ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇමෙරිකානු සම්බාධක පැනවූ ඉරාන නෞකා 21ක්' - BBC නිරීක්ෂණයකින් හෙළිවේ
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
ඇමෙරිකාව සහ ඉරානය අතර පසුගිය මාස හතකට අධික කාලයක් පුරා පවතින යුදමය ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපය ලෝක අවධානයට ලක්ව තිබේ. එම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ද අනපේක්ෂිත ලෙස එම භූ දේශපාලනික අර්බුදයේ සංවේදී ස්ථානයක පසුවන රටක් බවට පත්ව ඇත.
ඒ සඳහා ප්‍රධාන හේතුව වූයේ, 2026 මාර්තු 4 වන දා ගාල්ලට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු කලාපයේදී ඉරාන නාවික හමුදාවට අයත් 'IRIS Dena' යුද නෞකාව ඇමෙරිකානු නාවික හමුදා සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමීම යි. එම ප්‍රහාරයෙන් ඉරාන නාවිකයින් 87 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.
එවැනි පසුබිමක් තුළ, ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ ඉරානයට අයත් නෞකා රැසක් ස්ථානගතව ඇති බවට වාර්තා වූ අතර, බොහෝ දෙනාගේ අවධානය ඊට යොමුවිය.
'ශ්‍රී ලංකාව ආසන්නයේ නැව් 47ක්'
අමෙරිකාව සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් මැද, මෙරට මුහුදු සීමාවට ආසන්නව ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ නෞකා 47ක් නවතා ඇති බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි අමාත්‍ය විජිත හේරත් පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගිය සැප්තැම්බර් මස 08 වන දා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ය.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, මෙරට මුහුදු සීමාවේ සිට මුහුදු සැතපුම් 24කට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේ මෙම නෞකා නවතා තබා ඇති බවත්, ඒ අතර ඉරාන නෞකා කිහිපයක් ද වන බවත් ය.
ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති මෙම නෞකා අතර වෙළෙඳ නැව් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා ද වන බව අමාත්‍යවරයා පැවසුවේ ය.
අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් කළ විමසීම
ශ්‍රී ලංකාවට ආසන්නයේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් සිදුකරනු ලැබූ බව අමාත්‍ය විජිත හේරත් මෙහිදී පැවසුවේ ය.
"ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දීමක් කළා ඉරාන නැව් කිහිපයක් තියෙනවා, අපි ඒ ගැන දැනුවත් ද ඉන්නේ සහ ඒ ගැන නිරීක්ෂණය කරනව ද කියලා. ආරක්ෂක අමාත්‍යාංශයට වගේ ම වරාය කටයුතු අමාත්‍යාංශයටත් දැනුම්දීමක් කළා. ඒ හරහා අපි නිරීක්ෂණයක ඉන්නවා. ඒ නැව් තියෙන්නේ අපේ මුහුදු සීමාවෙන් එහාට වෙන්න," අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.
මෙරට මුහුදු සීමාවට ආසන්නයේ ඇති ඉරාන නෞකා මොනවා ද?
බීබීසී සිංහල සහ BBC Verify කණ්ඩායම කළ සොයා බැලීමකට අනුව, සැප්තැම්බර් මස 15 වන දා GMT වේලාවෙන් 3:30ට ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ ඉරාන නෞකා 21ක් ස්ථානගතව තිබූ බවට තහවුරු කර ගැනීමට හැකි විය.
MarineTraffic.com වෙබ් අඩවිය හරහා සිදුකරන ලද නිරීක්ෂණයකින් තහවුරු වූයේ මාතර සිට ගාල්ල, කොළඹ හරහා මීගමුව දක්වා වූ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු කලාපයේ ඉරානයට අයත් නෞකා 21ක් ස්ථානගතව ඇති බව ය.
ස්ට්‍රීම් (Stream), හෝල්ටි (Halti), ඩ්‍රීම් II (Dream II), සී ක්ලිෆ් (Sea Cliff), ස්නෝ (Snow), හෙල්ම් (Helm), ඩයමන්ඩ් II (Diamond II), ඩීප් සී (Deep Sea), ඩිනෝ I (Dino I), හර්බි (Herby) , සෙවින් (Sevin), ඇම්බර් (Amber), හෙනා (Henna), හියුජ් (Huge), ඩෝර් (Dore), සෝනියා I (Sonia I), ෆෙලිසිටි (Felicity), ඩියුන් (Dune), හීරෝ II (Hero II), ඩේසි (Daisy) සහ ෂිබා (Shiba) යන ඉරානයට අයත් නෞකා මෙලෙස ශ්‍රී ලංකාව අවට ජාත්‍යන්තර මුහුදේ ස්ථානගතව ඇති බව බීබීසී සිංහල සහ BBC Verify තහවුරු කර ගැනීමට සමත්විය.
මෙම ඉරාන නෞකා ඉකුත් ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු කලාපයේ ස්ථානගතව ඇති බව තහවුරු විය.
MarineTraffic.com වෙබ් අඩවියට අනුව, ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ ස්ථානගතව ඇති සියලු ම ඉරාන නෞකා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා ඇති නෞකා බවට මෙහිදී කරුණු අනාවරණය විය.
මෙම ඉරාන නෞකාවන් අතර ඉන්ධන ප්‍රවාහනයට යොදා ගනු ලබන ටෑන්කර් නෞකා සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා ද වේ.
'ශ්‍රී ලංකාවෙන් පහසුකම් ඉල්ලා නැහැ'
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අමාත්‍යවරයා සැප්තැම්බර් මස 08 වන දා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ නෞකා 47ක් නැංගුරම් ලා ඇති බවත්, කිසිදු නෞකාවක් මේ වන තෙක් ශ්‍රී ලංකාවෙන් පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර නොමැති බවත්, ශ්‍රී ලංකාව ද එම නෞකා සඳහා පහසුකම් සලසා දීමක් සිදුකර නොමැති බවත් ය.
"මේ කියන නැව් ඉරාන නැව් විතරක් ම නෙමෙයි. අපි නැව් 47ක් හඳුනාගෙන තියෙනවා. මේ සියලු ම නැව් තිබෙන්නේ අපේ මුහුදු සීමාවෙන් ඔබ්බට. ජාත්‍යන්තර මුහුදු සීමාවේ මුහුදු සැතපුම් 24කට එහා පැත්තේ. ඒ තියෙන නැව්වලින් ඉරානයට අයත් නැව් කිහිපයකුත් තියෙනවා. ඒ කිසිවක් අපේ මුහුදු සීමාවේ නෑ. මේක අපේ ලංකාවට යාබදව විතරක් නෙමෙයි, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවලටත් යාබදව ජාත්‍යන්තර මුහුදු සීමාවේ විවිධ වෙළෙඳ නැව්, භාණ්ඩ ප්‍රවාහන නැව් නවතා තබනවා. ඒ භාණ්ඩ ප්‍රවාහන නැව් ප්‍රවාහන කටයුත්ත ඉටු කරන තෙක්. අපි මේ කිසිවකට ලංකාවේ ආණ්ඩුව හැටියට කිසි ම පහසුකමක් සපයලා නෑ. ඒ වගේ ම ඔවුන්ගේ පැත්තෙන් අපෙන් ඉල්ලීමක් කරලාත් නෑ. මොනවා හරි අවශ්‍ය යි කියලා ජාත්‍යන්තර සාගර නීතියට අනුව අපෙන් ඉල්ලීමක් කරලාත් නෑ, අපි යමක් ලබා දීලත් නෑ. නැව් කිහිපයක් තිබෙන බව ඇත්ත. අපේ නාවික හමුදාවත් ඒ පිළිබඳව නිරීක්ෂණයක ඉන්නවා. ඒ හැර මේ පිළිබඳව කිසිදු මැදිහත්වීමක් රජයක් විදිහට කරලා නැහැ," අමාත්‍යවරයා පැවසීය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පර්යේෂකයෙකු සහ උපදේශකයෙකු වන ආචාර්ය හසිත කන්දඋඩහේවා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ, ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට පවතින තත්ත්වය සම්බන්ධයෙන් කල්පනාකාරීව කටයුතු කිරීමට සිදුව ඇති බව ය.
"ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ තියෙන ඉරාන නැව් ගැන අමෙරිකාවෙන් නිල වශයෙන් ශ්‍රී ලංකාවෙන් විමසීමක් කරලා තියෙනවා. ඒ මේ නෞකා ශ්‍රී ලංකාවේ රැකවරණය යටතේ ද තියෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවෙන් දැනුම්දීමක් කරලා තියෙනවා මේ නෞකා තියෙන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ කියලා. ඒ වගේ ම තමන්ගේ ගමනාන්තයට ළඟා වෙන්න කිසි ම ආකාරයේ ආරක්ෂාවක් හෝ හදිසි අවස්ථාවක් නිසා උදව් අවශ්‍ය යි කියලා ඉල්ලීමක් කරලා නැහැ කියලා. ඒ වගේ ම ලංකාව මේ තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනවා කියලා. මෙතැනදී නොබැඳි රටක් හැටියට ශ්‍රී ලංකාවට කල්පනාකාරීව කටයුතු කරන්න වෙනවා," ඔහු කියා සිටියේ ය.
'දින 190ක් තිස්සේ ත්‍රිකුණාමලයේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාව'
2026 මාර්තු 04 වන දා ගාල්ලට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු කලාපයේදී ඉරාන නාවික හමුදාවට අයත් 'IRIS Dena' යුද නෞකාව ඇමෙරිකානු නාවික හමුදා සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමීමෙන් අනතුරුව, මානුෂීය හේතු මත මෙරට පාලනයට ගනු ලැබූ ඉරාන නාවික හමුදාවට අයත් 'IRIS Bushehr' නෞකාව ඉකුත් මාර්තු මස 09 වන දා සිට ත්‍රිකුණාමලයේ නැංගුරම් ලා තිබේ.
එම නෞකාවේ සිටි ඉරාන නාවිකයින් 208 දෙනෙකු නාවික හමුදාවේ වැලිසර පිහිටි කඳවුරේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව, ඔවුන් පසුව ගුවන් මගින් ඉරානයට පිටත් කර යැවිණි.
මේ අතර, නෞකාවේ ආරක්ෂාව සඳහා ඉරාන නාවිකයින් 13 දෙනෙකු ත්‍රිකුණාමලයේ නැංගුරම්ලා ඇති 'IRIS Bushehr' නෞකාවේ තවමත් රැඳී සිටින බව පසුගිය දා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ත්‍රිකුණාමලයේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාවක් වන 'IRIS Bushehr'හි සේවය කරන ඉරාන නාවිකයන් 13 දෙනා මාරු කිරීම සඳහා මෙරටින් ඉල්ලීමක් කර තිබුණ ද, ආරක්ෂක අමාත්‍යාංශය මේ දක්වා අවසර ලබා දී ඇත්තේ, නාවිකයන් තිදෙනෙකුට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඉකුත් සැප්තැම්බර් මස 11 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත්, ඉන්දියාවේ නැංගුරම්ලා ඇති ඉරාන නෞකාවක සේවය කරන ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් ඉරාන රජය කළ ඉල්ලීම් සැලකිල්ලට ගත් ඉන්දීය රජය, ඉරාන නාවිකයන් 30 දෙනෙකු පමණ මාරු කිරීමට සහ ඔවුන් නැවත ඉරානය බලා යෑමට අවසර ලබා දී ඇති බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.
මෙරට සිටින ඉරාන නාවිකයන් නැවත පැමිණෙන තෙක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් බලාපොරොත්තුවෙන් සිටින බැවින්, රජය මේ සම්බන්ධයෙන් වගකීම භාරගෙන කඩිනම් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මෙහිදී අවධාරණය කළේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කළේ, ඉරාන නාවිකයන්ගේ ආරක්ෂාව සහ ශුභසාධනය පිළිබඳව ආරම්භයේ සිට ම අවශ්‍ය අවධානය යොමු කර ඇති බව ය. ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන සමග සම්බන්ධීකරණයෙන් ඉතිරි ගැටලු විසඳීමට පියවර ගනිමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පර්යේෂකයෙකු සහ උපදේශකයෙකු වන ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ, ස්වෛරී රාජ්‍යයක් සහ ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් තබා ඇති රටක් ලෙස සහය ඉල්ලා සිටියහොත් සහය ලබා දීමට ශ්‍රී ලංකාවට සිදු වන බව ය.
