීයට අදහස් දැක්වූ නිලධාරියෙකු පැවසුවේ, වතු ආශ්‍රිතව දිවි ගෙවන පියෙකු දුරකතනය ඔස්සේ අමතා දුම්රිය ගමන් ආරම්භ කරන්නේ කවදා දැයි, තමන්ගෙන් නිතර විමසා සිටින බවයි.

දුම්රිය ධාවනය නොවීම නිසා බස් සේවා මගින් තම දරුවන් පාසල් යැවීමට දිනකට එක් අයෙකු රුපියල් 240ක් වැය වන බව එම පියා පවසා තිබේ.

එම නිසා එම පියාට දරුවන් තිදෙනා ම සෑම දිනක ම පාසල වෙත යැවීමට නොහැකි වී ඇති අතර ඔවුන් ලබන දෛනික වැටුපෙන් දරුවන්ගේ පාසල් ගමන් සඳහා එවැනි වියදමක් දැරීමට නොහැකි වී ඇත.

මේ නිසා දරු තිදෙනාගෙන් එක් අයෙකු පමණක් තෝරා ගනිමින් දිනකට පාසල් යවන බව එම පියා දුම්රිය නිලධාරියා වෙත පවසා තිබේ.

ගම්පොළ සහ නාවලපිටිය දුම්රිය මාර්ගයට අයත් වරකාපිටිය ප්‍රදේශයට සිදුව ඇති හානිය
ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්පොළ සහ නාවලපිටිය දුම්රිය මාර්ගයට අයත් වරකාපිටිය ප්‍රදේශයට සිදුව ඇති හානිය

නාවලපිටිය හා ගම්පොළ අතර වරකාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ උපුල් නිශාන්ත අප සමග අදහස් දක්වමින් කියා සිටියේ, වරාකාපිටියේ සිට ගම්පොළ දක්වා දුම්රියේ රුපියල් 20කට ගමන් කළ හැකි වුවත් එම ගමන ත්‍රිරෝද රථයකින් යාමට තමන්ට රුපියල් දහසකට වැඩි මුදලක් වැය වන බවයි.

මේ නිසා තමන් මහත් පීඩාවට පත්ව සිටින බව පැවසූ ඔහු කියා සිටියේ, මින් පාසල් දරුවන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවයි.

"ඇත්තට ම අපහසුයි... අපි ගියේ ආවේ ඉතින් හැමදේම කකළේ කොච්චියේ. කොච්චි නැති හින්දා සෑහෙන පීඩාවක් විදිනවා අපි"
ඡායාරූප ශීර්ෂ වැකිය, "ඇත්තට ම අපහසුයි... අපි ගියේ ආවේ ඉතින් හැමදේම කකළේ කොච්චියේ. කොච්චි නැති හින්දා සෑහෙන පීඩාවක් විදිනවා අපි"

"හ රිම අපහසුයි අපිට, සාමාන්‍යයෙන් ගමේ බස් එක ඉරිදාට වැඩ කරන්නේ නැහැ. බස් එක කැඩෙන දවස් තියෙනවා. ඒ වෙලාවට හරි ම දුෂ්කරයි. ඒ වෙලාවට පයින් තමයි යන්නේ, නාවලපිටිය පාරට යන්නත් මෙතන ඉදලා කිලෝමීටර් තුනක් විතර යන්න ඕනේ," වරකාපිටිය මඩුගහවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක වන ලක්ෂිකා දිල්රුක්ෂි ධර්මසේන බීබීසී සිංහල වෙත පැවසුවා ය.

ඇය කියා සිටියේ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන දිනයක් සිතා ගැනීමට තමන්ට නොහැකි බවයි.

"හිතා ගන්න බැහැ තියෙන තත්ත්වයත් එක්ක කොච්චර කාලයක් යයි ද කියලා."

"ඇත්තට ම අපහසුයි... අපි ගියේ ආවේ ඉතින් හැමදේම කළේ කොච්චියේ. කොච්චි නැති හින්දා සෑහෙන පීඩාවක් විදිනවා අපි," ඇය කියා සිටියා ය.

