චීනය සතු AI බලය ලෝකයට පෙන්වන Apec සමුළුව: ලෝක නායකයන් නොදකින ෂෙන්සෙන් නගරයේ සැඟවුණු යථාර්ථය

- Author, ලෝරා බිකර්
- Role, චීන වාර්තාකරු
- වාර්තාකරණය, ෂෙන්සෙන් සිට...
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 11
වයස අවුරුදු 27 දී, හුවාං ෂිහුවා චීන සිහිනය අත්විඳිමින් සිටියි.
ඔහු ෂෙන්සෙන්හි පිහිටි ප්රමුඛ පෙළේ මානවරූපී රොබෝ සමාගමක ඉංජිනේරුවෙකු ලෙස සේවය කරයි. පුළුල් පරාසයක විහිදී ඇති ගිනිකොණදිග අගනගරය වන ෂෙන්සෙන් නගරය චීනය හඳුන්වන්නේ කෘත්‍රිම බුද්ධිය, රොබෝ විද්‍යාව සහ දේශීය නවෝත්පාදනයන්ගෙන් බල ගැන්වෙන අධිතාක්ෂණික අනාගතයක් සඳහා මූලාරම්භය ලෙස ය.
ඔබේ රාත්‍රී ආහාරය ඔබ වෙත රැගෙන ඒමට ඩ්‍රෝන යානා අහස පුරා පියාසර කරයි. ඔබ ඔබේ ගමනාන්තයට ළඟා වන විට රියැදුරු රහිත කුලී රථ විවේකී සංගීතය වාදනය කරයි. රොබෝවරුන් ඔබට ලබා දෙන්නේ කැපචිනෝ පානයක් පමණක් නොවේ - ඔවුන් ඔබ රසවිඳින කෝපිවල ආරම්භය පැහැදිලි කරයි.
"අපි ෂෙන්සෙන් නගරය තුළ ආශ්චර්යයක් නිර්මාණය කර තිබෙනවා," කෝපි සාදන සහ චෙස් ක්‍රීඩා කරන මානවරූපී රොබෝවරුන්ගෙන් වට වී සිටින හුවාං පවසයි. "ආශාවෙන් හා සිහිනවලින් පිරුණු චීනය පුරා සිටින බොහෝ තරුණයින් මෙහි රොබෝවරුන් සමග එක්වී සිටිනවා."
දැන් ඔවුන් සියල්ලෝ ම සිය දවස ගත කරන්නේ වඩාත් දක්ෂ රොබෝවරුන් නිර්මාණය කිරීමට ක්‍රම සොයා ගැනීමට ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
චීන ජාතිකයන් ෂෙන්සෙන් යනු "සිහින නගරය" ලෙස හඳුන්වයි. එම විරුදාවලිය එයට ගැලපෙයි: චීනයේ ධනවත් ම නගරයක් වන එය හොංකොං නගරයට ආසන්නයේ පිහිටා ඇති අතර දශක ගණනාවකට පෙර රටේ ශීඝ්‍ර වර්ධනයක් ඇති වූ ස්ථානය යි.
එහි නිෂ්පාදන ලැයිස්තුව චීනයේ නැගී සිටීම පිළිබිඹු කරයි: රෙදි බෝනික්කන් (Cabbage Patch), ඉන්පසුව රූපවාහිනී යන්ත්‍ර, අනතුරුව iPhones, විදුලි වාහන, ඩ්‍රෝන යානා සහ දැන් හුවාං සහ අලුත් පරම්පරාවේ චීන අභිලාෂයන් ආකර්ෂණය කර ගන්නා රොබෝවරුන් දක්වා පැමිණ තිබේ.
මෙම තරුණ ඉංජිනේරුවන් හඹා යමින් සිටින "ප්රාතිහාර්යයන්", චීනය සම්බන්ධයෙන් ෂී ජින්පින්ගේ නිර්භීත දැක්මට කේන්ද්‍රීය වේ. එබැවින්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු නායක ව්ලැදිමීර් පුටින් සහ සෙසු පුද්ගලයින් ගෝලීය ආර්ථික සමුළුවක් සඳහා මෙම සතියේ පැමිණෙන විට එය ප්‍රදර්ශනය කිරීමට ෂෙන්සෙන් නගරයට වඩා සුදුසු වෙනත් ස්ථානයක් තිබේ ද?
