ඇමෙරිකාවේ පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා වීමට නියමිත අබ්දුල් එල්-සයෙඩ් කවුද?

මිචිගන්හි පැවති මැතිවරණ ප්‍රචාරක උත්සවයකදී, රැවුල වවාගත් ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් අපේක්ෂක අබ්දුල්
    • Author, ෆර්නෑන්ඩු ඩුආර්චේ
    • Role, බීබීසී ලෝක සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී, ඩිමොක්‍රටික් පක්ෂය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධූර කාලයේ ඉතිරි කාලය සඳහා කොංග්‍රසයේ පාලනය හිමි කරගෙන තිබේ. එහෙත්, වෙනත් හේතුවක් නිසා ද මෙම මැතිවරණය ඉතිහාසගත විය හැකිය. මිචිගන් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක අබ්දුල් එල්-සයෙඩ්, ඇමෙරිකාවේ පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා බවට පත්වනු ඇතැයි මේ වන විට අනාවැකි පළ වී තිබේ.

මීට පෙර කිසිදු දේශපාලන තනතුරක් හොබවා නොමැති වෛද්‍යවරයෙකු වන එල්-සයෙඩ්, දැඩි මතභේදයකට තුඩු දුන් මැතිවරණ සටනක කේන්ද්‍රස්ථානය බවට පත්විය. මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසන් දින කිහිපයේදී එම උණුසුම් තත්ත්වය තවදුරටත් ඉහළ ගියේ, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය සඳහා පැවති තරගයේදී එල්-සයෙඩ් හමුවේ සුළු ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත්වූ ඔහුගේ පක්ෂ සගයෙකු වන හේලි ස්ටීවන්ස්, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මයික් රොජර්ස්ට සහය පළ කරන බව ප්‍රකාශ කිරීමත් සමග ය.

නොවැම්බර් 1 වන ඉරිදා මාධ්‍යවේදීන් අමතමින් එල්-සයෙඩ් ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසිනි: "මිලියන 10ක ජනතාවක් ජීවත් වන මේ ප්‍රාන්තයේ ජනතාවට තම රජයෙන් මීට වඩා බොහෝ හොඳ සේවයක් හිමිවිය යුතුයි. ඔබ කතා කරන පුද්ගලයින් දෙදෙනා හැර, ඉතිරි 9,999,998 දෙනා ගැනයි මා වැඩි අවධානයක් යොමු කරන්නේ."

මැතිවරණ ජයග්‍රහණය ප්‍රකාශ කරමින්, ඡන්ද මධ්‍යස්ථාන වසා දමා පැය පහකට ආසන්න කාලයකට පසු, නොවැම්බර් 4 වන බදාදා සිය ජයග්‍රහණය සැමරීමට එක්ව සිටි ආධාරකරුවන් අමතමින් එල්-සයෙඩ් මෙසේ පැවසීය: "මගේ නම සහ මගේ ආගම හේතුවෙන්, බොහෝ කාලයකට පසු අප දුටු අතිශය පිළිකුල්සහගත ප්‍රචාරක ව්‍යාපාරයක් වෙනුවෙන් ඔවුන් සියලු ශක්තිය යොදවා කටයුතු කළා."

"ඔවුන්ට අවශ්‍ය වූයේ අප අතරින් ඇතැමෙකුට ඉඩක් නොමැති තරම් පටු ඇමෙරිකාවක්. නමුත් මේ ඇමෙරිකාව අප සියලු දෙනාට ම ප්‍රමාණවත් ඉඩක් ඇති රටක් බව අපි දන්නවා."

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය: "ඔබ විශ්වාසය තැබුවේ ජයග්‍රහණය කිරීමට කිසිසේත් ම ඉඩක් ඇතැයි නොසිතූ අපේක්ෂකයෙකු කෙරෙහියි... මිචිගන් ප්‍රාන්තයේ ජනතාවනි, ඔබ වෙනුවෙන් සේවය කිරීමට මම නොඉවසිල්ලෙන් බලා සිටිනවා."

