බාබ් අල්-මන්දාබ්: සෞදි අරාබියේ උපායමාර්ගික දුර්වලතම ස්ථානය හූතින්ගේ ඉලක්කයක් වූ හැටි

    • Author, ෆෙරාස් කිලානි
    • Role, බීබීසී අරාබි විශේෂ වාර්තාකරු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

සෞදි අරාබිය වසර දහයකට වැඩි කාලයක් තිස්සේ යේමනය තුළ ක්‍රියාත්මක කළ හමුදාමය, රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික උත්සාහයන්, සැප්තැම්බර් මස ආරම්භයේදී දින කිහිපයක් ඇතුළත බිඳවැටුණු බවක් පෙනී ගියේ ය. ඒ, යේමනයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රජයට පක්ෂපාතී බළකායන්, හූතින්ගේ වේගවත් ප්‍රහාරාත්මක මෙහෙයුම හමුවේ ශීඝ්‍රයෙන් කඩා වැටීමත් සමග ය.

අන්සාර් අල්ලාහ් (දෙවියන්ගේ අනුගාමිකයන්) ලෙස ද හැඳින්වෙන හූති ව්‍යාපාරය, යේමනයේ රතු මුහුදු වෙරළ තීරයේ බහුතර ප්‍රදේශයක් තම පාලනයට නතු කර ගත් අතර, රතු මුහුද සහ ඒඩ්න් බොක්ක අතර පිහිටි උපාය මාර්ගික පිවිසුම් දොරටුව වන බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය දක්වා ම ඉදිරියට පැමිණියේ ය. ඉරානය විසින් පෙබරවාරි අගභාගයේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු, බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය සවුදි අරාබියේ ඉන්ධන අපනයන සහ වෙළෙඳ කටයුතු සඳහා වඩාත් වැදගත් මාර්ගයක් බවට පත්ව තිබේ. එබැවින් හූතින් එය වෙත ළඟා වීම, සෞදි අරාබියට උපාය මාර්ගික වශයෙන් දැඩි අභියෝගයක් ලෙස සැලකේ.

"සෞදි සතුරා"ට එරෙහිව නාවික අවහිරයක් පනවන බව හූතින් ප්‍රකාශ කිරීමෙන් සති කිහිපයකට පසු මෙම ඉදිරිගමන සිදුවිය. ඉන් අනතුරුව, සෞදි අරාබියේ නගර සහ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ අතර, ඉරානයේ සහය ලබන ඉරාක සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද බව කියන ප්‍රහාර ද වාර්තා විය.

රියාද්හි පිහිටි ගල්ෆ් ඉන්ටර්නැෂනල් ෆෝරම් ආයතනයේ ආචාර්ය අසීස් අල්ගෂියන් පවසන්නේ, වත්මන් තත්ත්වය තමන් බියෙන් සිතා සිටි දේ සැබෑවක් බවට පත්වූවාක් මෙන් දැනෙන බව ය.

"සවුදි අරාබියේ ආර්ථික ජීවනාලිය වන ඉන්ධන අපනයනය දැඩි ලෙස තර්ජනයට ලක්වෙමින් තිබෙනවා," ඔහු බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කළේ ය. "ඊට වඩා බරපතළ තත්ත්වයක් හිතා ගන්නත් අමාරු යි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

හෝමූස් සමුද්‍ර සන්ධියට පනවා තිබූ සීමා කිරීම්වලින් අනතුරුව, සෞදි අරාබිය සිය ඉන්ධන රතු මුහුදේ පිහිටි යන්බු (Yanbu) වරාය වෙත ප්‍රවාහනය කිරීම සඳහා East–West බොරතෙල් නළ මාර්ගය (East–West Crude Oil Pipeline) මත වැඩි වැඩියෙන් භාවිත කිරීමට පටන් ගත්තේ ය. ඉන්ධන අපනයනය කරන රටවල සංවිධානය (OPEC) අනුව, සෞදි අරාබියේ බොරතෙල් අපනයනවලින් 80%ක් දක්වා ප්‍රතිශතයක් ආසියානු වෙළෙඳපොළ වෙත යොමු වන අතර, ඒ හේතුවෙන් බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය උපාය මාර්ගික වශයෙන් අතිශයින් වැදගත් ස්ථානයක් බවට පත්ව ඇත. කෙසේ වෙතත්, පසුගිය සති දෙක තුළ හූති කණ්ඩායම් සමුද්‍ර සන්ධියට ආසන්න මෝකා (Mokha) සහ ධූබාබ් (Dhubab) නගරවල පිහිටි රජයේ හමුදා ස්ථාන අත්පත් කරගෙන ඇති අතර, ජල මාර්ගයේ හදවත ලෙස සැලකෙන උපාය මාර්ගික පෙරිම් (Perim) දූපතේ පාලනය ද තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත.

හූතින් දැනටමත් සෞදි අරාබි දේශසීමාව අසල ප්‍රදේශ ඇතුළුව යේමනයේ උතුරු ප්‍රදේශවලින් විශාල කොටසක් පාලනය කරමින් සිටියහ. ඔවුන්ගේ පරිපාලනය ක්‍රියාත්මක වූයේ යේමනයේ අගනුවර වන සානා නගරය කේන්ද්‍ර කරගෙන ය.

2015 වසරේදී සෞදි අරාබිය යේමනයේ නීත්‍යනුකූල රජයක් යළි ස්ථාපනය කිරීම අරමුණු කර ගත් "Coalition to Restore Legitimacy in Yemen" සන්ධානය ආරම්භ කළේ ය. සෞදි අරාබිය නායකත්වය දුන් එම සන්ධානය ගුවන් ප්‍රහාර දහස් ගණනක් එල්ල කළ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, එමගින් දස දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූ අතර පුළුල් විවේචන ද මතු විය. තව ද, 2021 වසරේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් යේමනයේ ප්‍රහාරාත්මක හමුදා මෙහෙයුම් සඳහා වූ ඇමෙරිකානු සහය නතර කළේ ය. එයට අදාළ අවි අලෙවියට ද සහාය නවතා දැමිණි.

සටන් හේතුවෙන් පුද්ගලයන් 150,000කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වී ඇති බව වාර්තා වන අතර, එය දැවැන්ත මානුෂීය අර්බුදයක් ද ඇති කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 4.8ක් ජනතාව අවතැන් වී ඇති අතර, මිලියන 19.5ක්, එනම් රටේ ජනගහනයෙන් අඩක් පමණ, යම් ආකාරයක මානුෂීය ආධාර අවශ්‍ය තත්ත්වයක පසුවෙති.

2022 වසරේ ඇති වූ සටන් විරාම ගිවිසුමෙන් පසු සන්සුන් කාලයක් පැවතුණ ද, හූතින්ගේ නවතම ප්‍රහාරක මෙහෙයුම එම කණ්ඩායමේ වර්ධනය වී ඇති යුදමය සහ සංවිධානමය හැකියාවන් හෙළිදරව් කරයි.

"අද අප දකින්නේ අත්දැකීම් බහුල, විනයගරුක සහ හොඳින් සංවිධානය වූ ව්‍යාපාරයක් පමණක් නොවෙයි. එය පණිවිඩ ප්‍රචාරණය සහ ඉලක්ක හඳුනාගෙන ප්‍රහාර එල්ල කිරීම යන ක්ෂේත්‍ර දෙකෙහි ම කෘත්‍රිම බුද්ධිය (AI) වැනි උසස් තාක්ෂණයන් භාවිත කරන කණ්ඩායමක් බවත් අපට දැකගත හැකි යි," යැයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එලිසබෙත් කෙන්ඩල් බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවා ය.

ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානය පනවා ඇති අවි තහනම උල්ලංඝනය කරමින්, ඩ්‍රෝන යානා, කෲස් මිසයිල සහ බැලස්ටික් මිසයිල වැනි අවි හූතින් වෙත රහසිගතව සපයන බවට සෞදි අරාබි සහ ඇමෙරිකානු නිලධාරීන් චෝදනා කර තිබේ. කෙසේ වෙතත්, ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, තමන් හූතින්ට අවි සැපයීමක් නොකරන අතර ඔවුන්ට ලබා දෙන්නේ දේශපාලනික සහය පමණක් බව පවසයි.

කෙසේ වෙතත්, ඉතාලි ජාත්‍යන්තර දේශපාලන අධ්‍යයන ආයතනය (Italian Institute of International Political Studies - ISPI) පවසන පරිදි, යේමනය තුළ ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කර්මාන්ත ශාලා ඉදිකිරීමට ඉරානය හූතින්ට සහය ලබා දී ඇත.

ඇමෙරිකාවේ වෙස්ට් පොයින්ට් හමුදා අකාඩමියට අනුබද්ධ Combating Terrorism Center ආයතනය පවසන පරිදි, හූතින්ට ලෙබනනයේ ඉස්ලාමීය සංවිධානයක් වන හිස්බුල්ලා (Hezbollah) වෙතින් ද යුදමය උපදේශන සහ සහය ලැබී ඇත.

හූති කැරලකරුවෝ තමන් ඉරානයේ න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියා කරන බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරති. ඔවුන් පවසන්නේ, තම ව්‍යාපාරය සහ තීරණ යේමනයේ ජාතික අවශ්‍යතා හා තමන්ගේ ම අරමුණු මත පදනම් වන බවත්, ඉරානයේ නියෝග හෝ බලපෑම් යටතේ ක්‍රියා නොකරන බවත් ය.

චැතම් හවුස් (Chatham House) ලෙස හඳුන්වන රාජකීය ජාත්‍යන්තර කටයුතු ආයතනයේ (Royal Institute of International Affairs) ෆාරියා අල්-මුස්ලිමි (Farea Al-Muslimi) පවසන පරිදි, හූතින්ගේ බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය දක්වා වූ ඉදිරි ගමන, කලාපය තුළ ටෙහෙරානයේ (ඉරානයේ) උපාය මාර්ගික ස්ථානය සහ බලපෑම ශක්තිමත් කිරීමට හේතු වී ඇත.

ඔහු පවසන්නේ, "ඉරානයට දැන් එක්සත් ජනපදය සමග කරන ගනුදෙනු සහ සාකච්ඡාවලදී, පෙර තිබූ තත්ත්වයට වඩා වැඩි බලපෑමක් සහ පීඩන බලයක් හිමි වී තිබෙනවා," යනුවෙනි.

කෙන්ඩල් BBC ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ, "ඉරානයේ සහය නොතිබුණ ද, හූතින් තමන් දැනට කරමින් සිටින ක්‍රියාකාරකම් දිගට ම කරගෙන යනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට තමන්ගේ ම අභිප්‍රේරණ සහ අරමුණු තිබේ. මේ මොහොතේදී, එම අභිප්‍රේරණ මුදල්, බලපෑම් කිරීමේ හැකියාව, කලාපීය හා දේශපාලනික බලපෑම සහ අවසානයේ දේශපාලනික පිළිගැනීමක් ඇති කර ගැනීම වටා කේන්ද්‍රගත වී ඇති බව පෙනේ," යනුවෙනි.

"ඉරානයෙන් ලැබෙන අවි, පුහුණුව සහ බුද්ධි තොරතුරු නොමැතිව හූතින්ට මෙතරම් ඉහළ මට්ටමක මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇත. එහෙත්, හූතින් මත ඉරානයට ඍජු අණදීමේ සහ පාලනය කිරීමේ බලයක් තිබෙන බව පැහැදිලි නොවේ," යැයි ඔහු පැවසීය.

2021 ජනවාරි මාසයේදී බලයට පත්වී මාසයකටත් අඩු කාලයක් ගත වී තිබියදී, බයිඩ්න් පරිපාලනය හූති කැරලිකරුවන් ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශීය ත්‍රස්තවාදී සංවිධාන (Foreign Terrorist Organizations - FTO) ලැයිස්තුවෙන් ඉවත් කළේ ය. එහෙත්, 2025 ජනවාරි 22 වන දින, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම නම් කිරීම යළිත් ක්‍රියාත්මක කළේ ය.

කෙසේ වෙතත්, ඇමෙරිකාවේ උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් මෑතකදී අනාවරණය කළේ, යේමනයේ නවතම තත්ත්වයන් පිළිබඳව වොෂින්ටනය හූතින් සමග ඍජු සාකච්ඡා පවත්වා ඇති බව ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, පෙරිම් දූපත (Perim Island) හූතින් විසින් අත්පත් කර ගනු ලැබීම පිළිබඳව එක්සත් ජනපදය අවධානය යොමු කර ඇති බවත්, එම ප්‍රදේශයේ සිදුවීම් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ය.

වෑන්ස් මෙම ප්‍රකාශය කළේ, යේමනයේ කටයුතුවලට මැදිහත් නොවන ලෙස හූතින් ඉල්ලීමක් කර ඇති බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයකට පසුව ය. හූතින් අවධාරණය කර ඇත්තේ, තමන්ට එක්සත් ජනපදය සමග කිසිදු හමුදාමය ගැටුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ය.

2024 සැප්තැම්බර් 14 වන දින, එක්සත් ජනපද මධ්‍යම අණදෙන බළකායේ අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් සෞදි අරාබියේ සංචාරයක නිරත වී එහි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් හමුවිය.

CNN පුවත් සේවය උපුටා දැක්වූ ආරංචි මාර්ගවලට අනුව, මොහොමඩ් බින් සල්මාන් දෙවරක් ම ඩොනල්ඩ් ට්‍රම්ප් සමග කතාබහ කරමින්, හූතින්ට එරෙහිව හමුදා ප්‍රහාර එල්ල කරන ලෙස ඉල්ලීමක් කර තිබේ. එහෙත්, එම ඉල්ලීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

"මේක එක්සත් ජනපදය සමග ඇති තම ආරක්ෂක සබඳතාව පිළිබඳ සෞදි අරාබියේ කලකිරීමේ මූලික හේතුවට අදාළ කාරණයක්," යැයි අල්ගෂියන් බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසීය. "එම සබඳතාව මත පමණක් විශ්වාසය තැබිය නොහැකි බව සෞදිවරුන් තේරුම්ගෙන සිටිනවා."

රියාද් තම ආධිපත්‍යය, පුරවැසියන් සහ ජාතික වැදගත්කම් ආරක්ෂා කර ගැනීමට තමන්ට ඇති නීත්‍යනුකූල අයිතිය පිළිබඳව දිගින් දිගට ම අවධාරණය කරයි. එමෙන් ම, හූතින් පවසන්නේ පසුගිය දින කිහිපය තුළ යේමනයේ ඉලක්ක රැසකට එරෙහිව සෞදි අරාබිය ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව ය.

හූති ප්‍රකාශක මොහොමඩ් අබ්දුල්සලාම් පවසා ඇත්තේ, ඔවුන්ගේ නවතම මෙහෙයුම් ජාත්‍යන්තර නාවික ගමනාගමනයට තර්ජනයක් නොවන බව ය. තව ද, ඔවුන් සෞදි අරාබිය විසින් යේමනයට පනවනු ලැබ ඇති බව කියන අවහිර කිරීම ඉවත් කරනු ලැබීමත්, රටට එරෙහි ප්‍රහාර නතර වීමත් සමග ම මෙම මෙහෙයුම් අවසන් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, "රතු මුහුද සහ බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ජාත්‍යන්තර නාවික ගමනාගමනය සහ වෙළෙඳාම තවමත් ආරක්ෂිතව සහ විධිමත්ව පවතිනවා," යනුවෙනි.

"හූතින් තම පණිවිඩ ප්‍රචාරණය සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත් වී ක්‍රියා කර තිබෙනවා. මන්ද, ඔවුන්ට තමන්ට එරෙහිව ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධීකරණය කළ හමුදා මෙහෙයුමක් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නැහැ," යැයි කෙන්ඩල් බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවාය. "දැනට, ඔවුන්ගේ වැඩි සතුරුබව සහ විරෝධය යොමු වී තිබෙන්නේ සෞදි අරාබිය වෙත යි."

ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවති එක්සත් ජනපදයේ මැදිහත්වීමක් සහිත යුද ගැටුම අතරතුර, සෞදි අරාබිය, ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර රැසකට ඉලක්ක විය. සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ද, සෞදි නිලධාරීන් පවසන්නේ ප්‍රහාර දිගට ම සිදුවන බව ය. ඔවුන්ට අනුව, මෙම ප්‍රහාර ඉරානයේ සහය ලබන ඉරාක භූමියෙන් ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් මෙන් ම හූතින් විසින් ද සිදු කරනු ලබයි. තව ද, සැප්තැම්බර් 11 වන දින, දකුණු ඉරාකයෙන් දියත් කර ඇති බවට සැක කෙරෙන ඩ්‍රෝන යානා East–West බොරතෙල් නල මාර්ගයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, සෞදි බලශක්ති අමාත්‍යාංශය එහි මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවූ බව ප්‍රකාශ කළේ ය.

සෞදි අරාබිය දැන් මුහුණ දෙමින් සිටින්නේ, අතිශය සංකීර්ණ උභතෝකෝටිකයකට ය.

හූතින්ට එරෙහිව හමුදාමය ප්‍රතිචාරයක් දැක්වීම සාර්ථක වනු ඇති බවට කිසිදු සහතිකයක් නොමැත. එයට හේතුව වන්නේ, 2015 සිට 2022 දක්වා පැවති ගැටුමේ අත්දැකීම් ය. එවැනි මෙහෙයුමක් සඳහා දැනට නොපවතින කලාපීය සහ ජාත්‍යන්තර සහය අවශ්‍ය වන අතර, එය සැලකිය යුතු අවදානම් රැසක් ද සමග පැමිණිය හැකි ය. විශේෂයෙන් ම, හූතිවරුන් සතුව ඇතැයි විශ්වාස කෙරෙන උසස් මට්ටමේ මිසයිල සහ ඩ්‍රෝන හැකියාවන් හේතුවෙන් එම අවදානම් තවත් වැඩි විය හැකි ය.

අල්-මුස්ලිමි BBC ප්‍රවෘත්ති සේවයට පැවසුවේ, "යේමනයේ භූගෝලීය ස්වභාවය, එහි ජනවාර්ගික හා සමාජීය ලක්ෂණ, රට තුළ පවතින අධික අවි ගබඩාව, රාජ්‍ය ආයතනවල දුර්වලතාව සහ ශක්තිමත්, ප්‍රමුඛ දේශීය මිත්‍ර පාර්ශවයක් නොමැති වීම යන කරුණු සියල්ල ම යේමනය තුළ ඕනෑ ම හමුදාමය මෙහෙයුමක් ඉතා දුෂ්කර, නැතිනම් සම්පූර්ණයෙන් ම කළ නොහැකි දෙයක් බවට පත් කරයි. එය සෞදි අරාබිය විසින් හෝ වෙනත් කිසියම් පාර්ශ්වයක් විසින් සිදු කරනු ලැබුවත් එම තත්ත්වය වෙනස් වෙන්නෙ නෑ," යනුවෙනි.

එහෙත්, ප්‍රතිචාරයක් නොදක්වා සිටියහොත් සෞදි අරාබිය, අනාගතයේදී සන්නද්ධ කණ්ඩායම් සහ කලාපීය බලවේග විසින් කරනු ලබන බලපෑම් හෝ ප්‍රහාර සඳහා වඩාත් අවදානමට ලක් විය හැකි ය.

අල්ගෂියන් BBC ප්‍රවෘත්ති සේවයට පැවසුවේ, "සෞදිවරුන්ට තමන් හුදෙකලා වී ඇති බවට වඩා, තමන්ගේ සම්පත් සහ හැකියාවන් අධික ලෙස විසිරී ඇති බවක් දැනෙනවා," යනුවෙනි.

"අපි එකවර ම අර්බුද කිහිපයකට මුහුණ දෙන කලාපයක කොටසක්. පෙරමුණු කිහිපයක ම ගිනි ඇවිළී තිබෙන අතර, ඒ සියල්ලට එකවර ප්‍රතිචාර දැක්වීම අතිශය දුෂ්කර කාර්යයක්," යැයි ඔහු පැවසීය.

ලෝකයේ වැදගත් ම නාවික මාර්ගවලින් එකකට එල්ල වන හූති තර්ජනය වර්ධනය වෙමින් පවතින බව සෞදි අරාබිය විශ්වාස කරන අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර සහය ලබා ගැනීමට සෞදි රාජ්‍ය තාන්ත්‍රික උත්සහයන් දිගට ම ක්‍රියාත්මක වේ. එම අතරතුර, අන්සාර් අල්ලාහ් සටන්කාමීහු රතු මුහුදට පිවිසෙන ද්වාරය අසල තම ස්ථානය සහ බලය තවදුරටත් ශක්තිමත් කරමින් සිටිති.

රියාද් පාලනයට අනුව, අද ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කිරීම හේතුවෙන් හෙට වන විට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි තත්ත්වයක් උදා විය හැකි බව පිළිබඳ කනස්සල්ල වැඩිවෙමින් පවතී.