'නිදහස් වීමට දින කිහිපයක් තිබියදී' වැලිකඩ බන්ධනාගාර රැඳවියා 'මිය ගියේ පහර දීමකින් ද?'

Welikada Prison

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

"සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය" තේමාව කර ගත් මෙරට බන්ධනාගාරයක් තුළ දින කිහිපයක් තුළ තවත් රැඳවියෙකු මිය ගොස් තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ සිය සිර දඬුවමේ අවසන් කාල සීමාව ගෙවමින් සිටි බොරැල්ල, මැගසින් පාරේ පදිංචිව සිටි ඕෂධ සංජීව නමැති වයස අවුරුදු 40ක් වූ පුද්ගලයෙකු මෙසේ මිය ගොස් ඇත.

'ඇතුළට ගෙනල්ලා මෙයාට ගහලා, අමාරු වුණා ම බන්ධනාගාර රෝහලට දාලා'

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල්, බීබීසී සිංහල වෙත කියා සිටියේ, මිය ගිය පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන් පහර දී ඇති බවයි.

"මෙයාට මාස තුනක් තමයි දඬුවම් කරලා තියෙන්නේ. දැන් ඒකෙන් මාස එකහමාරක් විතර ගිහිල්ලා. එයා ලබන 20 වගේ වෙනකොට නිදහස් වෙන්න තිබ්බා. මෙයාව ඉරිදා දවසේ දාලා තියෙනවා එළියේ වැඩට. සමාන්‍යයෙන් සිරකරුවන්ව ඉරිදාට පාටි ගන්නේ නැහැ, ඉරිදාට වැඩවලට දාන්නේ නැහැ, ඒගොල්ලන්ගේ රෙස්ට් ඩේ ඒක එදාට. කොහොම හරි මෙයා එළියට ගිහිල්ලා. ඊට පස්සේ නිලධාරීන් පිරිසක් ගිහිල්ලා මෙයාව අල්ලගෙන. මෙයාව අල්ලගෙන තියෙන්නේ මෙයාගේ ගෙදර ළඟදී. අරගෙන එතනදිත් පහර දීලා තියෙනවා. ඊට පස්සේ ඇතුළට ගෙනල්ලා මෙයාට ගහලා. මෙයාට අමාරු වුණා ම බන්ධනාගාර රෝහලට දාලා. එහෙම දැම්මාම මෙයා පාන්දර නැතිවෙලා තියෙනවා," යැයි සුදේශ් නන්දිමාල් පැවසීය.

'රෑ අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙනවා'

මෙම සිදුවීම සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවන බවත් සිද්ධිය පිළිබඳව බොරැල්ල පොලිසිය ද විමර්ශනයක් පවත්වන බවත් බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක බීබීසී සිංහල වෙත පැවසීය.

"එළියේ වැඩ කරන පුද්ගලයෙක් එතකොට ඒ රැඳවියා රෑ අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙනවා වැලිකඩ බන්ධනාගාර රෝහලට. එතකොට නැතිවෙලා තියෙනවා. එයා මාස තුනක දඬුවම් කරපු පුද්ගලයෙක්. පිටත වැඩ කණ්ඩායමට යන පුද්ගලයෙක්. ඊයේ හවස එස්කේප් වෙලා තියෙනවා. ඊට පස්සේ නිලධාරීන් අල්ලගෙන ඇවිල්ලා තියෙනවා. වෝඩ් එකේ ඉද්දී තමයි අසනීප වෙලා තියෙන්නේ. අසනීප වෙලා පපුවේ අමාරුව හැදිලා, ඩොක්ටර් බලලා හවස යවලා තියෙනවා. රෑ තමයි නැතිවෙලා තියෙන්නේ."

'එහෙම පහර දීමක් සම්බන්ධව මට වාර්තා කරලා නැහැ'

මිය ගිය රැඳවියාට බන්ධනාගාර නිලධාරීන් පහර දී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

"එහෙම පහර දීමක් සම්බන්ධව මට වාර්තා කරලා නැහැ. ඒක සිද්ධියෙන් පස්සේ විමර්ශනයක් කරනවා අපෙත් නිලධාරියෙක් දාලා, අනිවාර්යෙන් අපිත් මිය යාම සම්බන්ධව විමර්ශනයක් කරනවා ඊට පස්සේ වෛද්‍ය වාර්තා අනුව තමයි සිදුවීමක් තියෙනවා නම් ඒ සිදුවීමට අදාළව කටයුතු කරන්න වෙන්නේ."

'අත් ගැටගහලා, බෙල්ල තද කරලා... ඒවා දැකපු අය ඉන්නවා...'

මිය ගිය රැඳවියාගේ නැගණිය බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඕෂධ සංජීව ග්‍රහණයට ගත් නිලධාරීන් ඔහුට පහර දෙනු දුටු බවට කිහිප දෙනෙකු ම පැවසූ බව ය.

"මෙයාව අහුවෙලා බොරැල්ලේදී අරගෙන, බන්ධනාගාරේ දෙන්නෙක් ද, තුන්දෙනෙක් ද තමා ඉඳලා තියෙන්නේ සිවිල්. බොරැල්ල ගමේ දැක්ක ගොඩක් දෙනෙක් ඉන්නවා ඒ අය සාක්කිත් දුන්නා. එතනදී ගහලා එයාට, එතන බිම දාලා අත් ගැටගහලා, බෙල්ල තද කරලා, ඒවා දැකපු අය ඉන්නවා. එතන හිටපු අයියා කෙනෙක් වතුරත් දීලා තියෙනවා," යැයි චතුමි කාංචනා පැවසුවා ය.

'අපි එතන තියන්නේ තව චුට්ටක් හැදිලා එයි කියලා'

එසේ මැයි 4 වන දා මෙම රැඳවියා බන්ධනාගාර නිලධාරීන් රැගෙන යාමෙන් අනතුරුව මැයි 5 වන දා උදෑසන බොරැල්ල පොලිසිය විසින් ඔහු මිය ගිය බවට දැනුම් දෙනු ලැබ ඇත.

"රුපියල් 5000 දඩේ ⁣ගෙවන්නේ නැතුව අපි එතන තියන්නේ තව චුට්ටක් හැදිලා එයි කියලා. ඒ මාස තුනත් එළියට ආවොත් කුඩු ගහනවානේ.

"අපි කියන්නේ මේ වගේ දෙයක් තව කෙනෙකුට වෙන්න දෙන්න එපා බන්ධනාගාරයේ," යැයි මිය ගිය රැඳවියාගේ නැගණිය චතුමි කාංචනා බීබීසී සිංහල වෙත වැඩිදුරටත් පැවසුවා ය.

දින කිහිපයකට පෙර මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම

මේ අතර මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු අප්‍රේල් 27 වන දා මරණයට පත්වීම සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරයෙකු සහ නියාමකවරයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව මැයි 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එමෙන් ම, තවත් බන්ධනාගාර නියාමකවරයෙකු බොරැල්ල පොලිසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබිණි.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගිය අතර ඔහුට ද පහර දීමක් සිදුව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කළේ ය.

තව ද එම පහර දීමෙන් බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටින බව ද එම කමිටුව සඳහන් කළේ ය.