එහෙත්, මෙම දීප්තිමත් වෙරළබඩ නගරයේ තවත් පැතිකඩක් තිබෙන අතර එය ඔවුන්ට දැකගත නොහැකි වනු ඇති පැතිකඩකි. වරෙක ලෝකයේ ඉලෙක්ට්‍රොනික උපකරණවලින් වැඩි ප්‍රමාණයක මූලාශ්‍රය වූ ෂාජිං සහ සොංගැංහි අහස උසට නැගුණු ගොඩනැගිලි පසුකර ගමන් කරන්න, එවිට ෂීගේ චීනය මුහුණ දෙන අභියෝග ඔබට හමුවනු ඇත.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"හැමෝට ම හැඟෙන්නේ ජීවිතය දුෂ්කරයි කියන එකයි," ඉදිකිරීම් සේවකයෙක් අපට පවසයි. "බොහෝ කර්මාන්ත ශාලා වෙනත් ස්ථානවලට ගෙන ගොස් ඇති අතර, සේවකයින්ට ඔවුන්ගේ රැකියා අහිමි වෙලා.''
චීනය තවමත් නිෂ්පාදනය කිරීමට සුවිශේෂී දක්ෂතාවක් දක්වයි - ෂෙන්සෙන් එය ඔප්පු කර දක්වයි. නමුත් ලොව දෙවන විශාලතම ආර්ථිකය පීඩාවට පත් කරන ගැටලු පිළිබඳ සාක්ෂිය ද එම නගරය දරා සිටියි. අනාගතය පිළිබඳ විශ්වාසය බිඳ දමමින් දේපළ වෙළඳාමේ අර්බුදය අවසන් වී නොමැත. මෙය චීනයේ වඩාත් ම මිල අධික නගරවලින් එකක් වන නමුත් මෙහි පවා, අපගේ කුලී රථ රියැදුරු අපට පවසන්නේ, ඔහුගේ නිවස දැන් වටින්නේ එහි සැබෑ මිලෙන් තුනෙන් එකක් පමණක් බව ය.
දේපළ වෙළෙඳාම සඳහා දුර්වල වෙළෙඳපොළක් සහ මන්දගාමී පාරිභෝගික වියදම් නිසා පවුල් බොහෝමයක් මිල දී ගැනීම් සිදු කරන්නේ අඩුවෙනි.
කර්මාන්ත ශාලා වැඩි වශයෙන් අපනයන මත විශ්වාසය තබන අතර බොහෝ නිෂ්පාදකයින් නිෂ්පාදනය අඩු කර, ප්‍රමාණය අඩු කර, යාන්ත්‍රීකරණය වී හෝ අඩු මුදලට මිනිස් ශ්‍රමය සොයමින් වෙනත් ස්ථානවලට ගොස් ඇත.
එහි ප්‍රතිඵලය වන්නේ, බොහෝවිට අඩු වැටුපක් සහ අඩු ප්රතිලාභ සහිත කෙටි කාලීන කොන්ත්‍රාත් රැකියා ආර්ථිකය තුළ තාවකාලික රැකියා වෙත යොමුවන සේවකයින් සංඛ්‍යාව ඉහළ යාම ය.
"ෂෙන්සෙන් කියන්නේ මැජික් නගරයක් නෙමෙයි," වයස අවුරුදු 40 ගණන්වල පසුවන සිය නම හෙළි කිරීමට අකැමති භාණ්ඩ බෙදාහැරීමේ නිරත රියැදුරෙකු පවසයි.
"සමහරු කියන්නේ ෂෙන්සෙන්වල හැම තැන ම රත්තරන් තියෙනවා කියලා, ඒත් ඒක තවදුරටත් එහෙම නෙමෙයි. ඒක ඔබට ඇවිත් දියුණු වෙන්න පුළුවන් නගරයක් නෙමෙයි. ඔබ මහන්සි වෙලා වැඩකරන්නේ නැතිනම්, ඔබට කිසිවක් ලැබෙන එකක් නැහැ."

චීන ප්රගතියේ මෙම වෙනස් පැති දෙක ගවේෂණය කිරීම සඳහා බීබීසී මාධ්‍යවේදීහු දින කිහිපයක් ෂෙන්සෙන් නගරයේ ගත කළහ: එක් පසෙකින් AI පිළිබඳ දීප්තිමත් පොරොන්දුවක් ඇති අතර අනෙක් පසින් තිබෙන්නේ එය නිර්මාණය කරන අනාගතය තුළ ඔවුන්ට ඉඩක් ඇති දැයි කණස්සල්ලට පත්ව සිටින කම්කරුවන්ගේ බියයි.
බදාදා දිනය DexForce Technologies ආයතනයේ කාර්යාලවලට සැන්ඩ්විච් සහ බබල් ටී ලබාදෙන දිනය යි.
විදුලි සෝපානය ඔවුන්ගේ දහවල් කාලය බලගැන්වීම සඳහා නොමිලේ ලබා දෙන කාබෝහයිඩ්රේට් සහ සීනි ලබා ගැනීමට නියමිත මහල වෙත ගමන් කරන තරුණ ඉංජිනේරුවන්ගෙන් සහ සංවර්ධකයින්ගෙන් පිරී ඇත. ඔවුහු යන එන අතරමග ඔවුන්ගේ නිර්මාණ පසුකර යති: අත් පාවලින් සෑම ස්ථානයක් ම පුරවන මිනිස් ප්‍රමාණයේ කහ පැහැති රොබෝවරුන් ය.
"තවත් දශකයකින්, ඉතාමත් ඒකාකාරී හෝ භයානක කාර්යයන් පවා භාර ගනිමින් මනුෂ්‍ය වර්ගයාට වඩාත් හොඳින් සේවය කිරීමට රොබෝවරුන්ට හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා," හුවාං පවසයි. එය කෝපි පිළිගැන්වීමේ සිට පතල්වල වැඩ කිරීම දක්වා ඕනෑ ම දෙයක් විය හැකි අතර, අනාගතය සඳහා පුහුණු වෙමින් සිටින මෙම විද්‍යාගාරය තුළ ඔවුන් අමුතු ලෙස චලනය වෙමින්, ගැස්සෙමින් හෝ හදිසියේ ක්‍රියාත්මක වෙමින් එවැනි කාර්යයන් සඳහා පුහුණුව ලබමින් පවතී.
ඔහුට, "ෂෙන්සෙන් යනු තවත් 'ඇමෙරිකාවකි'. මක්නිසා ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන්, බොහෝ තරුණයින්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට සහ ඔවුන් කැමති ධනය උපයා ගැනීමට හැකි වී තිබේ."

දියුණු තාක්ෂණය තුළින් ලෝකය මෙහෙයවීමට චීනය තල්ලු කරන විට ෂීට ඇසීමට අවශ්‍ය වන්නේ මෙය යි. ෂෙන්සෙන් යනු සැබවින් ම බොහෝ කලක සිට අවස්ථාව සොයන ස්ථානයක් වී ඇති නමුත් හුවාංට සහ ඔහුගේ සගයන්ට අවශ්‍ය වන්නේ, තවත් බොහෝ දේ සිදු කිරීමට ය.
ඔවුන්ට අවශ්‍ය වන්නේ, චීනයේ නිෂ්පාදන ආධිපත්‍යය හුදෙක් ඉදිරියට පවත්වා ගෙන යාම නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ එය පරිවර්තනය කිරීමට ය.
"අපගේ ජීවිත වඩාත් පහසු සහ සුවපහසු කිරීමෙන්" ඔබ්බට ගොස්, හුවාං දකින්නේ කෘත්‍රිම බුද්ධිය (AI) "මුළු ලෝකය ම එක ම පවුලක් - එනම් විශ්ව ගම්මානයක් බවට පත් කිරීමට" උපකාරී වන බව ය. "කෘත්‍රිම බුද්ධියට සමානාත්මතාව පෝෂණය කිරීමේ හැකියාවක් ඇති අතර, කෘත්‍රිම බුද්ධිය මගින් මෙහෙයවනු ලබන සමානාත්මතාව පිළිබඳ අපේක්ෂාව සියල්ලට ම වඩා උද්යෝගිමත් හැකියාවයි."
උද්යෝගයෙන් සිනාසෙමින්, අප්‍රිකාව සහ අග්නිදිග ආසියාව පුරා නැගී එන ආර්ථිකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන මාර්ග නැවත සකස් කිරීමෙන් රොබෝවරුන්ට උපකාර කළ හැකි යැයි තමන් බලාපොරොත්තු වන ආකාරය ඔහු පැහැදිලි කරයි.
මෙම ගොඩනැගිල්ල පුරා දැකිය හැකි තාක්ෂණයෙන් පිරුණු සුබවාදී බව, රොබෝවරුන් කොතැනකවත් දක්නට නොමැති ෂෙන්සෙන් නගරයේ වෙනත් ප්‍රදේශවල පවතින අවිනිශ්චිතතාව සමග ගැටේ. තවමත් එසේ ය. නමුත්, එය වෙනස්කම්වලින් එකක් පමණි.
නගරයේ හුවාං සිටින කොටසේ, තාක්ෂණික සහ මූල්‍ය සේවකයෝ උදෑසන ව්‍යායාමයකින් පසු යුවාන් 30කට වඩා (ඩොලර් 4.50; පවුම් 3.40) වැය වන කෝපි කෝප්පයක රස බලමින් කාර්යාලය වෙත ඇවිද යති.
අනෙක් පසින් වෙළෙන්දන් යුවාන් 3කටත් වඩා අඩු මුදලකට කුළුබඩු එක් කළ නූඩ්ල්ස් සහිත සම්පූර්ණ උදෑසන ආහාර පිඟන් අලෙවි කරන අතර කර්මාන්ත ශාලා අතර ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ ගොඩගසා ඇති වීදි ඔස්සේ ස්කූටර් වේගයෙන් ඇදී යයි.

නගරයේ උස ම ගොඩනැගිලිවලින් එකක පිටත සිටින 50 හැවිරිදි ලූ, කනේ දුරකතනයක් තබාගෙන දකුණු අතේ පෑනක් ඇතිව, සිය වම් අතින් භාණ්ඩ බෙදාහැරීමේ රියැදුරෙකුගෙන් බෑගයක් ලබා ගනිමින් සිටින්නී ය.
ඇය සිය සහයක සේවකයාට ප්‍රධාන අංක හතරක් ශබ්ද නඟා පවසයි: ඒ, බෙදාහැරීමට ඇති භාණ්ඩය විදුලි සෝපානයෙන් ඉහළට ගෙන ගොස් ඔවුන්ගේ මේසයේ වාඩි වී සිටින අයෙකුට ලබා දීම සඳහා බලා සිටින තවත් චීන කාන්තාවකට දෙන උපදෙසකි.
මේ මහල් 70කින් සහ දහස් ගණනක කුලී නිවැසියන්ගෙන් සමන්විත SEG ප්ලාසා ගොඩනැගිල්ලෙන් පිටත දිවා ආහාර වේලාවේ පවතින කාර්යබහුල තත්ත්වය යි. ලූ ඔවුන්ගෙන් එක් අයෙකු විය. "මම දෙවන මහලේ කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. මම පරිපථ පුවරු විකුණුවා," ඇය පවසයි. "නමුත් මේ දවස්වල බිස්නස් කරන එක හරි ම අමාරුයි, කුලී ගාස්තු වැඩියි නේ."
බොහෝවිට චීනයේ සිලිකන් නිම්නයට සමාන කරන ෂෙන්සෙන් තුළ නව ප්රාග්ධනය ගලා ඒමත් සමග කුලී ගාස්තු ඉහළ ගොස් ඇති අතර, කුඩා හා වඩාත් සාම්ප්‍රදායික ව්‍යාපාර අර්බුදයට ලක්ව ඇත. බෙදාහැරීමේ රියැදුරන් සැලැස්මක් සමග ඇය වෙත පැමිණෙන තෙක්, 50 හැවිරිදි ලූට කිරීමට වෙනත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය.
විදුලි සෝපානය ළඟාවීමට පැය භාගයක් ගත විය හැක — හැකි තාක් වැඩි ඇණවුම් සංඛ්‍යාවක් සම්පූර්ණ කිරීමට උත්සහ කරන බෙදාහැරීමේ රියැදුරෙකුට එය මුදල් අපතේ යාමකි. එබැවින්, ලූ නිරන්තරයෙන් වෙනස් වන කෙටි කාලීන තාවකාලික රැකියා ආර්ථිකයේ නව ස්ථරයක් බවට පත් වූවා ය.
"බෙදාහැරීමේ රියැදුරන් ගොඩනැගිල්ලේ පිවිසුම ළඟට ම ආහාර අරන් එනවා. අපි ඒක අරගෙන උඩට යනවා. රියැදුරන් අපට ඇණවුමකට යුවාන් 2ක් ගෙවනවා," ඇය පැහැදිලි කරන්නේ සෑම විට ම එහා මෙහා යමිනි. බෙදාහැරීමේ රියැදුරන් ඇණවුමකට යුවාන් හතරේ සිට අට දක්වා උපයන බැවින්, ලූට ඔවුන්ගේ ඉපැයීම්වලින් සැලකිය යුතු කොටසක් ලැබේ.
"දවල් කෑම වෙලාවේ කාර්යබහුලත්වය තියෙන්නේ පැය දෙකක් හරි තුනක් හරි විතර යි... ඔවුන් අපගේ සේවාව භාවිත කරනවා නම්, ඔවුන්ට වැඩි ඇණවුම් ගණනක් ලබා දෙන්න පුළුවන් වගේ ම අපටත් යම් මුදලක් උපයා ගන්න පුළුවන්. ඒත් දැන් එච්චර වැඩ ලැබෙන්නෙ නෑ. මේ දවස්වල මම දවසකට හොයා ගන්නේ යුවාන් 200ක් විතර යි."

චීන කම්කරුවන් මිලියන 200ක් පමණ, එනම් නාගරික ශ්‍රම බළකායෙන් දළ වශයෙන් 40%ක්, දැන් යම් ආකාරයක තාවකාලික රැකියා මත යැපෙති. ෂෙන්සෙන්හි බොහෝ බෙදාහැරීමේ රියැදුරන් අපට පවසන්නේ මින් පෙරට වඩා කර්මාන්ත ශාලාවල අවස්ථා අඩු නිසා ඔවුන් තාවකාලික රැකියාවක් තෝරා ගත් බව ය.
''මේ තත්ත්වයට අනුව අපි ම හැඩ ගැසෙන්න ඕනේ," එක් රියැදුරෙක් අපට පැවසුවේ ය, "අපේ අවශ්‍යතාවලට අනුව පවතින තත්ත්වය වෙනස් වෙනකම් බලා ඉන්නවාට වඩා.'' ඔවුන්ගෙන් පිරිසක් කාර්මික බෙදාහැරීම් සිදු කිරීම සඳහා ඊ සිගරට් කර්මාන්තශාලාවක ගේට්ටුවලට පිටතින් රැඳී සිටියි.
අනෙක් පිරිස ද එකඟතාවයෙන් හිස වැනූහ. තවත් රියැදුරෙකු පවසන්නේ, ඔහුට තෝරා ගැනීමට අවස්ථාවක් නොමැති බව ය: "මට දරුවන් දෙන්නෙක් ඉන්නවා, මට වැඩ නතර කරන්න විදිහක් නෑ. මට වෙන කිසි ම දෙයක් ගැන හිතන්න කාලයක් නැහැ."
ස්ථිර රැකියා සඳහා බොහෝවිට සමාජ ආරක්ෂණ සහ විශ්‍රාම වැටුප් දායක මුදල් ගෙවීමට සිදුවන අතර, එමගින් අතට ලැබෙන වැටුප අඩු වේ.
නමුත් තාවකාලික රැකියාව යන්නෙන් අදහස් කරන්නේ, අතේ මුදල් ඇති බව සහ නම්‍යශීලී පැය ගණන ය.
"බොහෝ සේවකයින් ස්ථාවර, කෙටි කාලීන රැකියාවලට කැමැත්තක් දක්වනවා. ඒක ඔවුන්ට කැමති ඕනෑ ම වේලාවක ඉල්ලා අස්වී පිටව යාමට නම්‍යශීලී වීමට ඉඩ සලසනවා; ස්ථිර සේවකයින් වීමට ඔවුන්ට කිසි ම කැමැත්තක් නැහැ,'' රැකියා නියෝජිත ලී ෂියාඕහේ පවසයි.
වැඩි වැඩියෙන් පදික වේදිකාවල දැන්වීම් පුවරු සවි කරමින් ඔහු කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ එකලස් කිරීම සඳහා පැයකට යුවන් 22ක් පමණ ගෙවන තාවකාලික කර්මාන්ත ශාලා රැකියා ප්‍රචාරය කරයි.
නමුත් නියෝජිතයින් ද අඩු වෙමින් පවතින බව පෙනෙන්නට ඇති අතර කලින් තිබූ වෙළෙඳසල් කිහිපයක් ම වසා දමා ඇත: මෙය සාම්ප්‍රදායික නිෂ්පාදනයේ පසුබෑම පෙන්නුම් කරන තවත් එක් ලකුණකි.
"අපගේ ව්‍යාපාරය සමහර විට මීට පෙර පැවති තරම් ශුභවාදී නැහැ" ලී පිළිගනී. "ෂෙන්සෙන් පරිවර්තනයකට ලක්වෙමින් තිබීමේ බලපෑම් අපට දැනෙනවා.''

එම පරිවර්තනය මග හැරීම දුෂ්කර ය.
වෙරළ තීරය ඔස්සේ විශේෂයෙන් සකසන ලද "ටැලන්ට් පාර්ක්" සශ්‍රීක භූමියට ඉහළින් ඩ්‍රෝන යානා හඬ නගමින් පියාසර කරන අතර, ඒවා වෙන් කරන ලද වේදිකාවකට ආහාර ලබා දෙන විට පහළට පියාසර කරයි. දුරකතන ඉහළට ඔසවා, සංචාරකයින් ඔවුන්ගේ දිවා ආහාරය සමග ගොඩබසින ඒවා ග්‍රහණය කර ගනියි.
"මේක පුදුමයි. තාක්ෂණය හරි ම අපූරු යි. මම හිතන්නේ අපිට මේක අපේ රටෙත් තිබුණා නම් කියල යි." කැනේඩියානු සංචාරකයෙක් කෑගසා පවසයි. අපගේ කෝපි ඇණවුම - යුවාන් 5ක බෙදාහැරීමක් සඳහා - මිනිත්තු 15කින් පමණ ආවා, ඩ්‍රෝන් එක බාධාවකින් තොරව ගොඩබසින නිසා මට මගේ ඇණවුම ලබා ගන්න පුළුවන්."
''මම අහලා තියෙනවා වසර ගණනාවකට පෙරදී, ෂෙන්සෙන් ධීවර ගම්මානයක් විදිහට තිබුණ බව,'' වියට්නාමයේ සිට පැමිණි ඇන්ලේ පවසයි.
"හා – තවදුරටත් ධීවර ගම්මානය නැහැ," ඔහු සිනාසෙමින් ඔහුට සහ ඔහුගේ බිරිඳට ඩ්‍රෝන් යානයකින් කිරි තේ ගෙන්වා ගැනීමට ඇණවුම් කරන අතරතුර පවසයි.
ප්‍රදර්ශනය කර ඇති සියලු ම සූක්ෂ්ම නිර්මාණ දෙස බලන විට, මෙය සාමාන්‍ය එදිනෙදා යථාර්ථයකට වඩා කළ හැකි දේ පිළිබඳ ආදර්ශනයක් ලෙස හැඟේ. ඇතැම් ස්ථානවලට පමණක් සීමා වූ බෙදාහැරීම් දේශීය වේලාවෙන් රාත්‍රී 8ට නතර වේ. ඇණවුම් කිරීමට වෙන ම යෙදුමක් අවශ්‍ය වන රියැදුරන් රහිත මෝටර් රථ ද අලුත් දෙයකි – ඔබ ගමන් කරන අතරතුර ඒවා මගින් සම්බාහනය පවා ලබාදෙයි.
රාත්රියේදී, දහස් ගණනක් වන විචිත්‍රවත් ආලෝකය මධ්‍යයේ ඩ්‍රෝන යානා වෙනස් ම භූමිකාවක් ඉටු කරයි. හික්මීමෙන් හැසිරෙන ලෙසත් කලබල ඇති නොකරන ලෙසත් ජනතාවට අනතුරු අඟවමින් ඒවා උද්‍යානයට ඉහළින් පියාසර කරයි.