"ස්වෛරී රාජ්‍යයක් විදිහටත්, ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා තියෙන රටක් හැටියටත් මෙතැනදී ප්‍රශ්නයක් එන්න හැකියාවක් තියෙනවා ශ්‍රී ලංකාවට. ස්වෛරී රාජ්‍යයක් හැටියට යුදමය නොවන තත්ත්වයකදී ඕනෑ ම රටකට සහය දෙන්න ශ්‍රී ලංකාවට කටයුතු කරන්න වෙනවා. මේ වගේ අවස්ථාවක් තමයි පහුගිය මාර්තු මාසයේදී ඉරානයේ 'IRIS Bushehr' නෞකාවට රැකවරණය ලබා දුන්නේ. ඒ වගේ ම ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා තියෙන රටක් හැටියට, අපගේ මුහුදු සීමාවට අයත් වන කලාපයේදී යම් නෞකාවක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා උදව් ඉල්ලුවොත් ශ්‍රී ලංකාවට ඒ සහය ලබා දෙන්න සිද්ධ වෙනවා," ඔහු කියා සිටියේ ය.
ඉරාන තානාපති කාර්යාලයේ ප්‍රතිචාරය
ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ස්ථානගතව ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා බීබීසී සිංහල ඉකුත් සැප්තැම්බර් 09 වන දා සිට මෙම ප්‍රවෘත්තිය පළ කරන සැප්තැම්බර් 17 වන දා දක්වා අවස්ථා රැසකදී උත්සහ දැරුව ද, කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.
බීබීසී සිංහල සේවය අවස්ථා 04කදී විද්‍යුත් තැපෑල හරහා මෙන් ම අවස්ථා 05කදී දුරකතන මාර්ගයෙන් ද කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයෙන් ඉරාන නැව් සම්බන්ධයෙන් තොරතුරු විමසීමක් සිදුකළ ද, ඔවුන්ගෙන් මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නොමැත.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරය
ශ්‍රී ලංකාව ආසන්න මුහුදු කලාපයේ ඇති ඉරාන නැව් පිළිබඳ ප්‍රතිචාරය කුමක්දැයි බීබීසී සිංහල ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේ ය.
ඉරානයේ නීති විරෝධී ඉන්ධන වෙළෙඳාම ඇතුළු අංශ කිහිපයක් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බව, බීබීසී සිංහල සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ය.
"එක්සත් ජනපදය, ඉරාන රජයේ අහිතකර ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට සහය වන ඉරාන හමුදා හා විනාශකාරී අවි ව්‍යාප්ති ක්‍රියාකාරකම්, සැපයුම් ලබාගැනීමේ කුමන්ත්‍රණ, ද්වේෂසහගත සයිබර් මෙහෙයුම් සහ නීතිවිරෝධී ඉන්ධන වෙළෙඳාම බිඳ දැමීම, හෙළිදරව් කිරීම සහ ඒවා අඩාළ කිරීම අඛණ්ඩව සිදු කරනු ඇත. මෙම ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් සහ සංවිධාන වගකීමකට යටත් කිරීම සඳහා අප සමග එක්වන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු," ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වා තිබිණි.
එමෙන් ම, මෙම ඉරාන නෞකා සම්බන්ධයෙන් ඇමෙරිකානු රජය ශ්‍රී ලංකා රජයෙන් විමසීමක් කර තිබේ ද? යන්න පිළිබඳව කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ, පෞද්ගලික රාජ්‍ය තාන්ත්‍රික සංවාදවල අන්තර්ගතය පිළිබඳව ඔවුන් අදහස් දැක්වීමට බලාපොරොත්තු නොවන බව ය.
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට බලපෑමක් එල්ල විය හැකි ද? යන්න පිළිබඳව බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ, ශ්‍රී ලංකාවට ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කල්පනාකාරීව කටයුතු කිරීමට සිදුවනු ඇති බව ය.
