බැංකු සහ මූල්‍ය සේවාවල සිදුවන VAT සංශෝධනය පාරිභෝගික ඔබට බලපාන්නේ කෙසේ ද?

VAT

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඉකුත් දා එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමත් සමග එකතු කළ අගය මත බද්ද (VAT) ජූලි 1 වන දා සිට ඉහළ යනු ඇති බවට සමාජය තුළ කතා බහක් නිර්මාණය වී තිබේ.

මෙම කෙටුම්පත අනුව ඉලෙක්ට්‍රොනික වේදිකා මත සපයන ඩිජිටල් සේවා සඳහා 2026 ජූලි 1 වන දා සිට VAT අය කිරීම ආරම්භ වීම, VAT සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය සීමා අඩු කිරීම සහ බැංකු හා මූල්‍ය සේවා මත VAT අනුපාතය 18% සිට 20.5% දක්වා සංශෝධනය කිරීමට ද යෝජනා වී ඇත.

කෙසේ වෙතත්, බැංකු හා මූල්‍ය සේවා මත VAT අනුපාතය සංශෝධනය කිරීම පිළිබඳව සමාජය තුළ යම් අපැහැදිලිතාවක් නිර්මාණය වී තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කළ අතර එහි සඳහන් කර තිබුණේ, මෙමගින් සාමාන්‍ය ජනතාව එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා සඳහා පනවා ඇති 18% VAT බදු ප්‍රතිශතයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව ය.

නව සංශෝධනය අනුව අදාළ වන්නේ බැංකු හා මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවා සඳහා පමණක් බව එම අමාත්‍යංශය පැවසීය.

ඒ අනුව, බීබීසී සිංහල මේ වැට් බදු සංශෝධනය පිළිබඳව විමසා බැලීමක් කළේ ය.

නව VAT සංශෝධනය කුමක් ද?

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට අනුව, මීට පෙර මූල්‍ය සේවා සඳහා 18%ක එකතු කළ අගය මත බද්දක් සහ 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් (SSCL) වෙන්ව අය කරනු ලැබීය.

නව සංශෝධනය මගින් මෙම බදු දෙක ම එකට එකතු කර 20.5%ක තනි බද්දක් ලෙස හඳුන්වා දීම සිදු කර ඇත.

මෙය බදු ප්‍රතිශතය ඉහළ නැංවීමක් නොව, පවතින බදු ව්‍යුහය සරල කිරීමක් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මීට පෙර ද මූල්‍ය සේවා ලබා ගැනීමේදී පාරිභෝගිකයා මෙම බදු දෙක ම වක්‍රව ගෙවූ බවත් මින් පාරිභෝගිකයාට අමතර බරක් පැටවෙන්නේ නොමැති බව ත් මුදල් අමාත්‍යංශය පැවසීය.

"මෙම සංශෝධනය පරිපාලනමය පහසුව සහ විනිවිදභාවය තහවුරු කිරීම අරමුණු කරගෙන සිදු කර ඇත. බදු වර්ග කිහිපයක් වෙනුවට තනි බද්දක් ක්‍රියාත්මක කිරීමෙන් ගණනය කිරීම් සහ පරිපාලන කටයුතු පහසු වන අතර, බදු අය කර ගැනීම වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ හැකියාව ද ඉහළ යයි," මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

'බදු දෙකක් වෙනුවට තනි බද්දක් අරන් ඇවිල්ලා'

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ආර්ථීක විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැහැදිලි කළේ, මූල්‍ය ආයතන වසර අවසානයේ බදු ගෙවීම් සිදු කරන විට පොළී ආදායම සඳහා 18%ක එකතු කළ අගය මත බද්දක් ගෙවිය යුතු බවත් දැන් එය 20.5%ක් ලෙස සංශෝධනය කර ඇති බවත් ය.

"මූල්‍ය ආයතන ඒක ගෙවද්දි සමාජ ආරක්ෂණ බද්ද (SSCL) තිබුණා 2.5%ක්, වැට් එක තිබුණා 18%ක්. දැන් SSCL එක අයින් කරලා තියෙනවා. එහෙම කරලා වැට් එක කෙලින් ම 20.5%ක් කරලා තියෙනවා," ඔහු පැවසීය.

"ඒ කියන්නේ බදු දෙකක් වෙනුවට තනි බද්දක් අරන් ඇවිල්ලා තියෙනවා. හැබැයි ෆයිනෑන්ෂල් සර්විස්වලට විතරයි," යනුවෙන් ආර්ථීක විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැහැදිලි කළේ ය.

මෙමගින් බලාපොරොත්තු වන්නේ බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීම බව ද ධනනාත් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ ය.

'ජනතාවට යම් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නව VAT සංශෝධනය පිළිබඳව වරලත් ගණකාධිකාරී, සමන් ශ්‍රීලාල් සමග බීබීසී සිංහල කතා බහක යෙදුණේ ය.

ඔහු සඳහන් කළේ, පරිපාලන කටයුතුවලදී මෙය බැංකු සහ මූල්‍ය ආයතන සඳහා පහසුවක් විය හැකි බව ය.

"කලින් දෙවිධියකට ගත්ත බද්ද දැන් එක පාර ගන්නවා. ඒකෙන් පරිපාලනමය පැත්තට තමයි ලේසි. මොකද වැට් රිටර්න්ස් දෙකක් සබ්මිට් කරන්න ඕනේ නැහැ, චෙක් දෙකක් ලියලා ගෙවන්න ඕනේ නැහැ, ටයිම් බාර් පර්මිෂන් දෙක තුනක් නැහැ, ආයතනයේ ගිණුම්කරණ කටයුතු කරන කොට දෙපොළක කරන්න ඕනේ නැහැ," ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මූල්‍ය ආයතනවල අදායම් බදු ගණනය කිරීමේදී සමාජ ආරක්ෂණ බද්ද ඉන් නිදහස් වූ නමුත් නව ක්‍රමවේදය හරහා එය VAT බදු ලෙස අය කිරීමෙන් ජනතාවට යම් බලපෑමක් සිදුවිය හැකි බව ද වරලත් ගණකාධිකාරීවරයා පෙන්වා දුන්නේ ය.

"බදු ඉඩ දිය හැකි වියදම් සහ ඉඩ දිය නොහැකි වියදම් කියලා දෙකක් තියෙනවා. ආදායම් බදු ගණනය කිරීමේදී කලින් තිබුණු 18% බදු ගණනය කිරීමේදී ඉඩ දිය නොහැකි වියදමක් විදිහට සලකනවා. නමුත් දැන් ඒක 20.5%ක් වෙනවා.

"සමාජ ආරක්ෂණ බද්ද කලින් බදු අය කිරීමේදී ඉඩ දිය හැකි වියදමක් ලෙස සැලකුවේ. නමුත් මේ අලුත් නීතිය හින්දා දැන් 20.5% ම ඉඩ දිය නොහැකි වියදමක් වෙනවා. එක බද්දක් වෙන නිසා.

"එතකොට කලින් 2.5% ඉඩ දිය හැකි වියදමක් ලෙස සලකපු ආයතනවලට දැන් ඒක ඉඩ දිය නොහැකි වියදමක් වෙනවා," ඔහු පැහැදිලි කළේ ය.

එවැනි තත්ත්වයකදී බැංකු සහ මූල්‍ය ආයතන මෙම පිරිවැය තම පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමට ඉඩ ඇති බව වරලත් ගණකාධිකාරීවරයා පෙන්වා දුන්නේ ය.

"ආදායම් බදු ගණනය කරන කොට 2.5% බද්දෙන් නිදහස් කරන්න දුන්නා. දැන් අර 18%ත් එක්ක එකතු කරලා 20.5%ට ඉඩ නොදුන්නා ම ඒක පැහැදිලිව ම 2.5% ඒ අයට වියදමක් වෙනවා.

"එතකොට මූල්‍ය ආයතන හැම වෙලේ ම බලනවා නේ ඕක මිනිස්සුන්ගෙන් අය කර ගන්න. එතකොට වෙළෙඳපොළට සමහර විට අර 2.5% බලපෑම බලපාන්න පුළුවන්.

"ඒ කියන්නේ ලෝන් එකක් දෙනකොට ලෝන් එකේ පොළියට 20.5% වක්‍රාකාරව බලපාන්න පුළුවන්. මොක ද පරිභෝකයින්ගෙන් මූල්‍ය ආයතනවලට සල්ලි ගන්න පුළුවන් එක ම විදිහ පොළිය නේ. ලොකු ආයතනවලට ලොකුවට බලපානවා, පොඩි ආයතනවලට ඕක වැදගත් නැහැ.

"අය කරන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක හැබැයි ඍජුව වෙන්නේ නැහැ. මේක වැඩි කරපු හින්දා හෙට ලෝන් එක ගනිද්දී එහෙම එක පාරට වෙන්නේ නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය.