නාමල් රාජපක්ෂ රිමාන්ඩ්: අධිකරණයේදී හෙළිවූයේ කුමක් ද?

නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට රැගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Ishara S. KODIKARA / AFP via Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 04 වැනිදා) නියෝග කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර සිටියේ ය.

අද (සැප්: 04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඔහු පෙනී සිටියේ ය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේ ගනුදෙනුවකට අදාළ විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි නාමල් රාජපක්ෂ එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

'ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 08 ක මුදලක් සැකකාර නාමල් රාජපක්ෂට ලබා දී තිබෙනවා'

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනි.. මෙය අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විමර්ශනයකට අනුවයි මේ අධිකරණයට අල්ලස් කොමිසම විසින් කරුණු වාර්තා කර තිබෙන්නේ. ප්‍රංශයේ එයාර් බස් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර ගිවිසුමක් ඇතිවෙනවා බඳ මහත එයාර් බස් ගුවන් යානා 10 මිලදී ගැනීමට. ඒ අනුව ගුවන් යානා 2 මිලදී ගැනීමෙන් පසු එයාර් බස් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ක් සිංගප්පූරුවේ " බිස් සොලියුෂන්" නමැති සමාගමට ලැබී තිබෙනවා. එහි මවු සමාගම බෲනායි රාජ්‍යයේ පිහිටා තිබෙන බවත් විමර්ශන වලදී අනාවරණය වුණා. එම බිස් සොලියුෂන් නමැති සමාගමේ හිමිකාරිය මෙන්ම එකම අධ්‍යක්ෂවරිය ලෙස ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය කටයුතු කර තිබෙනවා. ඇය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ බවත් විමර්ශන වලදී අනාවරණය වුණා. ඉන් අනතුරුව ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ සමාගමකින් රුපියල් මිලියන 09, 07, 02, 06 වශයෙන් අවස්ථා හතරකදී රුපියල් මිලියන 25 ක් ශමීන්ද්‍ර රාජපක්ෂ නමැති සැකකරුට බැර වී තිබෙනවා. ඊට අමතරව තවත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 08 ක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ජීවත් වන නිමල් පෙරේරා නමැත්තාගේ සමාගමේ ගිණුමට බැර වී තිබෙනවා. පසුව නිමල් පෙරේරා විසින් එම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 08 ක මුදල් සැකකාර නාමල් රාජපක්ෂට ලබා දී තිබෙනවා. 2014 වසරේ විනිමය අනුපාතයට අනුව එසේ ලබාදුන් මුදල් වල වටිනාකම රුපියල් මිලියන 100 ක් පමණ වෙනවා." යනුවෙන් සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා "මෙම ගුවන් යානා මිලදී ගැනීම පිළිබඳ තම සමාගමේ මීට පෙර සිටි කළමනාකාරීත්වය විසින් සිදුකළ ගනුදෙනු පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමට ප්‍රංශයේ එයාර් බස් සමාගම එකග වී තිබෙනවා. ඒ අනුව මෙම ගනුදෙනුවට අදාළ සියලුම ලේඛන, ඊ මේල් පණිවුඩ, ගිණුම් විස්තර යනාදිය එම සමාගම විසින් අල්ලස් කොමිසම වෙත ලබාදී තිබෙනවා. එම සාක්ෂි ඔස්සේ විමර්ශන සිදු කිරීමේදී මෙම සැකකරුට එරෙහිව සාක්ෂි අනාවරණය වුණා. ඒ අනුවයි සැකකාර නාමල් රාජපක්ෂ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ" යනුවෙන් සඳහන් කර සිටියේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා "මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිමල් පෙරේරා නමැත්තා ඔස්ට්‍රේලියාවේ සිට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහුට එල්ලවී තිබෙන ජීවිත තර්ජන නිසා ඔහු ඔස්ට්‍රේලියාවේ සිටින බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව එල්ල වූ ජීවිත තර්ජන නිසා තමාට ඔස්ට්‍රේලියාවට පලා ඒමට සිදුවූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් නිමල් පෙරේරා නමැති එම පුද්ගලයා ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. ඒ වගේම මෙම සිද්ධියට සම්බන්ධ අල්ලස් මුදල බෙදා හැරීමට කටයුතු කළ සැකකාර ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය මේ වනවිට ඔස්ට්‍රේලියාවේ රැදී සිටිනවා. එම සැකකාරිය අත් අඩංගුවට ගෙන රැගෙන ඒමට අප පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම තවත් සැකකරුවකු වන ෂමීන්ද්‍ර රාජපක්ෂ නමැත්තා ඇමෙරිකාවේ රැදී සිටිනවා. ඒ අනුව දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරල්වරයා සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මෙම විමර්ශනය අවසන් අදියරේ පවතින නිසා මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. " යනුවෙන් සඳහන් කළේය.

'එයාර් බස් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නෑ'

ඉන් අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනි... නිමල් පෙරේරා නමැත්තා කළ ප්‍රකාශයක් පදනම් කරගෙන පමණයි මේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මේ මුදල් නිමල් පෙරේරා විසින් නාමල් රාජපක්ෂට ලබාදී තිබෙන බව තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කර නෑ. නිමල් පෙරේරා නමැත්තා අවස්ථා කිහිපයකදී විවිධ ප්‍රකාශ සිදුකළ පුද්ගලයෙක්. ඔහුගේ විශ්වාසනීයත්වය පිළිබඳව බරපතල ගැටලු තිබෙනවා. මේ ගනුදෙනුව පිළිබඳව එයාර් බස් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නෑ. "එවැනි තත්ත්වයක් යටතේ මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බැවින් මෙම සැකකරු ඕනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් "මෙම සැකකරුට අදාළව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා. එම සහතිකය අභියෝගයට ලක් වී නැහැ. ඒ අනුව සැකකරුට ඇප ප්‍රදානය කිරීමට අධිකරණයට බලය ලැබෙන්නේ සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණි. මෙහිදී සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු අතර ප්‍රධාන වශයෙන් සුවිශේෂී කරුණු ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ නිමල් පෙරේරා නමැත්තා ලබා දී තිබෙන ප්‍රකාශයේ විශ්වාසනීයත්වය. සාක්ෂිකරුවකුගේ සාක්ෂිවල විශ්වාසනීයත්වය නිර්ණය කළ හැක්කේ නඩු විභාගයකදී. නඩු විභාගයකදී හරස් ප්‍රශ්න ඇසීම වැනි කටයුතු හරහා තමයි යම් සාක්ෂිකරුවකුගේ සාක්ෂිවල විශ්වාසනීයත්වය නිර්ණය කළ හැක්කේ. එම නිසා මෙම අවස්ථාවේදී නිමල් පෙරේරා නමැත්තා ලබාදුන් සාක්ෂියේ විශ්වාසනීයත්වය පිළිබඳව තීරණය කිරීමට මගේ අධිකරණයට හැකියාවක් නැහැ." ඒ අනුව මෙම අවස්ථාවේදී අධිකරණයට සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති නිසා මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියම කර සිටියේ ය.

ඊට අමතරව එයාර් බස් සමාගමේ නිලධාරීන් විසින් ලබා දී ඇති ප්‍රකාශ වල සාක්ෂි සම්පිණ්ඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළේය.

මිය ගිය කපිල චන්ද්‍රසේන කර තිබූ ප්‍රකාශය

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම මාර්තු 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඊට අමතරව අදාළ මුදල් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේ ය.

ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.

මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට

මේ සම්බන්ධයෙන් පසුගිය මැයි මස 12 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේ ය.

මැයි 08 වන දා මිය ගිය SriLankan ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබා දුන් ප්‍රකාශයක් මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබිණි.

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම (මාර්තු 19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ මීට පෙර කරුණු දක්වමින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් දින ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත්, එදින අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තම සේවා දායකයාට කළ තර්ජනයක් ගැන තමා කොටුව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කළ බවත් පැවසීය.

එයාර් බස් ගනුදෙනුව යනු කුමක් ද?

සිය සමාගමේ ගුවන් යානා මිල දී ගැනීම සහ බද්දට ගැනීම සම්බන්ධයෙන් දිගු කාලීන කොන්ත්‍රාත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එයාර් බස් සමාගම අතරමැදියන්ට විවිධ ක්‍රම ඔස්සේ අල්ලස් ලබා දී තිබුණු බවට චෝදනා එල්ල වී තිබිණි.

2011 ජූලි සිට 2015 ජුනි දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර්බස් ගුවන්යානා ගනුදෙනුවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට එයාර්බස් සමාගම එකඟ වී ඇතැයි අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

2013 මාර්තු 29 වන දින එයාර් බස් සමාගම A330 වර්ගයේ ගුවන් යානා හයක්, A350 ගුවන් යානා හතරක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විකිණීම සහ තවත් A350 ගුවන් යානා 4ක් බදු දීම සඳහා අතරමැදියකු සමග ගිවිසුමක් අත්සන් කර තිබූ බව අධිකරණ වාර්තාවේ දැක්වේ.

මේ අතර, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගන්නා සෑම A330 ගුවන් යානයක්ම සඳහා ‌ඩොලර් මිලියනයක් ද, බදු ගන්නා සෑම A350 ගුවන් යානයකටම ඩොලර් මිලියන 1.16ක් ද ‌කොමිස් ‌මුදලක් ලෙස අතරමැදියාට ගෙවීමට එකඟ වී ගිවිසුමක් අත්සන් කර ඇත.

එමෙන්ම, 2015 ඔක්තෝබර් 30 වන දිනට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනත් කිසිදු තරගකාරී ගුවන් සමාගමකින් වෙනත් ගුවන් යානා මිල දී නොගන්නේ නම් අතරමැදියාට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් ලබා දීමට අදාළ ගිවිසුම මගින් එයාර්බස් සමාගම එකඟ වී තිබිණි.

කෙසේනමුත්, එයාර්බස් සමාගම අතරමැදියාට ගෙවා ඇත්තේ, පෙර එකඟ වූ ඇමෙරිකානු ඩොලර් 16.84ක මුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් පමණි.

2013 ජූනි 19 පැරීසියේ පැවැත්වුණු ගුවන් යානා ප්‍රදර්ශනයකදී එයාර්බස් සමාගමේ A330 ගුවන් යානා 6ක් ඇණවුම් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබූ බව ද අධිකරණ වාර්තාවේ දැක්වෙයි.

එම ගුවන් යානා 6 ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබිණි.

නමුත්, 2013 ජුනි 28 ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම අතර ඇති වූ දෙවෙනි ගිවිසුම් ප්‍රකාරව ඇණවුම් කරන ලද A350 ගුවන් යානා හතර ශ්‍රී ලංකාවට එවා නොමැත.