පිළිකා සුව කිරීමට 'ආශීර්වාද ලත්' ජලයෙන් කෙළ ගසන ඇදහිල්ලෙන් ලෙඩ සුව කරන්නන්

ඡායාරූප මූලාශ්‍රය, BBC via Getty
- Author, මමූන් දුරානි
- Role, බීබීසී ඇෆ්ගනිස්ථාන වෝහාරික කණ්ඩායම
- කියවීමේ කාලය: මිනිත්තු 8
ඇෆ්ගනිස්ථානයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි කන්දහාර් නගරයට නුදුරින් පිහිටි කුඩා නිවසක් ඉදිරිපිට විශාල පිරිසක් රැස්ව සිටිති.
සිය ජීවිතවලට තර්ජන එල්ල වී ඇති ප්‍රශ්නවලට විසඳුම් සහ රෝගවලින් සුවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් පැමිණ තිබේ.
දීප්තිමත් වර්ණවත් බිත්ති වලින් සරසා ඇති එක් කාමරයක් තුළ රෝගී පිරිමින්, කාන්තාවන් සහ ළමුන් බොහෝ පිරිසක් වාඩි වී හෝ වැතිර සිටින අයුරු දක්නට ලැබේ.
නමුත් මෙහි සිටින සියල්ලන්ම මියයමින් සිටින හෝ දැඩි ලෙස පීඩා විඳින්නන් නොවේ.

ඔවුන් සියල්ලන්ම දැකීමට අපේක්ෂාවෙන් පැමිණි පුද්ගලයා වන නේඩා මොහමඩ් ඛදීර් එක් කෙළවරක අසුන් ගෙන සිටියි. සුදු පැහැති තලප්පාවකින් සැරසී සිටින දිගු කළු රැවුලක් හිමි ඔහු තමා 'පීර්' කෙනෙකු හෝ සුව කරන්නෙකු බව පවසයි.
ඛදීර් වතුර බෝතලය තොළ ගා ඉන් උගුරක් මුඛයට ගෙන අනතුරුව තමා ඉදිරිපිට සිටින පිරිස වෙත එය විසිරී යන සේ කෙළ ගසයි.
ඔහු පවසන්නේ දෙවියන් හරහා සිදු කරන මෙම සරල ක්‍රියාව පිළිකාවෙන් සහ අවයව අකර්මණ්‍ය වීමට හේතු විය හැකි රුධිර රෝගයක් වන තැලසීමියාවෙන් පෙළෙන බොහෝ දෙනෙකුට සහනයක් ගෙන දී ඇති බවයි.
ඛදීර් විධිමත් ආගමික අධ්‍යාපනයක් ලබා නොමැති අතර නිසැකවම වෛද්‍ය පුහුණුවක් ද ලබා නොමැත.
වසර කිහිපයකට පෙර ඔහු අරක්කැමියෙකු ලෙස සේවය කළ නමුත්, එවකට පවා අද්භූත බලයන් ඇති බවට ඇතැමුන් විශ්වාස කරන සුර වැනි කුඩා වස්තුන් ලබා ගැනීම සඳහා ජනතාව තමන් වෙත පැමිණි බව ඔහු පවසයි.
එම රෝගීන්ගේ තත්ත්වය යහපත් අතට වීමත් සමඟ තමා වෙත පැමිණෙන පිරිස විශේෂයෙන්ම පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Habib Ullah
සෞඛ්‍ය සේවා දැඩි පීඩනයක
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඇෆ්ගනිස්ථානයෙන් වාර්ෂිකව පිළිකා රෝගීන් 24,000 කට වඩා වාර්තා වන අතර වසරකට පිළිකා මරණ 17,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වේ.
විශේෂඥයින් පවසන්නේ රෝහල් සහ සායන නොමැතිකම සහ ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලය සැපයීමට අවශ්‍ය වෛද්‍යවරුන් සහ හෙදියන් නොමැතිකම හේතුවෙන් බොහෝ රෝගීන්ට විධිමත් රෝග විනිශ්චයක් නොලැබෙන බැවින් සැබෑ සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බවයි.
ඇෆ්ගනිස්ථානය තුළ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම්වල පවතින හිඟය සහ කාබුල්හි තලේබාන් රජය විසින් මෑතකදී ඉදිකරන ලද විශේඥ සේවා සපයන පිළිකා රෝහල වැනි දුර්ලභ වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත්වීමේදී දැරීමට සිදුවන අධික පිරිවැය හේතුවෙන් ජනතාව මෙවැනි 'ඇදහිල්ලෙන් සුව කරන්නන්' වෙත යොමු වෙති.
ලුණු දැමූ ආහාර සහ නස්වර් ලෙස හඳුන්වන දුම් රහිත දුම්කොළ අධික ලෙස පරිභෝජනය කිරීම වැනි ජීවන රටාවන් මෙන්ම පරිසර දූෂණයේ අසාමාන්‍ය ඉහළ මට්ටමක තිබීම යන සාධක හේතුවෙන් කලාපයේ වැඩි ම පිළිකා අනුපාතයන් ඇති රටක් බවට ඇෆ්ගනිස්ථානය පත්ව ඇති බව විශේෂඥයෝ පවසති.
2021 වසරේදී තලේබාන් සංවිධානය එරට බලය අත්පත් කර ගැනීමෙන් පසුව විදේශ ආධාර හිමිවීම විශාල ලෙස අඩුවිය. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර රතු කුරුස කමිටුව අරමුදල් සීමා වී ඇති බව පෙන්වා දෙමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රධාන කලාපීය මධ්‍යස්ථානයක් වන කන්දහාර් හි මිර්වායිස් රෝහලට සහය ලබාදීම අත්හිටුවා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Bilal Guler/Anadolu Agency via Getty Images
කෙටිකාලීන වශයෙන් තලේබාන් සංවිධානය විසින් අරමුදල් සැපයීම අත්හිටුවා ඇති බැවින් රෝහල සඳහා දැන් ප්‍රමාණවත් සම්පත් නොමැති අතර රෝගීන්ට මූලික ඖෂධ සහ සැපයුම් පවා මිලදී ගැනීමට ඔවුන් විසින්ම මුදල් සපයා ගත යුතුව ඇත.
මෙම උග්‍ර සම්පත් හිඟයේ බලපෑම දකුණු ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අතර පවතින දේශසීමා ප්‍රවේශය හරහා හෝ යම් දුරකට සමනය කර ගැනීමට හැකි විය. මීට මාස 18කට පෙර කාලය දක්වා ම කන්දහාර් වැසියන්ට සුළු රෝගාබාධ සඳහා පවා වඩා හොඳ පහසුකම් සහිත රෝහල් වෙත යොමුවීමට වීසා බලපත්‍ර නොමැතිව නිදහසේ දේශසීමා ඔස්සේ ගමන කළ හැකි විය.
ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අතර ගැටුම්වලින් අනතුරුව චාමන්-ස්පින් බෝල්ඩැක් හි දේශසීමා වරින් වර වසා දමා ඇති අතර එතැන් සිට එම ගමනාගමනය සම්පුර්ණයෙන් අත්හිටුවා ඇත. සැපයුම් මත පනවා ඇති දැඩි පාලන නීති හේතුවෙන් පකිස්ථානයෙන් සිදු කළ ඖෂධ ආනයනය සීමා කර තිබේ.
මේ සියල්ල ඇෆ්ගනිස්ථානයේ දැනටමත් බිඳ වැටී ඇති සෞඛ්‍ය පද්ධතියට විශාල බරක් පටවා ඇත.
ප්‍රතිකාර සඳහා පවතින බාධා
නසීර් අහමඩ් මයිවන්ද්වාල්ගේ බිරිඳ වන ශුක්‍රියා මීට වසරකට පෙර දරුණු හිසරදයකින් පීඩා විඳිමින් සිටියාය. ඔහු ඇය සමඟ පාකිස්ථානයට ගිය අතර එහිදී මොළයේ ගෙඩියක් පවතින බව හඳුනා ගැනීමෙන් පසු ඇය සැත්කමක් සඳහා භාජනය කළාය.
''ඔපරේෂන් එකෙන් පස්සේ මගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙන්න පටන් ගත්තා. ඇගේ බර ටිකක් වැඩි වුණා, මාස හයක් යනකල් හැමදේම හොඳින් වෙනවා වගේ පේන්න තිබුණා. කොහොම වුණත්, ඇගේ සෞඛ්‍ය තත්ත්වය ටිකෙන් ටික යළි නරක අතට හැරෙන්න පටන් ගත්තා." මයිවන්ද්වාල් පවසයි.
බලාපොරොත්තු බිඳ වැටීමට ලක්වූ මෙම යුවළ වෛද්‍යවරුන් විසින් ලබා දුන් උපදෙස් අනුව නැවත පකිස්ථානයට යාමට තීරණය කළ නමුත්, ඒ වන විට නොමිලේ ගමනාගමනය සඳහා දේශසීමා වසා දමා තිබිණි.
"මම අවස්ථා තුනකදීම පකිස්ථාන වීසා සඳහා අයදුම් කළත් ඒ සෑම අවස්ථාවකදීම ඒක ප්‍රතික්ෂේප වුණා. මම කාබුල්වලටත් ගියා ඒත් එහේ තිබ්බ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පවා රේඩියෝතෙරපි (radiotherapy) පහසුකම් තිබුණේ නැහැ. මම ආපහු හෙදර ආවේ කිසිම දෙයක් හිතා ගන්න බැරිවයි." මයිවන්ද්වාල් පවසයි.
මාර්තු මාසයේදී ශුක්‍රියා මිය ගියාය. ඒ වනවිට ඇය 24 හැවිරිදි වියේ පසුවූවාය.
කන්දහාර්හි පිහිටි නිවසේ සිටින ඛදීර් පවසන්නේ මිනිසුන් දිගින් දිගටම තමා සොයා එන බවයි. බොහෝ දෙනෙක් එහි පැමිණෙන්නේ තම ජීවිතය පිළිබඳ අවසාන බලාපොරොත්තුවකින්ය. "ඇෆ්ගනිස්ථානයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින පිළිකා රෝගීන් මාව හමුවෙන්න එනවා. දවසකට 250 සිට 300 විතර, සමහර වෙලාවට 400ක විතර පිරිසක් මාව හමුවෙන්න එනවා," ඔහු පවසයි.
හබිබුල්ලාගේ පුත් අසාද් ද ඔවුන්ගෙන් එක් අයෙකි.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
ඔහුගේ පුත්‍රයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අසල්වැසි පාකිස්ථානයට යාමට හබිබුල්ලාට හැකි වූ නමුත් එහිදී පැවසුවේ කළ හැකි කිසිවක් නොමැති බවයි. ඔහුගේ ඉතිරි කාලය ඔහුගේ පවුලේ අය සමඟ ගත කිරීම සඳහා අසාද් නිවසට රැගෙන යා යුතු බවට ඔහුට උපදෙස් ලැබුණේය.
අත්හැර දැමීම ප්‍රතික්ෂේප කරමින් සහ යම් ආකාරයක සහනයක් සොයමින් පැමිණි හබිබුල්ලා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණි අතර ඛදීර් විසින් පිළිකාවෙන් පෙළෙන බොහෝ දෙනෙකු සුවපත් කර ඇති බව මිතුරන්ගෙන් අසා දැනගැනීමෙන් අනතුරුව අසාද්ව ඔහු හමුවීමට රැගෙන ආවේය.
නමුත් එහිදී ද බලාපොරොත්තුවක් සොයා ගැනීමට නොහැකි විය.
''එයාලා මගේ පුතාගේ ෆොටෝ එකක් අරගෙන ඒක ළඟ තියාගන්න කියලා දවස් දහයකට පස්සේ ඔහුගේ මුහුණ වෙනස් වේවි, ඔහුටම ඔහුව හඳුනා ගන්න බැරිවේවි කියලා කිව්වා,'' හබිබුල්ලා පවසයි.
ඒ වෙනුවට, අසාද්ගේ තත්ත්වය දරුණු අතට හැරුණු අතර රෝහලට රැගෙන යන අතරමගදී ඔහු මිය ගියේය. "මට මගේ පුතාව නැති වුණා. ඔහු දරුවන් පස් දෙනෙක් සහ වැන්දඹු බිරිඳක් අතහැර දාලා ගියා," හබිබුල්ලා වැලපෙමින් පවසයි.
''කිසිම තේරුමක් නැති පොරොන්දු දීලා මගේ පුතාව මුලා කළා. එයාගෙන් මුදල් දීලා සුර ලබා ගත්තත් පිළිකාවෙන් සුවය ලැබුවේ නැහැ,'' ඔහු පවසයි.
ගාස්තුව ලෙස බැටළුවෙකු පිළිගත්ත ද, ඛදීර් "පූජාවක් සහ ගමන් ගාස්තු වෙනුවෙන්" විශාල මුදලක් ද ඉල්ලා සිටි බව හබිබුල්ලා පවසයි.
ඛදීර් කියන්නේ ''වංචාකාරයෙක්'' ඔහු පවසයි.

සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ කන්දහාර්හි තවත් පදිංචිකරුවෙකු පවසන්නේ තමාට වැළඳී තිබූ චර්ම පිළිකාවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දේවස්ථාන රැසකට සහ ඛදීර් ඇතුලු ඇදහිල්ලෙන් සුව කරන්නන් බොහෝ දෙනෙකු වෙත තමන් ගිය බවයි.
"ඛදීර් මට කිව්වා පකිස්ථානයට හරි වෙනත් කිසිම තැනකට යන්න එපා, දෙවියන්ගේ කැමැත්තෙන් මාව සම්පූර්ණයෙන්ම සුවය ලබාවි. බැටළුවෙක් විතරක් අරන් එන්න කියලා." ඔහු සිහිපත් කරයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ යාඥා සඳහා තමන් දින හතක් ඛදීර් වෙත ගිය බවත් සහ එහිදී තමාට ceftriaxone එන්නත් මෙන්ම co-amoxiclav සහ augmentin පෙති ද ලබා දුන් බවයි.
මේවා සාමාන්‍යයෙන් විවිධ බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ප්‍රබල ප්‍රතිජීවක වර්ග වේ.
''මේ ඔක්කොම කරලත්, මගේ තත්ත්වය වෙනස් වුණේ නැහැ; මම දැනගත්තා කාලය නාස්ති වෙනවා කියලා. ඉතිං මට බලෙන්ම ප්‍රතිකාර ගන්න පාකිස්ථානයේ ලාහෝර්වල ෂවුකට් ඛානම් රෝහලට යන්න වුණා.''
එහිදී ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු අවසානයේ සුවය ලැබුවේය.
වෛද්‍යමය මැදිහත්වීම්
විශේෂඥයින් අනතුරු අඟවන්නේ ceftriaxone අභ්‍යන්තරව ලබා දිය යුතු බව සහ මෙම ප්‍රතිජීවක කිසිවක් පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන බවයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් නොමැතිව, ඒවා අනිසි ලෙස භාවිතා කිරීම භයානක බවත්, ඖෂධ ප්‍රතිරෝධය ඇතුළු ගැටළු රැසකට හේතු විය හැකි බවයි.
මේ සඳහා කළ විමසීමට ප්‍රතිචාර වශයෙන් ඛදීර් බීබීසී පුවත් සේවයට පවසන්නේ ඔහුගේ සේවාව සඳහා ගාස්තුවක් අයකිරීම ප්‍රතික්ෂේප කරන නමුත් ඇතැම් පුද්ගලයින් ඔහු කළ සේවය අගය කිරීමක් ලෙස මුදල් ලබා දෙන බවයි.
''මිනිස්සුන්ගෙන් ම අහලා බලන්නකෝ,'' ඔහු පවසයි.
ඔහු පවසන්නේ, "වෛද්‍යවරයෙකු සමඟ සාකච්ඡා කර", තමාගෙන් උපදෙස් ලබා ගන්නා අයට ඖෂධ නියම කරන බවත්, වැඩිදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් තමන් කිසිවෙකු කිසිදා වළක්වා නොමැති බවත්ය.

ඡායාරූප මූලාශ්‍රය, Hamid Sabawoon/Anadolu via Getty Images
ඇෆ්ගනිස්තානය තුළ අසරණ වූ පුද්ගලයින්ට මෙවැනි සේවා ලබදෙන්නේ ඛදීර් පමණක් නොවේ.
නන්ගර්හාර් හි පදිංචිකරුවෙකු වන මොහොමඩ් අසීස් සයිදි පවසන්නේ ඔහුගේ නිවුන් දියණියන් දෙදෙනාට තැලසීමියාව රෝගය තිබුණු බව සහ ඉන් දිවි ගලවා ගැනීමට මාසිකව රුධිර පාරවිලයනය සිදුකිරීම අවශ්‍ය වූ බවයි.
ඇතැම් ඥාතීන්ගේ නිර්දේශය මත ඔහු තම දියණියන් ඇදහිල්ලෙන් සුව කරන්නන් වෙත රැගෙන ගිය නමුත් ඔවුන්ගේ තත්ත්වය නරක අතට හැරුණු බව ඔහු පවසයි.
''සමහරක් අය ආහාර පාලනය කරන්න කිව්වා, අනෙක් අය ආශිර්වාද ගැන්වූ වතුර බොන්න දුන්නා. නමුත් කිසිම වෙනසක් වුණේ නැහැ; ඊට පස්සේ අපි වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කළා, දැන් ඔවුන්ගේ තත්ත්වය ඉතා හොඳයි." සයීඩි පවසයි.
විශේෂඥයින් අනතුරු අඟවන්නේ යාච්ඤාව සහ අධ්‍යාත්මික වශයෙන් සිදු කරන ප්‍රතිකාර ක්‍රම මගින් නිදන්ගත සහ ජීවිතයට තර්ජනයක් වන රෝග සමඟ ජීවත් වන අයට මානසික වශයෙන් සහනයක් ලබා දිය හැකි වුවද, එය කිසිසේත්ම වෛද්‍යමය ප්‍රතිකාර සඳහා ආදේශකයක් නොවිය යුතු බවයි.
බලාපොරොත්තු සුන්වීම නිසා වෙනත් විකල්පයක් නොමැතිව, කන්දහාර්හි පිහිටි ඒ සාමාන්‍ය නිවස ඉදිරිපිට ඉවසීමෙන් යුතුව බලා සිටින රෝගීන්ට මෙය පිළිගැනීමට අපහසු උපදෙසක් විය හැකිය.
අතිරේක වාර්තාකරණය : බීබීසී ගෝලීය ජනමාධ්‍ය කණ්ඩායම

