"ඇමෙරිකා එක්සත් ජනපදය ඉල්ලීමක් කරලා තියෙනවා ශ්‍රී ලංකාවෙන් මේ නෞකාවලට මෙරට මුහුදු තීරයට ඇතුළු වෙන්න ඉඩ දෙන්න එපා කියලා. මොක ද මේ නැව්වලට ජාත්‍යන්තර සම්බාධක පනවලා තියෙන නිසා. එතැනදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මුතීන් අතර ගැටලුවක්, සම්ප්‍රදායානුකූල ජාත්‍යන්තර සබඳතා (Customary international relations) වගේ ම ප්‍රායෝගික ජාත්‍යන්තර සබඳතාවලදී ගැටලු කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ නිසා ලංකාව බොහෝ දුරට උත්සහ ගනීවි මේ නෞකා ගැන නිරීක්ෂණ මට්ටමින් තමන්ගේ කටයුතු පවත්වාගෙන යන්න. හැබැයි යම් විදිහකින් හදිසි උපකාරක ඉල්ලීමක් කළොත් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සාගර සම්මුතියට අනුකූලව ඒකට ප්‍රතිචාර දැක්වීමක් කර යි," ඔහු පැවසුවේ ය.
ඉරාන නෞකා 08කට අමෙරිකාවෙන් ප්‍රහාර
මාස 07කට අධික කාලයක් පුරාවට ක්‍රියාත්මක ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද ගැටුම්වලදී දෙපාර්ශ්වය ම අවස්ථා රැසකදී ඉන්ධන සහ වෙළෙඳ නෞකා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර තිබේ.
පසුගිය සැප්තැම්බර් 04 වන දා ඉරානය විසින් සිය යුද නෞකා දෙකක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට දරනු ලැබූ උත්සහයට ප්‍රතිචාර වශයෙන්, සැප්තැම්බර් 05 සහ 08 යන දෙදින තුළදී ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව ඉරානයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකා 08කට පහර දී, ඉන් එක් නෞකාවක් සම්පූර්ණයෙන් ම ගිල්වා දැමූ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය (CENTCOM) නිවේදනය කර තිබිණි.
සැප්තැම්බර් මස 05 වන දා ඉරානයට අයත් නෞකා 03කට සහ සැප්තැම්බර් 08 වන දා තවත් ඉරාන නෞකා 05කට පහර දුන් බව ඇමෙරිකාවේ මධ්‍යම අණදෙන විධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වුව ද, ජාත්‍යන්තර නීතිය යටතේ මධ්‍යස්ථ රටක වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 12ක් දක්වා විහිදෙන එම රටේ භෞමික ජල සීමාව තුළ රැඳී සිටින නෞකාවලට පහර දීමට කිසිදු රටකට අවසර හිමි නොවේ.
භූගෝලීය පිහිටීම අනුව, ගෝලීය නාවික ගමනාගමනය සඳහා අතිශය වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබේ. සෑම වසරකදී ම ගෝලීය බහාලුම් ප්‍රවාහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සහ ලෝක ඉන්ධන ප්‍රවාහනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවට ආසන්නයෙන් විහිදෙන මෙම ජාත්‍යන්තර නාවික මාර්ගය ඔස්සේ ය.
ResearchGate වෙබ් අඩවියේ පළ කර ඇති තොරතුරුවලට අනුව, ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු මාර්ගය වාර්ෂිකව නෞකා 60,000කට අධික සංඛ්‍යාවක් භාවිත කරයි.
එක්සත් ජාතීන්ගේ සාගර නීති සම්මුතිය (UNCLOS) අනුව, ජාත්‍යන්තර නීතිවලට අනුකූලව සහ යම් රාජ්‍යයක ලියාපදිංචි වී ඇති ඕනෑ ම නෞකාවකට මහ මුහුදේ නිදහසේ යාත්‍රා කිරීමට සහ නැංගුරම් ලෑමට අයිතිය හිමි වේ.
අතිරේක වාර්තාකරණය : රිචඩ් අර්වින්-බ්‍රවුන් සහ එමා පෙන්ගෙලි, බීබීසී වෙරිෆයි