පොදු රාජ්‍ය මණ්ඩලයේ ජනතා සංසදයේ කතා බහ ගැන මතභේද

commonwealth
Published

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පවත්වන පොදු රාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදය සියලු පාර්ශව වලට සහභාගි විය හැකි සමුළුවක් බවට ශ්‍රී ලංකාවේ රජය තමන්ට සහතික වී ඇති බව පොදු රාජ්‍ය මණ්ඩල පදනමේ අධ්‍යක්ෂ විජය ක්‍රිෂ්ණ නාරායනන්න් බී බී සී සංදේශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදය නොවැම්බර් දහය සිට පහළොස් වන දා දක්වා ගාල්ලේ දී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සක්‍රියව පෙනී සිටින සිවිල් සමාජ සංවිධාන මෙම සමුළුවට සම්බන්ධ කර ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩල පදනමට නිසි වැඩපිළිවෙළක් නො තිබූ බව කියන සංවිධාන කීපයක් මිට සහභාගි නොවන බව ප්‍රකාශ කොට ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සිවිල් සමාජ නියෝජිතයන් දෙසීයක් සහ ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ කණ්ඩායම්වල නියෝජිතයන් දෙසීයක් පමණ එයට සහභාගී වීමට නියමිතයි.

යහ පාලනය

මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාවට මෙන් ම පොදු රාජ්‍ය මණ්ඩලයේ අනිකුත් රටවලට බලපාන යහ පාලනය පිළිබඳ ගැට‍ළු මෙන් ම සංවර්ධනය ඉලක්ක පිළබඳව ත් මෙහි දී සාකච්ඡා කරන බවයි පොදු රාජ්‍ය මණ්ඩල පදනමේ අධ්‍යක්ෂ විජය ක්‍රිෂ්ණ නාරායනන්න් පවසන්නේ.

සමුළුව පිළිබඳව අදහස් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක අචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු කියා සිටියේ මෙම සමුළුවේ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වන ලෙස පොදු රාජ්‍ය මණ්ඩල පදනම තමන්ට ආරාධනා කලත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ඊට අකමැති වූ බවයි.

යහ පාලනය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ ව මෙම සමුළුවේ දී අර්ථවත් සංවාදයකට ඉඩක් ඇත්තේ ද යන්න තමන්ට සැක සහිත බවයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේ.