ශ්‍රී ලාංකිකයන්ට On-Arrival වීසා මගින් තායිලන්තයට ඇතුළුවීමට දී තිබූ අවස්ථාව අහිමි වුණේ ඇයි?

bangkok
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

2026 සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි තායිලන්තය එරට සංචාරක වීසා නීති දැඩි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, මීට පෙර රටවල් ගණනාවකට ලබා දී තිබූ සංචාරක වීසා සහන ඉවත් කිරීමට තායිලන්ත රජය කටයුතු කර ඇත.

සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම ඇතුළු විවිධ අරමුණු රැසක් වෙනුවෙන් 2024 වසරේ රටවල් 93ක සංචාරකයන්ට නොමිලේ දින 60ක් දක්වා එරට රැඳී සිටීමට අවස්ථාව හිමිව තිබිණි.

තායිලන්තයේ බැංකොක් නුවර ඇතුළු සංචාරක ගමනාන්ත කිහිපයක් ම ශ්‍රී ලංකික සංචාරකයන්ගේ ද ජනප්‍රිය සංචාරක ගමනාන්ත වේ.

නව සංශෝධනයෙන් සිදුව ඇත්තේ කුමක් ද?

මීට පෙර රටවල් 93ක් සඳහා දින 60ක් දක්වා තායිලන්තය තුළ වීසා රහිතව රැඳී සිටීමට ලබා දුන් අවස්ථාව රටවල් 60ක් සඳහා දින 30ක් දක්වා සීමා කර ලබා දී තිබේ.

මේ අතරට, ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඊශ්‍රායලය, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 60ක් ඇතුළත් වී තිබේ.

තවත් රටවල් 3ක් සඳහා Visa-on-Arrival පහසුකම ලබා දී ඇති අතර, සීෂෙල්ස් ඇතුළු තවත් රටවල් 2කට දින 15ක් සඳහා වීසා නිදහස් කාලසීමාවක් ලබා දී තිබේ.

කෙසේ වෙතත්, මෙම නව ලැයිස්තුවේ එකදු වීසා සහනයක් සඳහාවත් ශ්‍රී ලංකාව ඇතුළත් වී නොමැත.

2024 වසරේ සිට ශ්‍රී ලාංකිකයන්ට දින 60ක් දක්වා ලබා දී තිබූ Visa-on-Arrival නිදහස් කාලසීමාව ඒ අනුව සැප්තැම්බර් 15 දිනෙන් පසු අවලංගු වන අතර, ඉන්පසුව ශ්‍රී ලංකික විදේශ ගමන් බලපත්‍රයක් ඇති ඔබ තායිලන්ත සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා සංචාරයට පෙර වීසා අයැදුම් කිරීම කළ යුතු ය.

හේතුව කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝගෙන් ද විමසීමක් සිදු කරන ලදී.

එහිදී ඔහු සඳහන් කළේ, 2026 සැප්තැම්බර් 01 වන දින තායිලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් අත්සන් කර ප්‍රසිද්ධ කරන ලද රාජකීය ගැසට් පත්‍රයට අනුව, වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය අවභාවිත කිරීම පිළිබඳව මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය මෙම තීන්දුව ගෙන ඇති බව ය.

ඒ අනුව නව සංශෝධිත වීසා නිදහස් රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොමැති බව ඔහු සඳහන් කළේ ය.

එමෙන් ම මේ සම්බන්ධයෙන් සැප්: 08 දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ශ්‍රී ලංකාව පමණක් නොව රටවල් 60ක් සම්බන්ධයෙන් තායිලන්ත රජය මාස කිහිපයක සිට සමාලෝචනයක් සිදු කර ඇති බව ය.

"ඒකට ප්‍රධාන හේතුව තමයි පහුගිය කාලේ ලංකාවේ බොහෝ අය තායිලන්තයට ඒ වීසා අරගෙන ගිහිල්ලා කරපු නීති විරෝධී වැඩ. ඔබ අදත් දකින්න ඇති තායිලන්තයෙන් අදත් කුඩු මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනාපු සිද්ධියක් වාර්තා වුණා. ඒ වගේ ම පහුගිය දවස්වල හාමුදුරුවන් වහන්සේලා තායිලන්තයේ ඉඳලා කුෂ් අරගෙන ආවා බෑග්වල. එවැනි සිද්ධි ගණනාවක් පහුගිය කාලේ වාර්තා වුණා. ඒකත් එක්ක තායිලන්තය තීන්දු කලා ඒ රටවල් 60 අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරන්න තායිලන්තය කටයුතු කළා," අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලාංකිකයන් දැන් තායිලන්තයට යාමට අනුගමනය කළ යුතු පියවර කුමක් ද?

ශ්‍රී ලාංකිකයන් සැප්තැම්බර් 15 වන දාට පසු තායිලන්තයේ සංචාරය කිරීමේදී අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි රාජකීය තායිලන්ත තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

තායි ඊ-වීසා නිල වෙබ් අඩවිය හරහා මේ සඳහා පළමුව වීසා අයැදුම් කිරීම සිදු කළ යුතු ය.

එම වෙබ් අඩවියට පිවිස ඔබේ තොරතුරු ඇතුළත් කර ගිණුමක් සාදාගත යුතු අතර, ඉන්පසුව අයැදුම් පත්‍රය පුරවා අත්‍යවශ්‍ය ලියකියවිලි එයට ඇතුළත් කර ගාස්තු ගෙවීම සිදු කළ යුතු වේ.

අවශ්‍ය යැයි සැලකෙන අමතර ලියකියවිලි හෝ තොරතුරු ඉල්ලා සිටීමේ අයිතිය තානාපති කාර්යාලය සතු බවත්, සංචාරක වීසා ඉල්ලීමක් සිදු කරන දිනයේ සිට වැඩ කරන දින 3-7ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන බවත් තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.