1984 වසරේදී ඩෙට්‍රොයිට් නගරයට ආසන්න රොචෙස්ටර් හිල්ස් ප්‍රදේශයේ උපත ලැබූ එල්-සයෙඩ්, ඔහුට වයස අවුරුදු තුනක්ව සිටියදී දෙමාපියන් දික්කසාද වීමෙන් පසු පියා සහ සුළු මව වන ජැකලින් ජොන්සන් සමග හැදී වැඩුණේ ය. ඔහු මිචිගන් විශ්වවිද්‍යාලයෙන් සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර, පසුව වසංගත රෝග විද්‍යාව පිළිබඳ විශේෂඥතාව ලබා ගත්තේ ය.

2015 වසරේදී ඩෙට්‍රොයිට් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස ඔහු පත් කිරීම ජාතික මට්ටමේ අවධානයට ලක්විය. ඉන් වසර තුනකට පසු, එනම් 2018 වසරේදී, එල්-සයෙඩ් මිචිගන් ප්‍රාන්ත ආණ්ඩුකාර ධූරයට තරග කළේ ය. ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රාථමික මැතිවරණයේදී දෙවන ස්ථානයට පත්වූ ඔහු, ග්‍රෙචන් විට්මර් හමුවේ ඡන්ද ප්‍රතිශත ලකුණු 20කට වැඩි පරතරයකින් පරාජයට පත්විය. පසුව විට්මර් එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස දෙවරක් තේරී පත්වූවා ය.

නොවැම්බර් 2 වැනි සඳුදා පැවති ප්‍රසිද්ධ හමුවකදී, ඩිමොක්‍රටික් පක්ෂ කොන්ග්‍රස් මන්ත්‍රී හේලි ස්ටීවන්ස් (දකුණේ) එක්සත් ජනපද සෙනෙට් සභාවේ මිචිගන් ආසනය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මයික් රොජර්ස් සමඟ පෙනී සිටියි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය සඳහා පැවති තරගයේදී එල්-සයෙඩ් හමුවේ සුළු ඡන්ද පරතරයකින් පරාජයට පත්වූ හේලි ස්ටීවන්ස් (මැද), ඇමෙරිකානු සෙනෙට් සභා මැතිවරණයට දින කිහිපයකට පෙර රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මයික් රොජර්ස්ට (වමේ) සහය පළ කළා ය
Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2026 සෙනෙට් සභා මැතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය වෙනුවෙන් පැවති ප්‍රාථමික මැතිවරණයේදී විට්මර්, ස්ටීවන්ස්ට සහය පළ කළා ය. එහෙත්, එල්-සයෙඩ් පක්ෂයේ අපේක්ෂකත්වය දිනා ගැනීමෙන් පසු, ඇය ප්‍රසිද්ධියේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහය පළ කර තිබේ.

සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් සහ කොංග්‍රස් මන්ත්‍රිනී ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් වැනි ප්‍රගතිශීලී මතධාරීන්ගේ සහය ද ඔහුට හිමි විය. එහෙත්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු වඩාත් මධ්‍යස්ථ මතධාරී ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයෝ ද ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහය පළ කළහ. ඊට හේතුව, ඇමෙරිකානු සෙනෙට් සභාවේ පාලනය හිමි කර ගැනීම සඳහා පක්ෂය දරන සැලසුම්වලට මිචිගන් ප්‍රාන්තයේ මැතිවරණය ජය ගැනීම තීරණාත්මක වීම ය.

ඊශ්‍රායලයට ඇමෙරිකාව ලබා දෙන හමුදා ආධාර විවේචනය කිරීම මෙන් ම, සැමට සෞඛ්‍ය සේවා සැපයීම සඳහා ප්‍රකෝටිපතියන්ගෙන් බදු අය කිරීම වැනි කරුණු ද ප්‍රමුඛ කර ගනිමින් එල්-සයෙඩ් වාමාංශික ප්‍රතිපත්ති මත පදනම් වූ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේ ය.

