ඔබ සිතනවාට වඩා සුලබ වළලුකරේ ආබාධවලින් ආරක්ෂා වන්නේ මෙහෙමයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, එමිලි හෝල්ට්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ඒවා ශරීරයේ ප්‍රධාන කම්පන අවශෝෂක ලෙස ක්‍රියා කරන අතර, සමබරතාව පවත්වා ගැනීමටත්, සිටගෙන සිටීමටත්, ඇවිදීමට හා දිවීමටත් අත්‍යවශ්‍ය වේ. එහෙත්, බොහෝ දෙනා තම වළලුකර ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ ඒවාට ආබාධයක් සිදු වූ විට පමණි.
මෙවැනි වේදනාකාරී අනතුරු බහුලව සිදුවන බව, 'Strictly Come Dancing' වැනි වැඩසටහන්වල සේවය කර ඇති ශාරීරික කාර්යසාධනය පිළිබඳ භෞතචිකිත්සකවරියක වන ජෙනවිව් ටාවියා පවසයි.
එක්සත් රාජධානියේ හදිසි ප්‍රතිකාර ඒකක (A&E) වෙත පැමිණෙන රෝගීන්ගෙන් 5%ක් පමණ වළලුකරේ ආබාධවලට ලක්වූවන් බව NICE ආයතනය පවසයි.
එහෙත්, "ඔබේ පාද සහ වළලුකර ශක්තිමත්ව තබා ගනිමින්, ඒවාට බලපාන ශරීරයේ අනෙකුත් කොටස් පිළිබඳව දැනුවත්ව සිටීමෙන්" මෙවැනි ආබාධ වළක්වා ගත හැකි බව ටාවියා What's Up Docs? වැඩසටහනට පවසයි. ඔබේ වළලුකර ශක්තිමත් කර ගැනීමට කළ හැකි ක්‍රම තුනක් මෙන්න:
1. මනස සහ ශරීරය අතර සම්බන්ධතාව ශක්තිමත් කරගන්න
ශක්තිමත් වළලුකර ගොඩනැගීමට සහ තුවාල වීමේ අවදානම අඩු කිරීමට පදනම වන්නේ "මොළය සහ ශරීරය අතර සම්බන්ධතාව පිළිබඳව හොඳ අවබෝධයක් තිබීම " බව ටාවියා පවසයි - එයින් අදහස් වන්නේ ඔබේ වළලුකර දෙස බැලීමකින් තොරව, එය චලනය වන ආකාරය දැන ගැනීමට සහ හඳුනා ගැනීමට හැකි වීමයි.
"ඉන් අදහස් කරන්නේ අපේ පාද සහ වළලුකර නිසි ලෙස පොළොවේ ස්ථානගත කර, ඉන් අනතුරුව සිදු කරන ඕනෑ ම ව්‍යායාම පුහුණුවක් සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීමට මොළයේ සිට ඒවා වෙත සංඥා යැවීමයි," ඇය පවසයි.
මොළය සහ ශරීරය අතර දැනුවත්භාවය ගොඩනැගීමට, ව්‍යායාම කරන අතරතුර ඔබේ පාදය දෙස බලා සිටීමට අවශ්‍ය වන ව්‍යායාම කිහිපයකට උදාහරණ ටාවියා සතුව ඇත.
ඇඟිලිවලින් සිදු කරන කුඩා චලනයන්ගෙන් ආරම්භ කිරීම ඇය නිර්දේශ කරයි. මන්ද, එම චලනයන් මගින් වළලුකර මත බර පැටවෙන ආකාරය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බැවිනි. ඒ සඳහා උදාහරණ දෙකක් නම්:
- ඔබේ මහපට ඇඟිල්ලේ තුඩ බිමට තද කර, එලෙස ම තබාගෙන පාදයේ යටි පතුලේ නිර්මාණය වන ආරුක්කුවේ මාංශ පේශි ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කරන්න. "එවිට ඔබේ පාදයේ යටි පතුලේ ආරුක්කුව හරහා යමක් ඇදෙනවා වැනි හැඟීමක් දැනේවි," ඇය පවසයි.
- ඔබේ මහපට ඇඟිල්ලට සමාන්තරව, ඒ අසලින් පෑනක් බිම තබන්න. ඉන්පසු මහපට ඇඟිල්ල පෑන දෙසට චලනය කිරීමට උත්සහ කරන්න. මෙය "ඇඟිලි විහිදුවීම" ලෙස හැඳින්වේ.
2. ශක්තිය, පාලනය සහ සමබරතාව වර්ධනය කර ගන්න
වළලුකරයේ කාර්යය වන්නේ ශරීරයේ සමබරතාව පවත්වා ගැනීමටත්, බර දරා ගැනීමටත්, බලය සම්ප්‍රේෂණය කිරීමටත් උපකාර කිරීම බව ටාවියා පවසයි.
ශක්ති වර්ධක ව්‍යායාමවලට ඇතුළත් විය හැකි දේවල්:
විලුඹ ඉහළට එසවීම – ශක්තිමත් ආධාරකයක් අසල සිටගෙන, විලුඹ බිමෙන් ඉහළට ඔසවා පාදයේ ඇඟිලි මතට බර ගෙන එන්න. එසේ කරන විට ඔබේ වළලුකර දෙපසට සෙලවීම හෝ පිටතට නැමීම සිදු නොවන බවට වග බලා ගන්න.
සමබරතාව – ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු සමබර ලෑල්ලක් මත ගමන් කරන ආකාරයට, එක් පාදයක් ඉදිරියෙන් අනෙක් පාදය තබමින් ඇවිදින්න. එසේ ඇවිදින අතර පාදවල පාලනය සහ සමබරතාව පවත්වා ගන්න.
