අද සිට කාලගුණයේ යළි වෙනසක් සිදුවෙන්නේ ඇයි? ඔබට ලැබෙන හදිසි අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර දැක්විය යුත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
ජීවිත හා දේපළ හානි රැසකට හේතු වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ බලපෑම තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති පසුබිමක අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් යළි ඇති වීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
නිරිත දිග මෝසමට පෙර, ඉදිරි දින කිහිපය තුළ දිවයින අවට පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි 11 දින පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබේ.
එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපයේ අපේක්ෂිත වැසි සහිත කාලගුණ තත්ත්වයේ බලපෑම සහ, ඒ හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි බලපෑම් සම්බන්ධව බීබීසී සිංහල සේවය සොයා බැලීමක් කළේ ය.
'ලංකාවේ හැම තැනට ම වගේ වහින්න පුළුවන්'
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ, අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් කියා සිටියේ, දිවයින පුරා ම ඉදිරි දින කිහිපයේදී වැසි අපේක්ෂා කරන බව යි.
"ලංකාවේ හැම තැනට ම වගේ වැස්ස තියෙනවා. පද්ධතියේ හැසිරීම එක්ක තද වැසි බලපාන ප්‍රදේශ වෙනස් වෙන්න පුළුවන්. ඒ, පද්ධතියේ ගමන් මාර්ගය සහ හැසිරීම එක්ක."
"විශේෂ බලපෑමක් තියෙනවා මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලට. දකුණු පළාතේ ගත්තොත් ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවලට," යැයි කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් කියා සිටියේ ය.
කෙසේ වෙතත්, අඩු පීඩන කලාපය මැයි 15 වන දාට පසුව ශ්‍රී ලංකාවෙන් ඉවතට යනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ, අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.
පද්ධතියේ වර්ධනයත් සමග දිවයින වටා සහ බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු කලාපයේ සුළඟේ වේගය කිලෝ මීටර 50-60 මට්ටම දක්වා වැඩි විය හැකි බවට අනාවැකි පළ කළ අනාවැකි අංශයේ අධ්‍යක්ෂවරයා, මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් බව කියා සිටියේ ය.
'ගොඩබිමට වැස්සෙන්, මුහුදට සුළඟින්' බලපෑම් කරන කාලගුණය

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
දැනට පවතින වායුගෝලීය කැළඹීම අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ගොඩබිම වැසි වර්ධනයක් සහ මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ ඉහළ යාමක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු අනාවැකි පළ කළේ ය.
"මෙම තත්ත්වයේ බලපෑම 11, 12, 13 වගේ දවස්වල තියෙයි. මෙම තත්ත්වය ගොඩබිමට බලපෑම් කරන්නේ වැස්ස වැඩි වීමක් විදියට සහ, මුහුදු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් සුළං වැඩි වීමක් විදියට තමයි දැනට තියෙන දත්ත අනුව කියන්න පුළුවන් වෙන්නේ."
මෙය මෝසමට පෙර තත්ත්වයක් බවත්, මීට පෙර වසරවල ද මෙම තත්ත්වය පැවති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ය.
මැයි මස 20 වන දා වන විට නිරිත දිග මෝසම ස්ථාපනය විය හැකි බවට අපේක්ෂා කරන බව ඔහු එහිදී පැවසීය.
"වෙන අවුරුදුවලට සාපේක්ෂව මේක සුවිශේෂී තත්ත්වයක් කියලා නම් හිතන්න අපහසු යි. මැයි මාසය කියන්නේ නිරිත දිග මෝසමට සූදානම් වෙන කාලය. ඒකත් එක්ක මෙවැනි තත්ත්වයන්, ආන්තික තත්ත්වයන් බලාපොරොත්තු වෙන්න වෙනවා."
ගංවතුර ඇති වෙන්න පුළුවන් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වාරිමාර්ග දෙපාර්තුමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 5ක් දැනටමත් වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තුමේන්තුවේ ජල විද්‍යා ප්‍රධාන ඉංජිනේරු චාමර යාපාආරච්චි පැවසීය.
"දැනට ගංගාවල ජල මට්ටමේ යම්කිසි වැඩි වීමක් තියෙනවා, පවතින වැසි තත්ත්වය එක්ක. නමුත් අනතුරුදායක මට්ටමට වැඩි වීමක් වෙලා නැහැ. විශේෂයෙන් ම කිරිඳි ඔය ගංගාව, වලවේ ගඟ, දැදුරු ඔය, මල්වතු ඔය සහ කැලණි ගඟ, කළු ගඟ කියන ගංගාවල යම්කිසි ජල මට්ටමේ වැඩි වීමක් තියෙනවා, අනතුරුදායක මට්ටමට නැතත්. ඒ ප්‍රදේශයේ ගංගා ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව අවධානයෙන් ඉන්න ඕනේ."
ඉදිරි දින කිහිපය තුළ තද වැසි ඇති වීමේ අවදානමක් පවතින බැවින් කුඩා දිය පහරවල සහ දිය ඇළිවල එකවර ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බැවින්, එවැනි ප්‍රදේශවල දිය නෑමේදී, ජල ක්‍රීඩා කිරීමේදී විශේෂ සැලකිලිමත්භාවයකින් කටයුතු කළ යුතු බව ද ජල විද්‍යා ප්‍රධාන ඉංජිනේරු චාමර යාපාආරච්චි අවධාරණය කළේ ය.
"ප්‍රධාන ජලාශ වාන් දමන අවස්ථාවලදී, ජලාශයෙන් පහළ ප්‍රදේශවල ජනතාව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ, ජලය නිසා සිදුවන අනතුරු සහ දේපළ හානි වළක්වා ගැනීම සඳහා," ඔහු පැවසුවේ ය.
'අක්‍රීයව තිබූ නාය යාම් සක්‍රීය විමේ හැකියාවක් පවතිනවා'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නාය යාමේ ලක්ෂණ පහළ වූ ස්ථානවල හෝ නාය යාම් සක්‍රීය වී තිබී අක්‍රීය වූ ස්ථානවල නාය යාම් ඉදිරියේ ඇති විය හැකි වර්ෂා තත්ත්වය සමග සක්‍රීය විය හැකි බැවින්, ඒ පිළිබඳව අවධානය යොමු කරන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ ය.
"පසුගිය වසරේ අවසාන භාගයේ ලැබුණ වර්ෂාපතනය සමග දිස්ත්‍රික්ක කිහිපයකට එය අධික ලෙස බලපෑවා. එම වර්ෂාපතනයත් සමග හානි වෙච්ච ප්‍රදේශ තවමත් ඒ ආකාරයෙන් ම පවතිනවා. පස් කණ්ඩි හෝදගෙන ගිහිල්ලා, ගල් මතු වෙලා තියෙනවා," ඔහු පැවසුවේ ය.
"විශාල ප්‍රමාණයේ ගල් තියෙනවා, මධ්‍ය ප්‍රමාණයේ ගල් තියෙනවා. ඒවා පෙරළීමේ අවදානම බොහොම වැඩි යි. යම් ආධාරකයක රැඳිලා තිබුණත් එය අනතරුදායක යි. ලැබෙන ඉතා ම කුඩා වර්ෂාපතනයකදී වුව ද ඒ ගල් පහළට පෙරළිලා ඒමේ අවදානම පවතිනවා."
"එවැනි අවස්ථා කිහිපයක් පසුගිය දිනවල අපිට දකින්නට ලැබුණා රත්නපුර ප්‍රදේශයේ වගේ ම බදුල්ල ප්‍රදේශයේ. මේ වෙනකොට නාය යාම් ඇති වීමේ ලක්ෂණ පහළ වෙලා තියෙන තැන් තියෙනවා. සක්‍රීය වෙලා මේ වන විට අක්‍රීය වෙච්ච තැන් තියෙනවා. ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයත් සමග එම ස්ථාන නැවත සක්‍රීය වීමේ හැකියාවක් පවතිනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස එවැනි අනතුරු සහිත ජීවත් වන ජනතාවගෙන් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයා ඉල්ලීමක් කළේ ය.
බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනතුරුදායක ප්‍රදේශවලට, මොනරාගල දිස්ත්‍රික්කයේ, බඩල්කුඹුර හා වැල්ලවාය යන ප්‍රාදේශීය අදියර 01 යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේදන මේ වන විටත් නිකුත් කර ඇති බව ඔහු කියා සිටියේ ය.
ආපදාවක් ඇති වුවහොත් මුහුණ දීමට ඇති සූදානම කෙබඳු ද?
වැසි සමග ඇති විය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අනෙකුත් කණ්ඩායම් මෙන් ම උපකරණ සූදානම් කිරීම, ආපදා කළමනාකරණ දෙපාර්තුමේන්තුව විසින් දැනටමත් සිදු කරනු ලැබ ඇති බව එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසීය.
"මෝසමට සූදානම් වෙනවා වගේ ම, අපගේ උපකරණ අලුත්වැඩියා කර සූදානම් වෙනවා වගේ ම, ඒ භට පිරිස්, අවශ්‍ය බේරා ගැනීමේ සහ සොයා ගැනීමේ කණ්ඩායම් තුළ ශක්තිය භාවිත කරලා අවශ්‍ය පරිදි සූදානම් කරලා තැබීම තුළින් ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න අවස්ථාව ලැබෙනවා."
එමෙන් ම, ඇති විය හැකි තත්ත්වය සම්බන්ධ අදාළ බලධාරීන් මෙන් ම ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ද ආපදා කළමනාකරණ දෙපාර්තුමේන්තුව මගින් සිදු කෙරේ.
ජනතාව අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර දැක්වීමේ අඩුවක්
දිට්වා සුළි කුණාටු සමයේ ලබා දෙන අනතුරු ඇඟවීමේ නිවේදනවලට ජනතාවගේ ප්‍රතිචාර දැක්වීමේ අඩුවක් නිරීක්ෂණය කළ බව පැවසූ, ආපදා කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පෙන්වා දුන්නේ, පළමුව ජීවිතය ආරක්ෂා කර ගත යුතු බව ය.
"පසුගිය කාලයෙත් අපි දැක්කා ප්‍රතිචාර දැක්වීමේ අඩු ලුහුඬුකම්. ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගත යුතු යි ප්‍රථමයෙන් ම දේපළවලට වඩා. තමන් ජීවත්වන අවට ප්‍රදේශය පිළිබඳව අවධානයෙන් පසුවෙන්න. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබෙන පණිවිඩ පිළිබඳ විශේෂයෙන් දැනුවත් වෙන්න. පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති හා සම්බන්ධ වෙන්න," ඔහු පවසයි.
"පහත් බිම්වල ජීවත් වෙන ජනතාව, කඳු බෑවුම්වල ජීවත් වෙන ජනතාව වගේ ම ජලාශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව, ඒ ආයතන මගින් නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන්න කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේ ම මේ දිනවල පවතින වැසි එක්ක ප්‍රබල අකුණු තියෙනවා. ඒ නිසා අකුණුවලින් සිදුවන අනතුරු අවම කර ගන්න පියවර ගන්න කියන එකත් විශේෂයෙන් දැනුම් දෙන්න ඕනේ," යැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ද බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

































