ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අරවින්ද ද සිල්වාට සහ බිරිඳට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
SriLankan ගුවන් සේවයට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකුව සිට මෑතකදී සියදිවි නසා ගත් කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වෙනුවෙන් තැබූ ඇප තැබූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳට ඊයේ (සැප්: 16) දින නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේ ය.
ඇප රාජසන්තක නොකිරීමට හේතු දැක්වීම සඳහා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කර තිබුණ ද අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ඊයේ දින අධිකරණයේ පෙනී නොසිටියහ.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ නියෝග කර තිබිණි.
ඉන් අනතුරුව මෝසමක් මාර්ගයෙන් අද දින ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරුන් කියා සිටියේ, සිය සේවාදායකයාගේ මවගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් පෙනී සිටීමට නොහැකි වූ බවත්, එහෙයින් දැනට නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් ය.
ඒ අනුව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.
බදාදා නිකුත් කළ වරෙන්තුව
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන බදාදා (සැප්: 16) නිකුත් කළේ ය.
අරවින්ද සිල්වාගේ බිරිඳගේ නිවුන් සහෝදරිය මෙන් ම, මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාට මීට පෙර තිබූ නඩුවක ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී සිටින අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ එම ඇපකාරභාවයෙන් ඉවත්වීම සඳහා පවරා තිබූ නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේ ය.
එම නියෝගය කළේ, එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.
එහිදී අදාළ නඩුවේ ඇපකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත තිබිණි.
කපිල චන්ද්‍රසේනගේ මරණය
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මිය ගොස් සිටියදී, අරවින්ද ද සිල්වාගේ නිවසින් හමුවූ අතර, ඒ සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා මැයි මාසයේ 12 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි ලබා දුන්නේ ය.
පසුව අරවින්ද ද සිල්වාගේ බිරිඳ ප්‍රියංගා අනුෂ්කා විජේනායක අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා ය.
අරවින්ද සහ බිරිඳ දුන් සාක්ෂි සම්පූර්ණයෙන් කියවන්න: