ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනමක් පැනවීමට CIDය දැරූ උත්සහය නිෂ්ප්‍රභ වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
කොළඹ ප්‍රදේශයේ ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස් කර අඩු මිලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බව කියමින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව් දෙනෙකුට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වාගෙන් එම ඉල්ලීම කළ අවස්ථාවේ ඊට අවසර නුදුන් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ, මුලින් අදාළ පුද්ගලයින් සැකකරුවන් වශයෙන් නම් කිරීමට පියවර ගන්නා ලෙස ය.
ව්‍යාජ ඔප්පු සකස් කර කොළඹ ඇතුළු ප්‍රදේශවල ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන විකීණීමේ මහා පරිමාණ ජාවාරමකට ඔවුන් සම්බන්ධ වී සිටියේ ද? යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන අවස්ථාවේ ඔවුන් රටින් පිටව ගියහොත් විමර්ශනවලට බාධා වීමට හැකියාවක් ඇතැයි කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉල්ලීම කර තිබිණි.
ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් කුණු කොල්ලයට විකීණීමේ ජාවාරමකට සම්බන්ධ යැයි කියමින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව නමැත්තාට අමතරව ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර නමැත්තන්ට ද විදෙස් ගමන් තහනම් කරන්නැයි ඉල්ලා සිට තිබිණි.
කොළඹ, බාන්ස් පෙදෙසේ අංක 18 දරන පර්චස් 43ක විශාලත්වයෙන් යුතු, රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩම රුපියල් බිලියනයක මුදලකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට අලෙවි කළ බව කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පන්නිපිටියේ පදිංචි ආරියපාල දිසානායක නමැති අසූ හැවිරිදි පුද්ගලයකු මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවේ.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් කොළඹ 07, බාන්ස් පෙදෙසේ රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සාදා රුපියල් බිලියනයක මුදලකට විකුණු බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ආරියපාල දිසානායක නමැත්තා මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන බව අධිකරණයට දැනුම් දුන්නේ ය.
රිමාන්ඩ් භාරයේ පසුවන ආරියපාල දිසානායක නමැති සැකකරු මේ වන විට රෝගී තත්ත්වයෙන් පසුවන බවත්, කොළඹ 07 බාන්ස් පෙදෙසේ ඉඩම විකුණා ලැබුණු මුදල් පුද්ගලයින් සිව් දෙනාගෙන් තිදෙනෙකු විසින් බෙදාගෙන ඇති බවත්, ඩිලන්ත මාලගමුව නමැත්තා මුදල් වෙනුවට සුඛෝපභෝගී වාහන 14ක් ලබාගෙන ඇති බවටත් මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු මුදල් බෙදා ගත් පුද්ගලයින් ගැන මෙන් ම මුදල් වෙනුවට සුඛෝපභෝගී වාහන ලබාගත් පුද්ගලයා පිළිබඳව ද වැඩිදුර විමර්ශනය කරන්නේ යැයි දැනුම් දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ආරියපාල දිසානායක නමැති සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, විදේශ ගමන් තහනම් කරන්නැයි ඉල්ලා සිටින පුද්ගලයින් මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ය.
































