Srilankan එයාර් බස් ගනුදෙනුව: හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ඉවතට

Kapila

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

SriLankan ගුවන් සමාගමට එයාර් බස් මිල දී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම අද (අප්‍රේල් 17) ප්‍රතික්ෂේප කෙරිණි.

මෙම නියෝගය නිකුත් කෙරුණේ, අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.

ඒ අනුව සැකකරු ලබන 28 වන දා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

මහින්ද රාජපක්ෂට මුදල් දුන් බවට කළ ප්‍රකාශය

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අද (මාර්තු 19 වන දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඊට අමතරව අදාළ මුදල් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේ ය.

ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබා දුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.

කෙසේ වෙතත්, සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් එහිදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් දින ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්, එදින අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තම සේවා දායකයාට කළ තර්ජනයක් ගැන තමා කොටුව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කළ බවත් පැවසීය.