PSTA පනත් කෙටුම්පත: විධායක බලය සීමා කරමින් අධිකරණයට මැදිහත් විය හැකි අවස්ථා මොනවා ද?

ශ්‍රේෂ්ඨාධිකරණයෙ ඡායාරූපයකි
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙන 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' තුළින් අධිකරණය සතු බලය, විධායකය අත්පත් කරගෙන තිබෙන බවට, එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කළ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බරපතළ චෝදනාවක් එල්ල කර තිබිණි.

එම පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීන්දුව කතානායකවරයා වෙත යොමු කළ අතර, කතානායකවරයා එම තීන්දුව ඉකුත් දා පාර්ලිමේන්තුව හමුවේ නිවේදනය කළේ ය.

අදාළ පනත් කෙටුම්පත තුළින් ජනතාවගේ අධිකරණ බලය විධායකය අත්පත් කරගෙන තිබෙන බවටත්, ඒ තුළින් අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වන බවටත් පෙත්සම්කාර පාර්ශ්වය විසින් මතු කරන ලද චෝදනා මෙම තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

තීන්දුවේ සඳහන් වන ආකාරයට අදාළ පනත ක්‍රියාත්මක වන විට අධිකරණයකට ඊට මැදිහත් විය හැක්කේ කුමන අවස්ථාවල ද? බීබීසී සිංහල මේ පිළිබඳව සොයා බැලීමක් කළේ ය.

ඒ අනුව, පහත සඳහන් අවස්ථාවලදී අදාළ පනතේ ක්‍රියාකාරකම් අධිකරණයේ අධීක්ෂණයට ලක් වන බව එම තීන්දුව මගින් පෙන්වා දී තිබේ.

26 වන වගන්තිය - රැඳවුම් නියෝගයක් නිකුත් කර තිබෙනවා ද නැද්ද යන්න නොසලකා, අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය 48ක් ඇතුළත සැකකරු මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කළ යුතු ය.

27(2) වගන්තිය - රඳවා තබා ගැනීමේ නියෝගයක් තිබියදී පවා සැකකරු මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට ඉදිරිපත් කළ යුතු අතර, එම රැඳවුම් නියෝගයේ සහතික කළ පිටපතක් පරීක්ෂාව සඳහා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ යුතුය.

27(6) වගන්තිය - සෑම රඳවා තබා ගැනීමේ නියෝගයක ම පිටපතක් පැය 48ක් ඇතුළත සැකකරුට භාර දිය යුතු අතර, සැකකරු එය භාරගත් බවට කළ පිළිගැනීම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

28 වන වගන්තිය - මාස දෙකකට වඩා වැඩි කාලයක් රඳවා තබා ගැනීම සඳහා මහාධිකරණයේ අනුමැතිය ලබාගත යුතු වේ. ඒ අනුව විධායකය විසින් රඳවා තබා ගැනීම මාස 02කට පමණක් සීමා වන බව ද තීන්දුවේ සඳහන් වෙයි.

28(7) වගන්තිය - රැඳවුම් නියෝගයක් යටතේ රඳවා තබා ගන්නා සැකකරුවෙකු අවම වශයෙන් දින 14කට වරක් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතුය.

29 වන වගන්තිය - මෙම පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කරන සැකකරුවෙකු ඇප මත මුදා හැරීමට මහාධිකරණයට අධිකරණ බලය ඇත.

37(3) වගන්තිය - විමර්ශනය අවසන් වූ පසු, සැකකරු පනත යටතේ වරදක් කළ බවට වාර්තාවේ කිසිදු චෝදනාවක් නොමැති නම්, මහේස්ත්‍රාත්වරයාට සැකකරු නිදහස් කළ හැකිය.

37(5) වගන්තිය - නිදහස් කරන ලද පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනය නැවත ආරම්භ කිරීමට නම්, වැඩිදුර විමර්ශනය නැවත ආරම්භ කිරීම සහ අවසන් කිරීම පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දිය යුතුය.

44(1) වගන්තිය - සැකකරුවෙකුගෙන් දිවුරුම් ප්‍රකාශයක් හෝ විමර්ශනයට අදාළ ඕනෑම ලේඛනයක් හෝ දෙයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීම, මහේස්ත්‍රාත්වරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු සිදු කළ යුතුය.

46(2) වගන්තිය - විමර්ශන කටයුතු සඳහා වාහන සහ යාත්‍රා ආදිය පොලිසියේ පාලනය යටතට ගත් විට ඒ පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට වාර්තා කළ යුතුය.

47 වන වගන්තිය - යාත්‍රාවක් හෝ ගුවන් යානයක් ගුවන්ගත කිරීම හෝ යාත්‍රා කිරීම අත්හිටුවීම හෝ ප්‍රමාද කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් අවශ්‍ය වේ. (හදිසි අවස්ථාවන්හිදී බලය ක්‍රියාත්මක කරන විට, පැය 24ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයාගේ පසු අනුමැතියට යටත්ව එම ක්‍රියාව සිදු කළ හැකි වේ.)

59(5)(ආ) වගන්තිය - තහනම් නියෝගයක් හෝ තහනම් නියෝගයක් නැවත සලකා බැලීමේදී ගත් තීරණයකින් අතෘප්තියට පත් පුද්ගලයාට, එම නියෝගය අධිකරණ සමාලෝචනයකට ලක් කිරීම සඳහා අභියාචනාධිකරණයට අයැදුම්පත් ඉදිරිපත් කළ හැකිය.