නාමල්ගෙන් මහින්ද රාජපක්ෂට බන්ධනාගාරයේ සිට උපන් දින සුබ පැතුමක්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 81 වන ජන්ම දින සැමරුම වෙනුවෙන්, මේ වන විට රක්ෂිත බන්ධාගාරගත කර සිටින ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුබ පැතුම් පණිවිඩයක් යවා තිබේ.

දින 50කට වැඩි කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් තබන ලද සුබ පැතුම් සටහන ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇත.

එම සටහන ඇතුළත් වීඩියෝවක් ද නාමල් රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනු දැකගත හැකි ය.

නායකත්වය යනු තනතුරක් දැරීම පමණක් නොව, වගකීම් භාර ගැනීමත්, අභියෝග හමුවේ නොසැලී සිටීමත්, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් අභීතව පෙනී සිටීමත් බව තමන් අවබෝධ කර ගත්තේ සිය පියාගෙන් බව නාමල් රාජපක්ෂගේ සුබ පැතුම් සටහනේ සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බන්ධනාගාරයේ සිට සිය පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සුබ පතමින් තැබූ සම්පූර්ණ සටහන පහත දැක්වේ.

දින 50කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වන විට දින 50කට වැඩි කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි. ඔහුට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එමෙන් ම, SriLankan ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතියි.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් දා නිකුත් කළ නියෝගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අද (නොවැ: 18) අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.

සමාජ මාධ්‍ය ප්‍රතිචාර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මෙම ලිපියට සමාජ මාධ්‍යවල විවිධ ප්‍රතිචාර හිමිව තිබේ.

ඇතැම් පිරිස් ඔහුගේ පියා වන මහින්ද රාජපක්ෂගේ උපන්දිනයට සුබ පැතුම් එක් කර තිබේ.

නමුත් ඇතැම් පිරිස් ඊට විවේචන ද පළ කර තිබෙනු දැකිය හැකි ය.

නාමල් රාජපක්ෂගේ දේශපාලන දිවිය

නාමල් රාජපක්ෂ 2010 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන අතර, ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී 2022 වසර දක්වා අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළේ ය.

ඔහු 2024 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත් වූ අතර, 2024 ජනාධිපතිවරණයට තරග කර ඡන්ද ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් සිව්වැනි ස්ථානයට පත් විය.

ඉන් අනතුරුව පැවති මහමැතිවරණයට නාමල් රාජපක්ෂ තරග නොකළ නමුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හරහා ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

ඔහුගේ වෘත්තීය නීතිඥ ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වන අතර, ඔහු ඊට අදාළ උපාධිය සම්පූර්ණ කළ ආකාරය සම්බන්ධයෙන් ද විවිධ මතභේදාත්මක අදහස් තිබේ.

නාමල් රාජපක්ෂ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, පසුව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය ධුරය ද දැරී ය.

දෙවරක් විධායක ජනාධිපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂ

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හෙවත් මහින්ද රාජපක්ෂ 1945 නොවැම්බර් 18 වන දා වීරකැටියේදී උපත ලැබී ය.

1970 වසරේදී 24 හැවිරිදි වියේ පසුවූ මහින්ද රාජපක්ෂ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, එවකට මෙරට ළාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විය.

1988-89 කාලයේ මෙරට පැවති ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ල සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් හඬ නැගූ දේශපාලනඥයෙකු ලෙස මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියට පත් විය.

1994 මහමැතිවරණයෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනය යටතේ කම්කරු අමාත්‍යවරයා ලෙස පත් වූ ඔහු, පසුව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය. 2001 වසරේදී වරාය, නාවික හා ධීවර අමාත්‍ය ධුරය ද දැරූ ඔහු, එම වසරේ සිට 2004 දක්වා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේ ය.

2004 මහමැතිවරණයෙන් පසු අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ මහින්ද රාජපක්ෂ, 2005 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර මෙරට පස් වන විධායක ජනාධිපතිවරයා බවට පත් විය. 2010 ජනාධිපතිවරණයෙන් නැවතත් ජයග්‍රහණය කිරීමත් සමඟ ඔහු දෙවැනි වරටත් විධායක ජනාධිපති ධූරයට පත් විය.

ඔහුගේ පාලන සමයේදී, දශක තුනකට ආසන්න කාලයක් පැවති ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය 2009 වසරේදී අවසන් විය. එම ජයග්‍රහණය හේතුවෙන් විශේෂයෙන් සිංහල ජනතාව අතර ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ ගියේ ය. කෙසේ වෙතත්, යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පාලනය ජාත්‍යන්තර විවේචනයට ද ලක් විය.

2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ ඉන් අනතුරුව පැවති මහමැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2018 ඔක්තෝබර් මාසයේදී අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ නමුත්, එම පත්වීම සම්බන්ධයෙන් ඇති වූ ව්‍යවස්ථාමය අර්බුදය හේතුවෙන් ඔහුට එම ධුරයෙන් ඉවත් වීමට සිදු විය.

2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. 2020 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමෙන් පසුව ද ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, 2022 වසරේදී රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවට එරෙහිව පැවති මහජන විරෝධතා උත්සන්න වීමත් සමග ඔහු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.