කාන්තාවක් පිරිමින් දෙදෙනෙකුගෙන් එකවර ගැබ් ගත් දුර්ලභ අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, David Zorrakino/Europa Press via Getty Images
- Author, සන්තියාගෝ වනේගස්
- Role, බීබීසී මුන්ඩෝ
- කියවීමේ කාලය: මිනිත්තු 5
2018 වසරේදී, කාන්තාවක කොලොම්බියානු ජාතික විශ්වවිද්‍යාලයේ ජාන පිළිබඳ රසායනාගාරය වෙත ගියේ ඇගේ දෙහැවිරිදි නිවුන් පිරිමි දරුවන්ගේ පීතෘත්වය තහවුරු කර ගැනීම සඳහා ය.
එහිදී රසායනාගාරය සාමාන්‍ය පීතෘත්ව පරීක්ෂණයක් පවත්වා පසුව එය නැවත සිදු කළේ ය. ප්‍රතිඵලය කොතරම් පුදුමසහගත වූයේ ද යත්, ඔවුන්ට එය නිශ්චිත වශයෙන් ම තහවුරු කර ගැනීමට අවශ්‍ය විය. මෙම නිවුන් දරුවන්ට එක් මවක් සිටි නමුත් පියවරු දෙදෙනෙක් සිටියහ.
මෙය විෂමපීතෘ අධිසංසේචනය (heteropaternal superfecundation) ලෙස හැඳින් වෙන අතිශය දුර්ලභ තත්ත්වයකි. මෙවැනි තත්ත්වයන් ලොව පුරා විද්‍යාත්මක වශයෙන් ලේඛනගත වී ඇත්තේ අවස්ථා 20කදී පමණි.
න්‍යායාත්මකව එය කළ හැකි බව විශේෂඥයින් දැන සිටිය ද, ඔවුන්ට කිසි විටෙකත් එවැනි සිදුවීමකට අත්දැකීමක් ලැබී නොතිබිණි. එය ඔවුන් තුළ වූ කුතුහලය වැඩි කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Drs Producoes via Getty Images
ඔවුන් එය හඳුනාගත්තේ කෙසේ ද?
පීතෘත්වය පරීක්ෂා කිරීමට, කොලොම්බියා ජාතික විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යා ආයතනයේ විද්‍යාඥයෝ "මයික්‍රොසැටලයිට් මාර්කර්ස්" ලෙස හැඳින්වෙන තාක්ෂණයක් භාවිතා කරති.
සරලව ගත් කළ, මෙහිදී දරුවාගෙන්, මවගෙන් සහ පියා යැයි විශ්වාස කරන පුද්ගලයාගෙන් ලබාගන්නා DNA කුඩා කොටස් විශ්ලේෂණය කර ඒවා සැසඳීම සිදු කෙරේ.
"අපි එක් එක් පුද්ගලයාගෙන් DNA අරගෙන, මයික්‍රොසැටලයිට් කියලා හඳුන්වන 15ත් 22ත් ස්ථාන පරීක්ෂා කර, ඒවා එකිනෙක සසඳා බලනවා," යැයි රසායනාගාරයේ අධ්‍යක්ෂ මහාචාර්ය විලියම් උසාකෙන් බීබීසී මුන්ඩෝ වෙත පැවසීය.
නමුත් මෙම ක්‍රියාවලිය හුදෙක් බලගතු අන්වීක්ෂයකින් DNA අණු පරීක්ෂා කිරීමට වඩා බෙහෙවින් සංකීර්ණ වේ.
ඇඟිල්ලකින් රුධිර නියැදියක් ලබාගත් පසුව, විද්‍යාඥයෝ රසායනික ක්‍රියාවලියක් මගින් අනෙක් සංරචක අතරින් DNA අණු වෙන් කර ගැනීම සිදු කරති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන් අනතුරුව, එම DNA විශේෂිත උපකරණයක තැන්පත් කර ඒවා ගුණනය කරයි.
එයින් ලැබෙන ද්‍රවය, විශ්ලේෂණයට ලක් කරන මයික්‍රොසැටලයිට් 15 සිට 22 දක්වා සළකුණු කර ගැනීම සඳහා ප්‍රභාව විහිදුවන ඩයි වර්ගයක් සමග මිශ්‍ර කරයි.
