ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

ජොන්ස්ටන් ප්‍රනාන්දු

ඡායාරූප මූලාශ්‍රය, Johnston Fernando‍ | Facebook

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුද්ගලික සමාගමක හිමිකරුවකු වන හේමන්ත ලලිත් ද සිල්වා යන සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 12 වැනිදා) නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර සිටියේ ය.

ඒ අනුව සැකකරුවන් රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළේය.

එල්ල වී ඇති චෝදනා මොනවා ද?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (සැප්: 04) ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ රජයට පාඩුවක් හා බාහිර පාර්ශ්වයකට අයුතුසහගත වාසියක් සිදුකර "දූෂණය" නම් වරද සිදුකිරීම හා ඒ සඳහා "ආධාර අනුබල දීම" යන චෝදනාව මත ය.

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිල දී ගැනීමේදී, නිසි ප්‍රමිතීන් යටතේ අවම මිල ගණන් ඉදිරිපත් කරන ලද ආයතනයෙන් මිල දී නොගෙන, ඩිසයින් පොයින්ට් පුද්ගලික සමාගම නම් ආයතනයෙන් මිල දී ගැනීම සඳහා කටයුතු සැලසීම තුළින් ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට රු. 7,973,114.50ක පාඩුවක් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

මෙහිදි බාහිර පාර්ශ්වයකට අයුතුසහගත වාසියක් සිදුකර "දූෂණය" නම් වරද සිදුකිරීම හා ඒ සඳහා "ආධාර අනුබල දීම" යන චෝදනාව මත හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු සහ ඩිසයින් පොයින්ට් පුද්ගලික සමාගමේ හිමිකරු පටබැඳිගේ හේමන්ත ලලිත් ද සිල්වා යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

විමර්ශන කටයුතු අවසන් කර නොමැති බැවින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සහ නීතිඥ රත්වත්තේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විමර්ශනවලට පූර්ණ සහාය ලබාදී තිබෙන බව සඳහන් කළේය.

ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නැති නිසා ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වරදක් සිදුකළ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවයි.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී ඇප පනත යටතේ මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුවන් ඇප මත මුදා හැරීමට තීරණය කරන බවත් මහේස්ත්‍රත්වරයා සිය නියෝගය සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙම නඩුකරය නොවැම්බර් මස 17 වැනිදා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

සතොස ආයතනයට අයත් දේපළ අවභාවිත කළ බවටත් චෝදනා

හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 2026 වසරේ ජනවාරි මාසයේදී ද අත්අඩංගුවට පත්විය.

ඒ, ඔහුගේ බාල පුත් ජෙරෝම් කෙනත් ප්‍රනාන්දු ද සමග ය.

මොවුන් අත්අඩංගුවට ගැනුණේ, සතොස ආයතනයට අයත් දේපළ අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව ය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයට අයත් ලොරියක් ඔවුන්ට අයත් එතනෝල් සමාගමක කටයුතු සඳහා භාවිත කිරීම තුළින් රජයේ දේපළ අවභාවිත කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇප මත මුදා හැරිණි.

ඊට අමතරව දැන දැන ම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිලධාරීන් නොමග යවා නීති විරෝධී ලෙස එතනෝල් බලපත්‍ර ලබා ගැනීම, බදු ගෙවීම පැහැර හැරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන්ට එරෙහිව මෙම විමර්ශන පැවැත්වේ.

2015 වසරේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.