"ඔබ ගෙවන බදු මුදල් වෙනත් රටක ජනතාවගේත් ඔවුන්ගේ දරුවන්ගේත් හිස මතට බෝම්බ හෙළීමට නොව, ඔබට සහ ඔබේ දරුවන්ට ප්‍රතිලාභ සැලසෙන කටයුතු සඳහා වැය වන බව දැන ගැනීම සහ, බදු ගෙවීමත් මෙතරම් අසීරු දෙයක් නොවිය යුතුයි," යනුවෙන් එල්-සයෙඩ් ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී සිය ආධාරකරුවන් අමතමින් පැවසීය.

2023 ඔක්තෝබර් 7 වන දා හමාස් සංවිධානය ප්‍රමුඛ ප්‍රහාරවලින් පසු ගාසා තීරයේ ඊශ්‍රායලය සිදු කළ හමුදා මෙහෙයුම ජන සංහාරයක් ලෙස ද ඔහු හැඳින්වීය. එය ඊශ්‍රායලය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන චෝදනාවකි. ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පවතින බටහිර ඉවුරේ පලස්තීන භූමි ප්‍රදේශවල ඊශ්‍රායලය වර්ණභේදවාදී පාලනයක් පවත්වාගෙන යන බවට ද ඔහු චෝදනා කළේ ය.

Former US President Barack Obama (left), in a light-blue open-collared shirt with rolled-up sleeves, black belt and light suit trousers, embraces Democratic Party Michigan Senate candidate Abdul El-Sayed, wearing the same in white and blue, during a campaign rally in the city of Detroit. Both men are pointing at each other. ඩෙට්‍රොයිට් නගරයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී, අත් නවාගත් ලා නිල් පැහැති, විවෘත කරපටියක් සහිත කමිසයක්, කළු පැහැති පටියක් සහ ඊට ගැලපෙන ලා පැහැති කලිසමක් හැඳ සිටින හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා (වමේ), ඊට සමාන සුදු සහ නිල් පැහැති ඇඳුමකින් සැරසී සිටින මිචිගන් ප්‍රාන්ත සෙනෙට් සභා අපේක්ෂක (ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන) අබ්දුල් එල්-සයීඩ්ව වැළඳ ගනී. ඔවුන් දෙදෙනාම එකිනෙකා දෙසට ඇඟිල්ල දිගු කරමින් සිටිති.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයින් එල්-සයෙඩ්ට සහය පළ කර ඇත

හමුදා ආධාරවලට එල්-සයෙඩ් දැක්වූ විරෝධය ඊශ්‍රායලයට පමණක් සීමා නොවීය. 42 හැවිරිදි ඔහු නිතර ම පවසා ඇත්තේ, ඇමෙරිකානුවන් ගෙවන බදු මුදල් "වෙනත් රටවලට යවා බෝම්බ හෙළීම සඳහා වැය කරනවා වෙනුවට, පාසල් ඉදිකිරීමට සහ ජනතාවට නව අවස්ථා උදා කිරීමට යොදාගත යුතු" බව ය.

"ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුව, සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කිසිදු විදේශීය හමුදාවක් සඳහා අමෙරිකානු බදු මුදල් වැය කළ යුතු නොවන බව තමන් විශ්වාස කරන බව" එල්-සයෙඩ් පැවසීය.

"සාමාන්‍යයෙන් විදේශීය හමුදාවන්ට අරමුදල් සැපයීම අප කළ යුතු දෙයක් යැයි මා සිතන්නේ නැහැ," යනුවෙන් එල්-සයෙඩ් ඔක්තෝබර් 28 වන බදාදා පැවසීය. "ඒ ඊශ්‍රායලය පමණක් නොවෙයි. ඊජිප්තුව, සෞදි අරාබිය, කටාර් සහ [එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්] ඊට ඇතුළත්."

