ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීමේ වරදට හිටපු ඇමති ජොන්ස්ටන්ට ලැබුණු දඬුවම් මොනවා ද?

ජොන්ස්ටන්
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීම ඇතුළු මෝටර් රථ ප්‍රවාහන පනතේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අත්හිටවූ සිර දඬුවම් නියම කළ අතර දඩ මුදල් ගෙවන ලෙස ද නියෝග කළේ ය.

මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ වූ චෝදනා කිහිපයකට වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.

ලැබුණු දඬුවම් සහ නියම කළ දඩ මුදල්

ඒ අනුව, 2023 වසරේ දෙසැම්බර් මස 5 වන දා සිට 2024 වසරේ ඔක්තෝබර් මස 4 වන දා දක්වා කාලසීමාව තුළ ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු අමාත්‍යවරයාට රුපියල් 5000ක දඩයක් නියම කළ අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිර දඬුවමක් නියම කරන බවත් නියෝගයේ සඳහන් විය.

ඊට අමතරව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ ලිඛිත අනුමැතියකින් තොරව එකලස් කරන ලද වාහනයක් බව දනිමින් එය ධාවනය කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කෙරිණි.

එම චෝදනාව සඳහා මාසයක ලිහිල් සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එම සිර දඬුවම වසර 5කට අත්හිටුවන බවත් නියෝග කළේ ය.

එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කරන බවත් නියෝගයේ සඳහන් විය.

එමෙන් ම එම කාල සීමාවේදී අදාළ කාර් රථය සඳහා KM - 5421 දරන අංක තහඩුව වංචනික ලෙස සවිකර භාවිත කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාර හිටපු අමාත්‍යවරයාට රුපියල් 25000ක දඩයක් නියම කෙරිණි.

එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිර දඬුවමක් නියම කරන බවත් නියෝගයේ සඳහන් විය.