ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයක සිටි රුසියානු වෛද්‍යවරයෙකුගෙන් ඩොලර් 9,900ක් සොරා ගත් චීන ජාතිකයෙකු අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුළ සිටි රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන සංක්‍රමණික වෛද්‍යවරයාගේ අත් බෑගයේ තිබූ ශ්‍රී ලංකා රුපියල් මිලියන 3.1ක් වටිනා ඇමෙරිකානු ඩොලර් 9,900ක මුදලක් සොරා ගත් චීන ජාතිකයෙකු කටුනායක පොලිසිය විසින් ඊයේ (අප්‍රේල් 30) අත්අඩංගුවට ගැනිණි.
එටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් ඊයේ (අප්‍රේල් 30) අලුයම 03.00ට අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම රුසියානු ජාතික වෛද්‍යවරයා පැමිණ තිබිණි.
සැකකාර චීන ජාතිකයා කොළඹ කොටුව ප්‍රදේශයේ කැසිනෝ ශාලාවකදී කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ රුසියානු වෛද්‍යවරයා අබුඩාබි සිට කටුනායක බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයේ නිදාගෙන සිටි අතරතුර, ඔහුගේ බෑගය ගුවන් යානයේ ගමන් මලු රාක්කයේ තබා තිබියදී මෙම චීන ජාතිකයා එහි තිබූ මුදල් සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.
කටුනායක ගුවන් තොටුපොළේදී ගුවන් යානයෙන් පිටතට පැමිණි රුසියානු වෛද්‍යවරයා තම බෑගයෙහි තිබූ මුදල් අඩු බව වටහා ගැනීමෙන් පසුව, ඊයේ (අප්‍රේල් 30) වන දින අලුයම 04.00ට ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ පැමිණිලි කර තිබේ.
ඒ අනුව, ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය, ගුවන් තොටුපළේ ආරක්ෂක කැමරා පද්ධති පරික්ෂා කර එම ගුවන් යානයේ පැමිණි එක ම චීන ජාතිකයා වූ සැකකරු CCTV මග හරිමින් ගුවන් තොටුපොළෙන් පිටතට ගමන් කර ගුවන් තොටුපොළ කුලී රථයක නැගී පලා යන අන්දම නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ගුවන් තොටුපොළ කුලී රථ සේවා කවුන්ටරයෙන් තොරතුරු ලබාගෙන අදාළ කුළී රථයේ ගමනාන්තය වූ කොළඹ කොටුව කැසිනෝ ශාලාවක් වෙත ගොස් එහි ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වන විටත් චීන ජාතික සැකකරු ඇමෙරිකානු ඩොලර් 4,000ක මුදලක් කැසිනෝ සඳහා වැය කර තිබූ අතර ඔහු සන්තකයෙහි රුපියල් දහ අට ලක්ෂ අසු හය දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 5,900ක මුදලක් ඉතිරිව තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ 49 හැවිරිදි චීන ජාතිකයා අද (මැයි මස 01) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

































