ශෂී වීරවංශගේ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි: වහා රිමාන්ඩ් කිරීමට අධිකරණයෙන් නියෝග

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැ: 18) තහවුරු කළේ ය.

එම සිර දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එම අභියාචනය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ප්‍රකාශ කළේ ය.

විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂි වීරවංශ වහා ම රිමාන්ඩ් භාරයට පත් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කළේ ය.

2022 වසරේ දුන් තීන්දුව

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට 2022 වසරේ මැයි මස 27 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබිණි.

එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකාරියට අමතරව මාස 6ක සිර දඬුවමක් නියම කරන බවත් එම නඩු තීන්දුවේ සඳහන් විය.

එම සිර දඬුවමෙන් සහ දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශෂී වීරවංශ මහත්මිය විසින් මෙම අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

මහාධිකරණයෙනුත් ප්‍රතික්ෂේප වූ අභීයාචනය

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකරු කර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද වසර දෙකක සිර දඬුවම හා දඩය ඉවත් කොට තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචන පෙත්සම කොළඹ මහාධිකරණය 2026 ජූනි 11 වන දා ප්‍රතික්ෂේප කළේ ය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ, අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දී තිබූ තීන්දුව ස්ථීර කරන බව ය.