ඩොලර් බිලියනයක් රටින් පිට කිරීමේ ජාවාරම: ප්‍රධාන සැකකරු රිමාන්ඩ්, බැංකු නිලධාරීන්ට ඇප

Published
කියවීමේ කාලය: මිනිත්තු 3

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැර කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින ව්‍යාපාරික මොහොමඩ් ජිෆ්රිගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මේ අතර, එම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (සැප්තැම්බර් 17) නියෝග කර සිටියේ ය.

ඒ අනුව, එක් එක් සැකකරුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඇපකරුවන් සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවට ද සඳහන් කළේය.

එමෙන්ම, තමන් සේවය කළ බැංකු ශාඛාවට හා එහි ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීම වළක්වාලමින් සැකකරුවන් වෙත තවත් නියෝගයක් ද නිකුත් කෙරිණි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම නඩුවේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයාට අයත් බව කියන සමාගම් 89ක් පිළිබඳව මුලින් තොරතුරු ලැබී ඇති බවයි.

ඉන් සමාගම් 36ක් සැකකරුට අයත් බවට තොරතුරු අනාවරණය වූ අතර වැඩිදුර විමර්ශනවලදී තවත් සමාගම් 5ක් පිළිබඳ තොරතුරු ද අනාවරණය වී ඇතැයි ඔහු පැවසීය.

"මෙහි ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයාට අයත් බව සඳහන් සමාගම් 89 ක් පිළිබඳව මුලින්ම තොරතුරු ලැබී තිබුණා. ඉන් සමාගම් 36 ක් මෙම සැකකරුට අයත් බවට තොරතුරු අනාවරණය වුණා. වැඩිදුර විමර්ශන වලදී තවත් සමාගම් 05 ක් පිළිබඳව තොරතුරු අනාවරණය වුණා. එම සමාගම් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලදී අනාවරණය වුණා අවස්ථා 1654 කදී රුපියල් බිලියන 12 කට අධික මුදලක් රටින් බැහැර කර තිබෙනවා. ඊට අමතරව තවත් රුපියල් මිලියන 415 කට අධික මුදලක් බැහැර කර තිබෙන බවට තොරතුරු අනාවරණය වුණා. පුද්ගලික බැංකු 5ක් හරහා තමයි මෙම මුදල් බැහැර කිරීම සිදුකර තිබෙන්නේ. ඒ අනුව ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා රුපියල් බිලියන 86 කට වැඩි මුදලක් නීති විරෝධී ලෙස රටින් බැහැර කර තිබෙන බවත් විමර්ශන වලදී කරුණු අනාවරණය වුණා" රජයේ නීතිඥවරයා අධිකරණයේදී සඳහන් කළේය.

එම සමාගම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, අවස්ථා 1,654කදී රුපියල් බිලියන 12කට අධික මුදලක් රටින් බැහැර කර ඇති බවත්, ඊට අමතරව තවත් රුපියල් මිලියන 415කට අධික මුදලක් ද විදේශගත කර ඇති බවත් අනාවරණය වී ඇතැයි රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

"මෙම සැකකරුට අයත් සමාගම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී පුද්ගලයෙකුගේ නැති වූ ජාතික හැඳුනුම්පතක් උපයෝගී කරගෙන පවා සමාගමක් ආරම්භ කර තිබෙන බවට තොරතුරු අනාවරණය වුණා. මෙම සැකකරුට අයත් සමාගම් 41 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර ඉන් සමාගම් 21 ක් පිළිබඳ විමර්ශන කටයුතු ඉදිරි සති දෙක තුළ අවසන් කිරීමට අපේක්ෂා කරනවා."

මීට අමතරව, හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් ලක්ෂ 60කට අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අද (සැප්:17) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී ඇති බවද රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා සහ තවත් සැකකරුවකු ලබන ඔක්තෝබර් 1 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.