පාලනය – වාඩි වී සිටින ඉරියව්වෙන් එක් පාදයක් හෝ පාද දෙක ම භාවිත කරමින් නැගී සිටීම සහ පඩිපෙළ නැගීම හෝ බැසීම ද වළලුකරයේ සමබරතාව සහ පාලනය වැඩිදියුණු කිරීමට යොදාගත හැකි ව්‍යායාම වේ.
"ඔබ පඩිපෙළ නගින විට එක් පාදයක් පමණක් ඉදිරියට තබමින් නගිනවා නම්, අනෙක් පාදය ඉදිරියට තබමින් නගින්නත් පුරුදු වන්න."

ඡායාරූප මූලාශ්‍රය, Genevieve Tawiah
වළලුකර උළුක්කු වීමකින් සුවය ලබමින් සිටින අයට, එක් පාදයක් මත සමබරතාව රඳවාගෙන පන්දුවක් විසි කර අල්ලා ගැනීමේ ව්‍යායාමයේ නිරත විය හැකිය. එසේ ම, දෙපසට පියවර තබා, බර පතිත වන පාදය මත සමබරතාව රඳවා ගැනීමෙන් පාදය බිම තබන විට ශරීරය පාලනය කරගැනීමේ හැකියාව ද වර්ධනය කරගත හැකිය.
කාණ්ඩරාවක ඇතිවන දිගුකාලීන වේදනාවක් වන ටෙන්ඩිනෝපති තත්ත්වයෙන් පෙළෙන අයට, සෙමින් සහ වැඩි බරක් යොදාගෙන ව්‍යායාම කිරීම වැදගත් බව ඇය පවසයි. ඒ සඳහා කකුලේ මාංශ පේශිවලට බර යොදන ව්‍යායාම යන්ත්‍රයක් (leg press) භාවිත කරමින්, බරක් යොදා විලුඹ ඉහළට එසවීමේ ව්‍යායාම (calf raises) සිදු කිරීමට උත්සහ කළ හැකිය.
3. නිවැරදි පාවහන් තෝරා ගන්න
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වළලුකරවලට නිසි ආධාරයක් ලබා දීම සඳහා සුදුසු පාවහන් වර්ගය තෝරා ගැනීම වැදගත් බව ටාවියා පවසයි.
"බොහෝ දෙනෙක් පැතලි බැලේ සපත්තු, උල් හැඩැති සපත්තු හෝ ඉදිරිපස කොටස පටු ක්‍රීඩා සපත්තු පැළඳීමේ පුරුද්දට හසුවනවා."
"සපත්තුවේ ඉහළ කොටස නොතිබුණා නම්, ඔබේ පාදයේ ඇඟිලිවලට නිදහසේ විහිදීමට ඉඩ තිබේ ද, නැතිනම් මහපට ඇඟිල්ල පැත්තකට තෙරපී තිබේ ද යන්න සිතා බැලීම වටිනවා නේ ද?"
"පාවහන් නොපැළඳ සිටිනවාක් මෙන් හැඟීමක් ලබා දෙන සපත්තු (barefoot shoes) දැන් වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර, ඒවා ප්‍රයෝජනවත් විය හැකියි. එහෙත්, ඒවා භාවිත කිරීමට පෙර පාද සහ වළලුකරවල හොඳ ශක්තියක් ගොඩනගා ගැනීමත්, ඒවා භාවිතයට හුරු වන විට ක්‍රමයෙන් කාලය වැඩි කර ගැනීමත් වැදගත්," ඇය පවසයි.
එදිනෙදා කාර්යයන් සිදු කිරීමේදී පාදය මත බර පැටවෙන ආකාරයට බලපෑම් ඇති කරන බැවින්, පාදයේ "යටි පතුලේ ආරුක්කුවට යම් ආධාරයක්" වන පාවහන් තෝරා ගැනීම ද ඇය නිර්දේශ කරයි.
ඇය පවසන්නේ විවිධ ක්‍රියාකාරකම් සඳහා විවිධ සපත්තු අවශ්‍ය බවයි.
"ඔබ ස්කොට් ව්‍යායාම කරනවා නම්, ඔබට බොහෝ විට පැතලි සපත්තුවක් අවශ්‍ය වෙනවා. ඔබට තිබෙන්නේ ස්පොන්ජ්-පතුල් සහිත සපත්තුවක් නම්, සමබරතාවය පවත්වා ගැනීම සහ බර නිවැරදි ස්ථානයට ගැනීම දුෂ්කර වෙන්න පුළුවන්.
"නමුත් ඔබ දුවනවා නම්, බලපෑම හෝ කම්පන අවශෝෂණය සඳහා වැඩි සුවපහසුවක් සපයන ක්‍රීඩා සපත්තු වඩාත් සුදුසු වෙන්න පුළුවන්."
විවිධ භූමි ප්‍රදේශ හරහා දිගු දුරක් ඇවිදීමේදී, "වළලුකර බරපතළ ලෙස උළුක්කු වීමේ අවදානම අඩු කිරීමට කඳු නැගීම සඳහා භාවිත කරන සපත්තු (hiking boots) බොහෝ විට ප්‍රයෝජනවත් වෙනවා. කෙසේ වෙතත්, එවැනි සපත්තු දිනපතා දිගු වේලාවක් පැළඳීමෙන් වළලුකරේ තද ගතිය වැඩි විය හැකියි. ඊට හේතුව, ඒවා මගින් වළලුකර චලනය වීම යම් තරමකට සීමා කිරීමයි."


