කෙසේ වෙතත්, ඊජිප්තුවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ මාපියන්ගේ පුත්‍රයෙකු වන එල්-සයෙඩ්, "ත්‍රස්තවාදීන්ගේ පාර්ශවය ගෙන කටයුතු කරන අයෙකු" බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේ ය.

ඔක්තෝබර් 15 වන දා රොජර්ස්ගේ මැතිවරණ ප්‍රචාරක රැලියකදී අදහස් දැක්වූ උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් මෙසේ පැවසීය: "සියල්ල ලබා දුන් මේ රටට කෘතඥතාව පළ කරමින් කට වසාගෙන සිටිය යුතු, කූඨ පුද්ගලයෙකුට වඩා හොඳ නියෝජිතයෙකු ඔබට හිමිවිය යුතුයි."

ට්‍රම්ප්ගේ ප්‍රකාශවලින් තමන් දූරස්ථ බව පෙන්වූ රොජර්ස් ද, එල්-සයෙඩ්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය රැඩිකල් සහ අන්තවාදී සංවිධාන සමග සබඳතා පවත්වන පරිත්‍යාගශීලීන්ගෙන් මූල්‍ය ආධාර ලබාගෙන ඇති බවට චෝදනා කළේ ය.

With the word "radical" in white block capitals on a red bar overlying the name Abdul El-Sayed, a video of the Michigan Democratic Senate candidate is displayed on a big screen behind US President Donald Trump, in blue suit, white shirt and red tie, as the latter delivers remarks during an election rally at Port Huron, Michigan, on 25 October. අබ්දුල් එල්-සයීඩ් යන නමට ඉහළින් රතු තීරුවක සුදු පැහැති කළු අකුරින් "රැඩිකල්" යන වචනය යොදා ඇති අතර, මිචිගන් ප්‍රජාතන්ත්‍රවාදී සෙනෙට් සභික අපේක්ෂකයා ඔක්තෝබර් 25 වන දින මිචිගන්හි පෝර්ට් හුරොන් හි පැවති මැතිවරණ රැලියක් අතරතුර අදහස් දක්වන අතරතුර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිටුපස විශාල තිරයක නිල් පැහැති ඇඳුමක්, සුදු කමිසයක් සහ රතු ටයි පටියක් පැළඳ සිටින වීඩියෝවක් ප්‍රදර්ශනය කෙරේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එල්-සයෙඩ් වෙත දැඩි වාග් ප්‍රහාර එල්ල කර තිබේ

එල්-සයෙඩ්ට ඊජිප්තුවේ විශාලතම සහ පැරණිතම ඉස්ලාමීය දේශපාලන සංවිධානය වන 'මුස්ලිම් සහෝදරත්වය' සමග සබඳතා ඇති බවට ද රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෝ චෝදනා කළහ. 2011 අරාබි වසන්තයෙන් පසු කෙටි කලක් එම සංවිධානය අප්‍රිකානු රටක් වන ඊජිප්තුවේ බලය හෙබවීය. එල්-සයෙඩ් එවැනි සබඳතා ඇති බව ප්‍රතික්ෂේප කළ ද, ඔහුගේ ප්‍රතිවාදීහු 2012 වසරේදී ඔහු අත්සන් කළ විවෘත ලිපියක් ඒ සඳහා සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළහ. එම ලිපියෙන් ඉස්ලාමීය ජනාධිපති මොහොමඩ් මොර්සිගෙන් ඉල්ලා තිබුණේ "හැකි ඉක්මනින් මාධ්‍ය සහ පොලිසිය පිරිසිදු කරන" ලෙස ය.

වාමාංශික දේශපාලන විචාරක හසන් පයිකර් සමග පැවති සබඳතා හේතුවෙන් ද එල්-සයෙඩ් විවේචනයට ලක්විය. ඇමෙරිකාවට 9/11 ප්‍රහාර එල්ල වීම "සුදුසු" බව පයිකර් පවසා තිබිණි. එමෙන් ම, පසුගිය අගෝස්තු මාසයේදී ඩෙට්‍රොයිට්හි යුදෙව් සිනගෝගයකට අරාබි-ඇමෙරිකානුවෙකු එල්ල කළ ප්‍රචණ්ඩ ප්‍රහාරය පිටුපස පැවති අරමුණු සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශ පිළිබඳව එල්-සයෙඩ් මිචිගන් ප්‍රාන්තයේ යුදෙව් ප්‍රජාවගෙන් සමාව අයැද සිටියේය.

ඓතිහාසිකව ඩිමොක්‍රටික් පක්ෂයට වැඩි සහයක් දක්වන මිචිගන් ප්‍රාන්තයේ යුදෙව් ඡන්ද දායකයන්ගේ ඡන්ද එල්-සයෙඩ්ගේ අපේක්ෂකත්වය හේතුවෙන් බෙදී ගිය බවට 'ජුවිෂ් ඉන්සයිඩර්' තක්සේරු කළේය. යුදෙව් ප්‍රජා නායකයන් උපුටා දක්වමින් එම පුවත් වෙබ් අඩවිය මීට පෙර අනාවැකි පළ කර තිබුණේ, එම ඡන්ද රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා වෙත නැඹුරු වනු ඇති බවයි.

කෙසේ වෙතත්, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර එල්-සයෙඩ් ප්‍රකාශ කළේ තමන්ගේ පක්ෂපාතීත්වය ඇත්තේ ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බව ය. එමෙන් ම, තම පසුබිම මත නොව, තම ප්‍රතිපත්ති මත පදනම්ව තමන් පිළිබඳ තීරණයක් ගන්නා ලෙස ඔහු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

In a dark suit and open-necked light shirt, the bearded Senate candidate Abdul El-Sayed departs with his wife, Sarah Jukaku (right), wearing a light patterned headscarf and pale-blue striped blouse, after a press conference declaring victory in the Democrat Party primary election in Detroit, Michigan, on 5 August. අගෝස්තු 5 වන දින මිචිගන්හි ඩෙට්‍රොයිට් හි පැවති ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රාථමික මැතිවරණයෙන් ජයග්‍රහණය ප්‍රකාශ කරමින් පැවති මාධ්‍ය හමුවකින් පසු, අඳුරු ඇඳුමකින් සහ විවෘත බෙල්ලක් සහිත සැහැල්ලු කමිසයකින් සැරසී, රැවුල වවාගත් සෙනෙට් අපේක්ෂක අබ්දුල් එල්-සයීඩ්, ඔහුගේ බිරිඳ සාරා ජුකාකු (දකුණේ) සමඟ සැහැල්ලු රටා සහිත හිස් ආවරණයක් සහ සුදුමැලි-නිල් ඉරි සහිත බ්ලවුසයක් පැළඳ පිටත් වේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, "සාමාන්‍ය ඇමෙරිකානුවෙකුට වඩා තරමක් වෙනස් ආකාරයකට මා යාච්ඤා කළත්, අප සියලු දෙනා යාච්ඤා කරන්නේ එක ම දේ වෙනුවෙන්," යනුවෙන් එල්-සයෙඩ් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර පැවසීය

"ජනතාවට ඉන්ධන හෝ ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට වත්කමක් නැති වීමටත්, වෛද්‍යවරයෙකු හමුවීමට නොහැකි වීමටත්, තමන් හුස්ම ගන්නා වාතය සහ පානය කරන ජලය පිළිබඳ කණස්සල්ලට පත්වීමටත් හේතුව මගේ නම හෝ ආගම නොවෙයි," යනුවෙන් ඔහු පැවසීය.

"සාමාන්‍ය ඇමෙරිකානුවෙකුට වඩා තරමක් වෙනස් ආකාරයකට මා යාච්ඤා කළත්, අප සියලු දෙනා යාච්ඤා කරන්නේ එක ම දේ වෙනුවෙන්.'