පසුව එය තවත් යන්ත්‍රයක් හරහා ගමන් කරවමින්, එමගින් එක් එක් නියැදියේ ඇති මයික්‍රොසැටලයිට් කියවා ඒවා සංඛ්‍යාත්මක අනුක්‍රමයක් බවට පරිවර්තනය කරයි. මෙම ක්‍රියාවලිය "ඉලෙක්ට්‍රොෆොරෙසිස්" ලෙස හැඳින්වේ.
අවසානයේ, එම සංඛ්‍යාත්මක අනුක්‍රම භාවිත කර, පරීක්ෂාවට භාජනය වන පුරුෂයා දරුවාගේ පියා වීමේ සම්භාවිතාව තීරණය කරයි.
දරුවාගේ ජානවලින් අඩක් මව සමගත් අනෙක් අඩ පියා යැයි සිතන පුද්ගලයා සමගත් ගැලපීම අනුව පීතෘත්වය තහවුරු කරනු ලැබේ.
අතිශය අසාමාන්‍ය ප්‍රතිඵලයක්
කොලොම්බියාවේ මෙම නිවුන් දරුවන්ගේ සිද්ධියේදී, විද්‍යාඥයෝ මවගේ, දරුවන් දෙදෙනාගේ සහ පරීක්ෂාව සඳහා පැමිණි සිටි පියා යැයි සිතන පුද්ගලයාගේ DNA තුළ ඇති මයික්‍රොසැටලයිට් 17ක් විශ්ලේෂණය කළහ.
එහිදී, මෙම පුරුෂයාගේ DNA දරුවන්ගෙන් එක් අයෙකු සමග ගැලපුණ ද, අනෙක් දරුවා සමග නොගැලපෙන බව ඔවුහු සොයා ගත්හ – එය අතිශය අසාමාන්‍ය ප්‍රතිඵලයකි.
"මම වසර 26ක් තිස්සේ මෙම රසායනාගාරයේ අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කරනවා. අපි මේ වගේ සිද්ධියක් දැක්කේ පළවෙනි පාරට – තවමත් එක සිද්ධියයි," යැයි උසාකෙන් පවසයි.
"මේ වගේ දේවල් ලෝකය පුරා සිද්ධ වෙනවා කියලා අපි අහලා තිබුණා, හැබැයි හරි අඩුවෙන්," යැයි කොලොම්බියා ජාතික විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යා ආයතනයේ විශේෂඥ සහ පර්යේෂක ඇන්ඩ්‍රියා කාසස් පවසයි.
නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින්, ක්‍රියාවලිය තුළ යම් දෝෂයක් හෝ නියැදි මාරුවක් සිදු වී ඇතිදැයි යන්න සැක හැර දැන ගැනීම සඳහා පර්යේෂණ කණ්ඩායම මුළු පරීක්ෂාව ම මුල සිට නැවත සිදු කළහ. එහිදී ද ප්‍රතිඵලයේ වෙනසක් නොවිණි.

ඡායාරූප මූලාශ්‍රය, andipantz via Getty Images
එය මෙතරම් දුර්ලභ වන්නේ ඇයි?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2014 වසරේ, එක්සත් ජනපදයේ බොල්ටිමෝර් නගරයේ පිහිටි රසායනාගාරයක විද්‍යාඥයන් විසින් පළ කරන ලද ලිපියක සඳහන් වන්නේ, පීතෘත්ව පරීක්ෂණ 39,000කින් හඳුනාගෙන තිබුණේ "විෂමපීතෘ අධිසංසේචන" සිද්ධි තුනක් පමණක් බවයි.
මෙම ජීව විද්‍යාත්මක සිදුවීම මෙතරම් කලාතුරකින් සිදුවන්නේ මන්දැයි උසාකෙන් පැහැදිලි කරයි.
"පළමුව, කාන්තාවට ලිංගික සහකරුවන් දෙන්නෙක් ඉන්න ඕනේ. දෙවනුව, ඇය ඉතා කෙටි කාලයකදී පුරුෂයන් දෙදෙනා සමග සම්බන්ධතා පවත්වා තිබිය යුතුයි. ඒ සමග ම, බහු-ඩිම්බ මෝචනයක් සිදු විය යුතුයි, ඔහු පවසයි.
