අවුරුද්දකට 'හත් අට සැරයක් රෝහලට යාම' වරදක් ද?: ජනපති සෞඛ්‍ය සේවයට කරන්න යන වෙනස කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake / Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
"අපි සෞඛ්‍ය සේවය වෙනස් කරනවා. හිතු හිතු වෙලාවට ඉස්පිරිතාලවලට යන සංස්කෘතිය වෙනස් කරනවා. පවුලට වෛද්‍යවරයෙක් දෙන මධ්‍යස්ථාන අපි ඇති කරනවා. ඒ වෛද්‍යවරයාගේ නිර්දේශයක් නැතුව ලොකු රෝහලට යන්න බැහැ..."
මේ ඉකුත් ඉරිදා (සැප්: 6) ජනාධිපති අනුර කුමාර දිසානායක බේරුවලදී පැවති රැලියකදී සිදු කළ ප්‍රකාශයකි.
මෙම ප්‍රකාශයත් සමග ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන "ආරෝග්‍යා මධ්‍යස්ථාන දහසක්" ව්‍යාපෘතිය පිළිබඳව බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නට විය. එමෙන් ම ඒ පිළිබඳව විවිධ මත ද පළ වන්නට විය.
ඇතැමෙකු මෙම ප්‍රකාශය විවේචනය කරමින් විරෝධය පළ කරන ආකාරය මෙන් ම තවත් පිරිසක් මෙය දියුණු රටවල ද ක්‍රියාත්මක ක්‍රමවේදයක් බව පවසමින් ඊට පක්ෂව අදහස් පළ කරන අයුරු සමාජ මාධ්‍යවල දක්නට ලැබිණි.
එවැනි පසුබිමක බීබීසී සිංහල මේ පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර සොයා බැලීමට මෙම ලිපිය මගින් අදහස් කරයි.
ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය කුමක් ද?
ක්ෂේත්‍ර කිහිපයක ම සිදු කිරීමට අපේක්ෂා කරන වෙනස්කම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර මෙම රැළියේදී අදහස් දැක්වූ අතර ඉන් සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් පළ අදහස් වැඩි දෙනෙකුගේ අවධානයට ලක් විය.
"අපි සෞඛ්‍ය සේවය වෙනස් කරනවා. හිතු හිතු වෙලාවට ඉස්පිරිතාලවලට යන සංස්කෘතිය වෙනස් කරනවා. පවුලට වෛද්‍යවරයෙක් දෙන මධ්‍යස්ථාන අපි ඇති කරනවා. ඒ වෛද්‍යවරයාගේ නිර්දේශයක් නැතුව ලොකු රෝහලට යන්න බැහැ," ජනාධිපතිවරයා එහිදී පැවසීය.
එමෙන් ම ඔහු මෙසේ ද පැවසීය; "දැන් පොළට ආවත් ඉස්පිරිතාලෙට යනවා, හන්දියට ආවත් ඉස්පිරිතාලෙට යනවා, එහෙම යන්න බැහැ, තමන්ගේ වෛද්‍යවරයාගේ නිර්දේශයක් එන්න ඕනේ ලොකු ඉස්පිරිතාලෙට යන්න."
ඔහු සඳහන් කර පරිදි වසරකට රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහි ම බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 80ක් පමණ වේ.
"ජනගහනය මිලියන 22යි, අවුරුද්දට ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නවා මිලියන අසූවක්, ඒ කියන්නේ එක්කෙනෙක් හත් අට සැරේ යනවා. ඇයි? ප්‍රමිතියක් නැහැ, නිර්දේශයක් නැහැ, ලෙඩා තමයි තීරණය කරන්නේ කොතනට ද යන්න ඕන කියලා," ඔහු තවදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, රෝගියෙකු හමුවිය යුත්තේ කුමන වෛද්‍යවරයා ද යන්න තීරණය කරනු ලැබිය යුත්තේ ද වෛද්‍යවරයෙකු විසින් බව ය.
ඒ සඳහා එළඹෙන වසරේ "ආරෝග්‍යා මධ්‍යස්ථාන දහසක්" ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
"ප්‍රාථමික වෛද්‍යවරයා ඉන්නවා, එයාගේ නිර්දේශයක් ඇතිව තමයි එයාට [රෝගියාට] උඩට යන්න පුළුවන්.
"කොත්තමල්ලි ටිකක් අරගෙන, විවේකයෙන් ඉන්න කිව්වොත්, ගෙදර ගිහින් විවේකයෙන් ඉන්න, මේ බෙහෙත් ගන්න යන්නේ නැතුව. ගෙනාවට ඔක්කොම බොන්නෙත් නැහැ නේ? එක වේලයි. දවස් තුනකට දෙනවා නේ ද?" ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, එය "නාස්තියක් සහ අපරාධයක්" බව ය.
ප්‍රතිපත්ති ප්රකාශනය...
ජනාධිපති අනුර කුමාර සිදු කළ මෙම ප්‍රකාශය පිළිබඳව ඔහුගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ "නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්" පරිච්ඡේදයේ යටතේ ඇති "ප්‍රාථමික සත්කාර" යන උපකොටසේ ද සඳහන් වෙයි.
ජනගහනය 5,000 සිට 10,000 දක්වා ආවරණය වන පරිදි පවුල් වෛද්‍යවරයෙක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලබා දෙන බව එහි දක්වා තිබේ.
එමෙන් ම, රෝගීන් සඳහා ඵලදායී අඛණ්ඩ සත්කාර සැපයීම සඳහා ප්‍රාථමික සත්කාර ආයතන ලෙස මූලික රෝහල්, ද්විතීයික සත්කාර ආයතන ලෙස මහ රෝහල් සහ තෘතීයික සත්කාර ආයතන ලෙස ශික්ෂණ රෝහල් පොකුරුගත කරන බව ද එහි සඳහන් කර ඇත.
තව ද පවුල් වෛද්‍ය ඒකක ප්‍රදේශයන්හි රෝගීන්ට විශේෂිත සෞඛ්‍ය සේවා සැපයීම සඳහා පර්යන්ත සායනික සේවා (විශේෂිත උපදේශකයින්ගේ පැමිණීම්) ස්ථාපනය කරන (Satellite Clinics) අතර මනෝ, කථන, ශ්‍රව්‍ය, වෘත්තීය සහ ප්‍රජා භෞතචිකිත්සා සඳහා පහසුකම් ස්ථාපනය කරන බව ඔහු සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ දක්වා තිබේ.
'රජයේ වගකීම විපක්ෂයේ ඉන්නකොට කියපු දේ ආණ්ඩු පක්ෂේ ඉන්නකොට ක්‍රියාත්මක කිරීම'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙවැනි පසුබිමක අඟහරුවාදා (සැප්. 8) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශ සහ ඔහු විපක්ෂයේ සිටියදී කළ ප්‍රකාශය අතර පරස්පරපරතාවක් පවතින බව ය.
"වර්තමාන ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්නකොට කිව්වා සෞඛ්‍ය කියන්නේ මූලික අයිතියක් කියලා. ඒ මූලික අයිතිය ශක්තිමත් කරන්න ඕනේ. ඉස්පිරිතාලෙට ගියා ම තමන්ට ඇඳක් දෙන්න අසමත් නම්, නඩු කියන්න පුළුවන් ආණ්ඩුවට විරුද්ධව. මම මේ එතුමාගේ වචනවලින් ම යි කියන්නේ.
"ඊට පස්සේ එතුමා කියනවා අද දවසේ, සෞඛ්‍ය සේවය වෙනස් කරනවා. හිතු හිතූ වෙලාවට ඉස්පිරිතාලෙට යන්න බැහැ. පොළට යනකොට ඉස්පිරිතාලෙට යන්න බැහැ. හන්දියට ආවම ඉස්පිරිතාලෙට යන්න බැහැ. එහෙම සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් කියලා විපක්ෂයේ ඉන්නකොට කියනවා. දැන් කියනවා හිතුමතේට යන්න බැහැ කියලා," ඔහු පැවසීය.