රඹුක්කන සිට මහනුවර දක්වා මාර්ගය ඉදිවන හැටි

වෙරළුගොල්ල
ඡායාරූප ශීර්ෂ වැකිය, වෙරළුගොල්ල

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ, කොළඹ සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ගයේ හානි වූ ස්ථාන 97ක් පැවති බවයි.

එම ස්ථාන 97න් ස්ථාන 92ක් මේ වන විට යළි දුම්රිය ධාවනය කළ හැකි පරිදි සකස්කර අවසන් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් හා කාර්ය මණ්ඩලය මහත් පරිශ්‍රමයක් දරා තිබේ.

රඹුක්කන සහ මහනුවර අතර දුම්රිය මාර්ගයේ රේල් පීලි පමණක් ඉතුරුවන ලෙස නාය ගිය ස්ථාන 5ක් යථා තත්ත්වයට පත් කිරීමට ඉතිරිව තිබේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එවැනි ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණයෙන් පමණක් ම කළ නොහැකි බවයි.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ තාක්ෂණික සහය යටතේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්, මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මාර්ගය යළි ඉදිකිරීම් සඳහා සැලසුම් කර තිබේ.

ඒ අනුව බලන දුම්රිය ස්ථානය ආසන්නයේ ස්ථාන 3ක්, ඉහළ කොට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ එක් ස්ථානයක් හා පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් සථානයක් යථා තත්ත්වයට පත් කිරීමට නියමිතව තිබේ.

මාස 4ක් තුළ එහි ඉදිකිරිම් අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දීමට ඉදිකිරීම් භාරව සිටින RR කන්ස්ට්‍රක්ෂන් (පෞද්ගලික) සමාගම අපේක්ෂා කරයි.

බලන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය සකස්කර ඇති අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ සිට කඩුගන්නව දක්වා දුම්රිය මාර්ගයේ හානි වූ ස්ථාන 97න් 92ක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත

සරසවි උයන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර ඇති 'යකා පාලම'

මහනුවර කළු පාලම අසළ ඉදිකිරීම් යළි ආරම්භ වී ඇත

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කිරීමට ප්‍රධාන බාධාවක්ව තිබෙන්නේ, දිට්වා සුළි කුණාටුව නිසා හානියට පත්වූ සරසවි උයන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මහවැලි ගඟට ඉහළින් පිහිටි "යකා පාලම" හෙවත් කළු පාලමයි.

එම පාලම ආශ්‍රිත ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදුවන අයුරු ද අප කළ සංචාරයේදී දැක ගත හැකි විය.

මාස 5ක පමණ කාලයක සිට දුම්රිය ධාවනය සිදු නොවීම නිසා මේවන විට පේරාදෙණිය දුම්රිය ස්ථානය පාළු ස්වභාවයක් ගෙන තිබේ. එහි ඉන්ධන ප්‍රවාහන දුම්රිය මැදිරි සහ මගී ප්‍රවාහන දුම්රිය දෙකක් නතර කර ඇති අයුරු ද අපට දැක ගත හැකි විය.

සරසවි උයන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මහවැලි ගඟට ඉහළින් ඉදිකර ඇති පාලම හෙවත් 'යකා පාලම' වසා දමා ඇති අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, සරසවි උයන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මහවැලි ගඟට ඉහළින් ඉදිකර ඇති පාලම හෙවත් 'යකා පාලම' වසා දමා ඇති අයුරු
මේවන විට පේරාදෙණිය දුම්රිය ස්ථානය පාළු ස්වභාවයක් ගෙන තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ වන විට පේරාදෙණිය දුම්රිය ස්ථානය පාළු ස්වභාවයක් ගෙන ඇති අයුරු

යකා පාලමේ ඉදිකිරීම් මේ වන විට ආරම්භ වී ඇති අතර එම ඉදිකිරීම් කරනු ලබන්නේ Central Engineering Consultancy Bureau ආයතනයයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහචාර්යවරයෙකු විසින් ඉදිකිරීම් සඳහා උපදේශන සේවය ලබා දෙන බව දුම්රිය සාමානාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

ඔහු පැවසුවේ, ලබන අගෝස්තු - සැප්තැම්බර් වන විට යකා පාලමේ වැඩ අවසන් කිරීමට උත්සහ කරන බවයි.

"ගැලවෙච්ච කණුව එහෙම්ම තියෙද්දී වටෙන් ගාඩ් එකක් ගිහිල්ලා අලුතින්ම කණුවක් හදලා පාලම ගන්න තමා ප්ලෑන් කරන්නේ."

"අපි හිතුවටා වඩා පොඩ්ඩක් දරුණු වුණා අපි හිතුවේ නැති විදියට යටින් පොඩ්ඩක් පැලිලා තියෙනවා. ඒ නිසා අපිට පොඩ්ඩක් කාලය එහාට ගියා. මොකද අපි හිතුවේ නැහැ පැල්මක් තියෙනවා කියලා. ඒ නිසා අපිට අලුතින්ම පයිල් ගිහිල්ලා කණුවක් එන්න වුණා. ඒ නිසා අපිට කාලය ගත වුණා. නමුත් ට්‍රැක් එක හදලා එනකොට අනිවායෙන් ම පාලමත් කම්ප්ලීට් වෙලා තියෙයි," දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද ඇයි?

ගම්පොළ - නාවලපිටිය අතර දුම්රිය මාර්ගය ඉදිවන්නේ කවදා ද?

රඹුක්කන සිට පෙරාදෙණිය හා යකා පාලම ආශ්‍රිතව දුම්රිය මාර්ගය සකස් කිරීම යළි ආරම්භ වී තිබුණත්, ගම්පොළ සිට නාවලපිටිය දක්වා ඉදිකිරීම් සිදුවන බවක් අපට නිරීක්ෂණය නොවිණි.

එම ස්ථානවල ඉදිකිරීම් මෙතෙක් ආරම්භ වී නොමැති අතර දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, මහනුවර දක්වා දුම්රිය මාර්ගය සකස් කිරීමෙන් පසු මෙම කොටසේ වැඩ ආරම්භ කරන බවයි.

Central Engineering Consultancy Bureau ආයතනය එහි දැනට සමීක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ඒ සඳහා නිර්මාණ සැලසුම ලබා දීමට නියමිතව තිබේ.

මාස 5ක් පුරා නතර කර ඇති දුම්රිය

ගම්පොල සහ නාවලපිටිය අතර මාස 5ක් පුරා සිරවී ඇති දුම්රිය
ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්පොළ සහ නාවලපිටිය අතර මාස 5ක් පුරා සිරවී ඇති දුම්රිය

ගම්පොළ සහ නාවලපිටිය අතර මාර්ගයේ මාස 5ක් පුරා දුම්රියක් නතර කර ඇත්තේ, එම මාර්ගය දැඩි ලෙස නාය යාම හේතුවෙනි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, එම දුම්රිය ඉවත් කර ගැනීමට ප්‍රමුඛතාව ලබා දෙන නමුත් ඒ සඳහා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය බවයි.

කෙටි දුර ධාවන දුම්රියක් මෙලෙස අතර මග සිරවී ඇත.

නානුඹය සිට බදුල්ල දක්වා දුම්රිය ගමන් ඇරඹීම

දුම්රිය මාර්ග සේවක කණ්ඩායම් එක් ව නානුඔය සිට අඹේවෙල දක්වා කොටසේ නාය ගිය සහ ගිලා බැසීමට ලක්වුණ ස්ථාන 13ක් පිළිසකර කොට අවසන් කර ඇත.

එම කොටසේ ස්ථාන 14ක් නාය යාම් හා ගිලා බැසීම්වලට ලක්ව තිබිණි.

තවත් මාස එකහමාරකින් පමණ එම කොටසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකි වනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් පසු ලබන ජුනි මාස අග වනවිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකියාව තිබේ.

විදේශීය සහය

දිට්වා ආපදාවෙන් දුම්රිය මාර්ගයට සිදුවු හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදේශීය සහය ද ලැබී තිබේ.

ඒ අනුව ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කෙරිණි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, පේරාදෙණිය සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට ද ඉන්දීය ආධාර ලැබෙන බවයි. ඒ සඳහා මෙතෙක් ගිවිසුම් අත්සන් කර නැත. එම ආධාර ලැබීමත් සමග මාර්ගය අලුතින් නවීකරණ කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

දැනට දුම්රිය ධායනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පමණක් මාර්ගය අලුත්වැඩියාවට ලක් කිරීමට නියමිතය.