බහු-ඩිම්බ මෝචනය යනු එක් ඔසප් චක්‍රයක් තුළදී ඩිම්බ දෙකක් හෝ ඊට වැඩි ගණනක් මුදා හැරීමයි.
"අවසාන වශයෙන්, ඩිම්බ දෙක ම සංසේචනය විය යුතුයි," උසාකෙන් පවසයි.
"ඒක තවත් දුර්ලභ සිදුවීමකට එකතු වුණු දුර්ලභ සිදුවීමක්, ඊට අමතරව තවත් දුර්ලභ සිදුවීමක්, ඊට අමතරව තවත් දුර්ලභ සිදුවීමක්. අවාසනාවකට, අපිට ඉතින් ලොතරැයි ඇදෙන්නේ නැහැ නේ," උසාකෙන් සරදමට මෙන් පවසයි.
වෙනස් පියවරුන් සිටින නිවුන් දරුවන් කිසිවිටෙකත් රුවෙන් සමාන විය නොහැකි බව ද සඳහන් කළ යුතු ය. එයට හේතුව, සමාන නිවුන් දරුවන් බිහිවන්නේ වර්ධනය වන්නේ එක ම ඩිම්බයකින් සහ එක ම ශුක්‍රාණුවකින් බැවිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෞද්ගලික ජීවිත
කාන්තාවක් තුළ ඩිම්බ එකකට වඩා මෝචනය වන බොහෝ අවස්ථාවලදී ඉන් එකක් පමණක් සංසේචනය වුවහොත් සෙසු ඩිම්බවල ආයු කාලය ඉක්මනින් ම අවසන් වී ඒවා මිය යාම සිදුවේ.
මෙම විෂමපීතෘ අධිසංසේචනය මෙතරම් දුර්ලභ වීමට තවත් හේතුවක් තිබේ: දෙවන සංසේචනය සිදුවිය යුත්තේ සංසේචනය නොවූ අනෙක් ඩිම්බය මිය යාමට පෙර ය.
එක්සත් ජනපද ජාතික වෛද්‍ය ලේඛනාගාරයට අනුව, ඩිම්බයක් නිදහස් වීමෙන් පසු එයට නොනැසී පැවතිය හැක්කේ පැය 24කටත් අඩු කාලයකි.
කෙසේ වෙතත්, ඇන්ඩ්‍රියා කාසස් පැහැදිලි කරන්නේ, ඩිම්බ සැම විට ම එක ම අවස්ථාවේදී මෝචනය නොවන බව ය.
"සමහර වෙලාවට, එක ඩිම්බ කෝෂයක් එක ඩිම්බයක් නිදහස් කරනවා. ඊට දවස් දෙක තුනකට පස්සේ තවත් ඩිම්බයක් නිදහස් කරනවා," ඇය පවසයි.
මෙය විවිධ අවස්ථාවන්හිදී සංසේචනය වීමේ සම්භාවිතාව වැඩි කරන බව ඇය තවදුරටත් පවසයි.
ඉතා සුළු සිද්ධි ගණනක් ගැන පමණක් දැන ගැනීමට ලැබීමේ තවත් හේතුවක් නම්, බහුතරයක් දෙනා පීතෘත්වය පිළිබඳ පරීක්ෂා කිරීම් සිදු නොකරන බැවිනි.
මෙම පර්යේෂකයන් යෝජනා කරන්නේ, "අනුක ජීව විද්‍යාත්මක තාක්ෂණ ක්‍රම බහුල පැවතීම සහ පීතෘත්වය පරීක්ෂා කිරීම ජනප්‍රිය වීම නිසා" අනාගතයේදී මෙම සංසිද්ධිය එතරම් අසාමාන්‍ය නොවනු ඇති බවයි.
මෙවැනි ගැබ් ගැනීම් ගැන අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින් උනන්දුවක් දැක්වුව ද, පර්යේෂණ ආචාර ධර්ම මගින් මෙම පරීක්ෂණයට භාජනය වන අයගේ පෞද්ගලික ජීවිත ගැන විමසීම වළක්වයි.
"පීතෘත්ව පරීක්ෂණ සැමවිට ම සිදු කරන්නේ ඊට සම්බන්ධ වෙන පාර්ශවයන්ගේ ගෞරවය සහ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයටයි," යැයි උසාකෙන් පැහැදිලි කරයි.

































