විදේශ ගමන් තහනම සම්බන්ධයෙන් ගෝඨාභය කළ ඉල්ලීම ගැන අධිකරණය ගත් තීරණය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය නොවැම්බර් 25 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
මෙම ඉල්ලීම අද (නොවැ: 04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබී ය.
එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුවන්තා කුරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයා මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බව සඳහන් කළා ය.
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නොවැම්බර් 28 වන දා සිට දෙසැම්බර් 8 වන දා දක්වා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ගොස් යළි දිවයිනට පැමිණීම සඳහා දැනට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස ද නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එම ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කළේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එළඹෙන නොවැම්බර් 25 වන දා ප්‍රකාශයට පත් කරන බව නියම කළේ ය.






























