මත්ද්‍රව්‍ය කිලෝ 20ක ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පොලිස් නිලධාරීන් කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 7 දෙනකුට විදේශගතවීම වළක්වාලමින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න විදේශ ගමන් තහනමක් පනවා තිබේ.
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අදාළ නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පවසමින් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨායේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ජී.සී. පදුමසිරි කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කළේ ය.
තහනම පැනවූයේ කාට ද?
මෙලෙස විදේශ ගමන් තහනම් කරන ලද්දේ බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසයේ සේවය කළ ලින්ටන් ලෙනාඩ් සිල්වා, කසුන් සුභාෂණ, රංජිත් රණසිංහ, මනෝජ් ප්‍රියදර්ශන හේවාවසම්, තාරක මදුරංග අබේකෝන්, කෝලිත ලක්මාල් රාජපක්ෂ, ටෙරන්ස් සෙඩ්රික් පීරිස් යන නිලධාරීන් පිරිසකට ය.
ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ජී.සී. පදුමසිරිට ලැබුණු තොරතුරකට අනුව මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ බවට පොලිසිය අද (අප්‍රේල් 23) අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඒ, සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද ඉදිරිපත් කරමිනි.
අත්අඩංගුවට ගත් හැටි
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකුට ලැබුණු තොරතුරකට අනුව පසුගිය අප්‍රේල් 07 වන දා ගණේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදියක් ද සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.
අදාළ මත්ද්‍රව්‍ය තොගය සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මංගල සුරාජ් පෙරේරා නැමැති සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, එම මත්ද්‍රව්‍ය පොලිසිය භාරයට ගැනීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට එරෙහිව එහි ස්ථානාධිපතිවරයාට
ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කළ බව ද පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ගණේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව ද එම විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ ජංගම දුරකතන වල තිබූ ඡායාරූප සහ වට්ස්ඇප් සංවාදවලින් විදේශ රටක සැඟව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින රංජිත් කුමාර දිසානායක හෙවත් කොණ්ඩ රංජි සහ දිප්පිටිගොඩ ලහිරු නමැත්තන් සමග එක්ව අදාළ නිලධාරියා මත්ද්‍රව්‍ය ජාවාරමක් කරන බවට තොරතුරු හෙළි වූ බව ද දැනුම් දුන් පොලිසිය ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේ සිදු කළ වැටලීමේදී කොකේන් කිලෝ ග්‍රෑම් තුනක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් එම කොකේන් කිලෝ ග්‍රෑම් තුන අදාළ වැටලීමට සම්බන්ධ වූ කොස්තාපල් 88617 හෙන්නායක නමැති නිලධාරියා ජාවාරම් කර ඇති බවට තොරතුරු හෙළි වූ බවත් දැනුම් දුන්නේ ය.
කොස්තාපල් හෙන්නායක නැමති නිලධාරියා කුලී රථයක් භාවිත කර අදාළ කොකේන් තොගය ප්‍රවාහනය කර ඇති බවත් එම කොකේන් තොගය ප්‍රවාහනයට යොදාගත් කාර් රථය
සහ ඊට අදාළ ගිවිසුම් පත්‍ර සොයාගෙන ඇති බවත් දැනුම් දුන් පොලිසිය අදාළ පොලිස් නිලධාරීන් හත් දෙනාට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති හෙයින් ඔවුන්ට විදේශ ගමන් තහනමක් පනවන්නැයි ඉල්ලා සිටියේ ය.
පොලිසිය කළ ඉල්ලීම් සලකා බැලූ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය වහා ම අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළේ ය.


