විපක්ෂනායකවරයා සඳහන් කරන්නේ, "සෞඛ්‍ය පද්ධතියේ බරපතළ කඩා වැටීම, රට තුළ පවතින බරපතළ ඖෂධ හිඟය, රෝහල්වල උපකරණ හිඟය" ආදී ගැටලු වත්මන් ආණ්ඩුවේ මෙම තීරණයට හේතු වී ඇති බව ය.
"තමන්ට වැඩ බැරිවෙනකොට, එක එක තීන්දු තීරණ රටට දෙන්නේ නැතුව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව රජයේ වගකීම තමයි විපක්ෂයේ ඉන්නකොට කියපු දේ ආණ්ඩු පක්ෂේ ඉන්නකොට ක්‍රියාත්මක කරන්න," ඔහු වැඩිදුරටත් පැවසීය.
'පුද්ගලයෙක් හතර පස් වතාවක් සෞඛ්‍ය සේවා ලබා ගැනීම සෞඛ්‍ය පද්ධතියට අහිතකර හැසිරීමක් නොවෙයි'
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණය රෝගීන්ගේ සෞඛ්‍ය සේවා ප්‍රවේශය සීමා කරන ක්‍රමයක් බවට පත් නොවිය යුතු බව ය.
ජනතාව සෞඛ්‍ය සේවා වැඩි වශයෙන් භාවිත කරන බවට වැරදි නිගමනයකට පැමිණීම වෙනුවට, ඔවුන්ට නිවැරදි සේවා නිවැරදි ස්ථානයේදී සහ නිවැරදි වේලාවේදී ලබාගත හැකි සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගිය යුතු බව ඔහු එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.
ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර දත්ත අනුව වසරකට පුද්ගලයෙකු "හතර පස් වතාවක් සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අසාමාන්‍ය හෝ සෞඛ්‍ය පද්ධතියට අහිතකර හැසිරීමක් ලෙස" සැලකිය නොහැකි බව ය. එමෙන් ම නිතර සෞඛ්‍ය සේවා ලබා ගැනීම ඇතැම් අවස්ථාවල හොඳ සෞඛ්‍ය හැසිරීමක් බව ද ඔහු පෙන්වා දෙයි.
"දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට නිතිපතා පසු විපරම් අවශ්‍ය ය. ගර්භණී මව්වරුන්ට සහ දරුවන්ට නියමිත සෞඛ්‍ය සේවා අවශ්‍යය. ඖෂධ මාත්‍රා වෙනස් කිරීම, පරීක්ෂණ ප්‍රතිඵල විමර්ශනය, රෝග කල්තියා හඳුනාගැනීම සහ සංකූලතා වැළැක්වීම සඳහා ද නැවත නැවත සෞඛ්‍ය සේවාව සමග සම්බන්ධ වීමට සිදුවේ," යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.
එබැවින් පුද්ගලයෙකු වසරකට කොපමණ වරක් රෝහලකට හෝ වෛද්‍යවරයෙකු වෙත යන්නේ ද යන්න පමණක් ගණනය කර එය අධික සෞඛ්‍ය සේවා භාවිතයක් ලෙස නම් කිරීම විද්‍යාත්මක නොවන බව ඔහු අවධාරණය කර තිබේ.
ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ, ප්‍රාථමික සෞඛ්‍ය මට්ටමේදී විසඳිය හැකි රෝගී අවශ්‍යතා සඳහා පවා ජනතාවට මූලික රෝහල්, මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් වෙත යාමට සිදුවන්නේ නම්, ප්රශ්නය ඇත්තේ රෝගියාගේ හැසිරීමේ නොවන බව ය.
"ප්රශ්නය සෞඛ්‍ය පද්ධතියේ සේවා බෙදාහැරීමේ ය," ඔහු සඳහන් කර ඇත.
එබැවින් අඩු කළ යුත්තේ අවශ්‍ය සෞඛ්‍ය සේවා භාවිතය නොව අනවශ්‍ය නැවත පැමිණීම්, වැළැක්විය හැකි රෝහල්ගත කිරීම් සහ ප්‍රාථමික මට්ටමේ විසඳිය හැකි රෝගීන් ඉහළ මට්ටමේ රෝහල් වෙත යාම බව සභාපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
ආරෝග්‍යා මධ්‍යස්ථාන සංකල්පය කුමක් ද?

ආරෝග්‍යා සංකල්පය යනු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ඊළඟ පියවර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි බීබීසී සිංහල සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
"අපි හඳුනාගෙන තියෙනවා අපේ සෞඛ්‍ය පද්ධතියේ තියෙන අඩුපාඩු ප්‍රමාණයක්. අන්න ඒ අඩුපාඩු ප්‍රමාණය පියවා ගැනීම සඳහා අපි යොදා ගන්නා ක්‍රමය තමයි මේ ආරෝග්‍යා මධ්‍යස්ථාන," ඔහු සඳහන් කළේ ය.
බෝ නොවන රෝග වේගයෙන් ඉහළ යාම, රෝගීන් තමන්ට එම රෝග වැළඳී ඇති බව නොදැන සිටීම සහ දන්නා රෝගීන් එම රෝග නිසි පරිදි පාලනය නොකිරීම සෞඛ්‍ය ක්ෂේත්රය අද වන විට මුහුණ පා ඇති අභියෝග අතර පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
ඒ අනුව, බිම් මට්ටමින් රෝග වැළැක්වීම ශක්තිමත් කිරීම සහ රෝග වැළඳී ඇති පුද්ගලයින් මුල් අවස්ථාවේදී ම හඳුනා ගැනීම මෙහි අරමුණු අතර පවතින බව ඔහු පැවසීය.
තව ද සංකූලතාවන්ට පත්ව ඇති රෝගීන්ට වඩාත් පහසුවෙන් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහ ලබා දීම ද (Palliative Care) මෙහි අරමුණු අතර පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරියේදී සියලු ම රෝගීන් ලියා පදිංචි කිරීම ආරෝග්‍යා මධ්‍යස්ථාන හරහා සිදුවන බව ය.
"අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනින් හැම කෙනෙකුට ම ඩිජිටල් අයිඩෙන්ටි එක දෙන්න, ඒ වගේ ම හෙල්ත් අයිඩෙන්ටි එකක් දෙන්න. එතකොට හෙල්ත් අයිඩෙන්ටි එක දෙන්නේ මේ තමන්ගේ ගමේ තියෙන ආරෝග්‍යා මධ්‍යස්ථාන හරහා," ඔහු පැවසීය.
ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
නියමු ව්‍යාපෘති ලෙස දැනට රට පුරා අරෝග්‍යා මධ්‍යස්ථාන 39ක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ ය
ඔහු පෙන්වා දුන්නේ, මෙහි සැබෑ ප්‍රතිඵල ලබා ගත හැක්කේ, එක් දිස්ත්‍රික්කයකට මෙවැනි මධ්‍යස්ථාන "විශාල ගණනක් එකතු වූ පසුව" බව ය.
"මේකේ තියෙනවා ක්ලස්ටරින් සිස්ටම් (clustering system) එකක්. ඒ කියන්නේ පොකුරුගත කිරීමක් තියෙනවා. පොකුරුගත කරලා ඉවර වෙලා ඒකේ ප්‍රධාන රෝහල් හඳුනාගෙන, මෙන්න මේ පොකුරුවලට අවශ්‍ය පහසුකම් ඒ ප්‍රධාන රෝහල්වලින් ලබාදීමේ ක්‍රමවේදයක් තියෙනවා.
"ඒ වගේම රෝගීන් පොඩි රෝහල්වල ඉඳලා ලොකු රෝහල්වලට යොමු කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා, නැවත ඒ ලොකු රෝහල්වල ඉඳලා පල්ලෙහා රෝහල්වලට රෝගීන් නැවත ගෙන ඒමේ ක්‍රමවේදයක් තියෙනවා.
"මේක ඇත්තට ම අපේ රෝහල් පද්ධතියේ ඊළඟ ස්ටෙප් එකත් එක්ක, ඊළඟ ලෙවල් එකත් එක්ක එහෙම නැත්නම් ඊළඟ තලයත් එක්ක බැඳිලා තියෙනවා. ඒක නිසා මේක අර අරෝග්‍යා කියන එක වෙන ම වෙන් කරලා කතා කරන්න බැහැ. අපේ තියෙන සෞඛ්‍ය ක්ෂේත්රයේ අපි ප්ලෑන් කරපු ඉදිරි ගමනේ එක කොටසක් මේක."
මෙම ව්‍යාපෘතිය 2025 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක බව අමත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත්, මෙමගින් දැනට රෝහල්වල ක්‍රියාත්මක බාහිර රෝගී අංශ හෝ පෞද්ගලික රෝහල් හෝ රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක 'ඩිස්පැන්සරි' ආදිය අහෝසි නොවන බව ඔහු අවධාරණය කළේ ය.
"දැනට පවතින මේ සේවාවන් කිසි ම දෙයක් අඩු වෙන්නේ නැහැ, ඒවා ඔක්කොම මීට වඩා අපි වැඩිදියුණු කරනවා. ඒ කියන්නේ ග්‍රාමීය රෝහල් පද්ධතියත් වැඩිදියුණු කරනවා, ඒ වගේ ම ද්විතීයික, තෘතීයික මට්ටමේ රෝහල් පද්ධතියත් වැඩිදියුණු කරනවා. නමුත් ඒ රෝහල් පද්ධති සියල්ලෙන් ම අපිට ලබාදෙන්න බැරි සේවාවන් ටිකක් තිබුණා. අන්න ඒ සේවාවන් ටික කවර් කරන්න තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ," අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේ ය.
ප්‍රතිපාදන වෙන්වන්නේ කෙසේ ද?
මේ දක්වා ක්‍රියාත්මක වුණු මධ්‍යස්ථාන 39 සඳහා අමතර මුදලක් වෙන් නොකළ ද ඉදිරියේදී මෙම මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමේදී ඒ සඳහා අයවැයෙන් ඊට මුදල් වෙන් කිරීමට සිදුවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි බීබීසීය සමග පැවසීය.
"අපි ඇත්තට ම දැනට මධ්‍යස්ථාන 39ක් තමයි ක්‍රියාත්මක කරගෙන යන්නේ. එතකොට මේකට දැනට සෞඛ්‍ය ක්ෂේත්රයට වෙන් කරපු මුදලෙන් ම කරගන්න පුළුවන්කම ලැබුණා."
"නමුත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ සංඛ්‍යාව 1000 දක්වා වැඩි කරන්න. ඒ කියන්නේ තව අවුරුද්දක් ඇතුළත මේක 300 දක්වා වැඩි කරන්නත්, ඊට පස්සේ 1000 කියන ඉලක්කමට යන්නත්."
"අන්න ඒ ඉලක්කමට යනකොට අපිට ලබන අවුරුද්දේ ඉඳලා බජට් එකෙන් වෙන ම මුදල් ප්‍රමාණයක් මේ සඳහා වෙන් කරගන්න අවශ්‍ය වෙනවා. දැනට එහෙම අවශ්‍යතාවයක් පැන නැගිලා නැහැ," ඔහු පැහැදිලි කළේ ය.
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් ගණන ප්‍රමාණවත් ද?
මෙම ව්‍යාපෘතිය සඳහා දැනට රට තුළ සිටින වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් ගණන ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරයා පැවසීය.
ඒ හේතුවෙන් නිරතුරු බඳවා ගැනීම් සිදු කරන බව ඔහු සඳහන් කළේ ය.
"වෛද්‍යවරුන් අපිට තව සෑහෙන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ ම අනෙකුත් කාර්ය මණ්ඩලයත් අපිට ඒ බඳවා ගැනීම් සිද්ධ කරන්න අවශ්‍යයි. අපි ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඉල්ලලා තියෙනවා.
"අපි ඒක නිසා ඉදිරියේදී බඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපිට අවශ්‍ය වෛද්‍යවරුන් ප්‍රමාණයේ කාඩර් එකත් මේක නිසා ඉහළ යනවා," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


