දිලිසෙන අහස සිඹින ගොඩනැගිලි පෙළින් එපිට, අඩු මුදලට ආහාරපාන සපයන ආපනශාලාවල එළිමහනේ ඇති ප්ලාස්ටික් මේස වටා ශ්‍රමිකයෝ රැස්ව සිටිති.
වීදි දිගේ මිල අධික අවන්හල් තිබේ, නමුත් ඒවා අර්බුදයට මුහුණ දී තිබේ. එක් හිමිකරුවෙකු අපට පැවසුවේ ශ්‍රමිකයින් රාත්‍රී ආහාරය සඳහා අධික ලෙස වියදම් කිරීමට පසුබට වන බැවින් ව්‍යාපාර 70%කට වඩා පහත වැටී ඇති බව ය.
58 හැවිරිදි ඉදිකිරීම් සේවකයෙකු වන වූ (Wu) ද ඇතුළුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දශක ගණනාවක් මෙහි ගත කර ඇත. චීනය එම නගරය විදේශීය ව්‍යාපාර සඳහා විවෘත කිරීමෙන් වැඩි කල් නොගොස් ඔහු 1990 ගණන්වලදී සිචුවාන් සිට ෂෙන්සෙන් වෙත පැමිණියේ ය.
කර්මාන්තශාලාවල වැඩ කිරීමට හෝ උස් ගොඩනැගිලි ඉදිකිරීමට දිළිඳු පළාත්වලින් පැමිණි මිලියන සංඛ්‍යාත සංක්‍රමණිකයන් අතර ඔහු ද විය. ඔවුහු තවමත් පැමිණෙමින් සිටිති.
අප කතා කළ සියලු දෙනා විවිධ ප්‍රදේශවලින් පැමිණි අය වෙති. ඔවුන් බොහෝවිට දිනකට පැය 14ක් දක්වා වැඩ කරන අතර, ස්ථාවර රැකියාවක් සහ ඔවුන්ගේ පවුල් සඳහා නිවෙස් වෙත යැවීමට හොඳ වැටුපක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් හවුල් නේවාසිකාගාරවල ජීවත් වෙති.

මෙම කම්කරුවන්ට, චීන නිෂ්පාදන ක්ෂේත්රය වාර්තාගත අවම මට්ටමකට පහත වැටුණු කොවිඩ් වසංගතය පළමු හැරවුම් ලක්ෂ්‍යය වී ඇති බව පෙනෙයි.
"කොවිඩ්වලින් පස්සේ, අපේ වැටුප අවම වශයෙන් තුනෙන් එකකින් විතර පහළ වැටුණා," වූ සිහිපත් කරයි, ඉන්පසු වැටුප් කිසි දිනෙක සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් නොවී ය.
"මම දිගට ම වැඩ කරාවි," ඔහු වැඩිදුරටත් පවසයි. "ඔබ දිගට ම වැඩ කරන තාක් කල්, ඔබට ආදායමක් ලැබෙයි. වැටුප වැඩි වුණත් නැතත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ දිගට ම වැඩ කරන තාක් කල්, ඔබට ආදායමක් තියෙයි. ආර්ථිකය මන්දගාමී වුණොත්, අපි හැමෝම මන්දගාමී වෙනවා. ඒක වර්ධනය වුණොත්, අපි හැමෝම දියුණු වෙනවා."
මෙම දශක ගණනාව පුරාවට, ෂෙන්සෙන් එහි ගිවිසුම පරිදි කටයුතු කළේ ය: වෙහෙස මහන්සි වී වැඩ කරන්න, ඔබේ ජීවිතය දියුණු වනු ඇත.
නමුත් දැන්, යාන්ත්‍රීකරණය සහ කෘත්‍රිම බුද්ධිය මගින් නැවත අර්ථ දක්වා ඇති නගරයක, එම පැරණි පොරොන්දුව එතරම් සුරක්ෂිත බවක් නොදැනේ.


































