'CID අධ්‍යක්ෂ සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා තුෂාර උපුල්දෙණියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා' - මානව හිමිකම් කොමිසම

ඡායාරූප මූලාශ්‍රය, DEPARTMENT OF PRISONS
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබූ, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම නිසි කාර්ය පාටිපාටිය අනුව සිදුකර නොමැති බැවින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර ඇත.
එමෙන් ම බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩ තහනමට ලක් කර ඇත්තේ, නිසි ක්‍රියා පාටිපාටිය අනුව නොවන බව ද මානව හිමිකම් කොමිසම සිය නිර්දේශ ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ.
තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගත්තේ ඇයි?
පසුගිය වසරේ ජූනි 09 වන දා හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, 2025 වසරේ වෙසක් පෝය දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ එවක බන්ධනාගාර කොමසාරිස්වරයා ජූනි මස 10 වන දා අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලිමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය 2025 ජූලි 09 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 2 බැගින් වූ ඇපකර දෙකක් මත මුදා හරිනු ලැබූ අතර, විදේශ ගමන් තහනමක් සහ බන්ධනාගාර පරිශ්‍රයන්ට ඇතුළු වීම තහනම් කරමින් ඇප කොන්දේසි පනවා තිබිණි.
බිරිඳගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා අත්අඩංගුවට ගැනීම සහ වැඩ තහනමට ලක් කිරීම සම්බන්ධව ඔහුගේ බිරිඳ වන එච්.එම්.කේ. හේරත් 2025 ජූනි මස 16 වන දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කළා ය.
තමාගේ ස්වාමි පුරුෂයා නීති විරෝධි ලෙස වැඩ තහනමකට ලක් කර ඔහු සේවය කළ තනතුරින් සිතාමතා සාධාරණ හේතුවක් නොමැතිව චේතනාන්විතව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත්, මේ හේතුවෙන් ස්වාමි පුරුෂයාටත්, තමාටත්, දරුවන්ට හා පවුල්වල අයටත් අගතියක් හා අපහාසයක් වූ බැවින් වින්දිතයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ඇය එම පැමිණිල්ලේ දක්වා තිබිණි.
අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශ ලේකම්වරයා නම් කර තිබිණි.
'අනවශ්‍ය කඩිනමකින් ක්‍රියාකිරීම නිසා අත්තනෝමතිකභාවයක්'
එම පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2026 මාර්තු 23 වන දා සිය නිර්දේශ ප්‍රකාශයට පත් කර ඇති අතර "වින්දිතයා සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවයන් සාධාරණ ලෙස කටයුතු කර තිබේ ද? යන ගැටලුව පැන නගින බව මෙන් ම වින්දිතයාට කරුණු දැක්වීමට ඉඩ නොදී අනවශ්‍ය කඩිනමකින් කටයුතු කිරීම තුළින් අත්තනෝමතිකභාවයක් සිදුව ඇතැයි නිරීක්ෂණය වන" බව නිගමනය කර ඇත.
උල්ලංඝනය වී ඇති මූලික අයිතිවාසිකම් මොනවා ද?
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිගමනය කර ඇත්තේ, ඒ තුළින් වින්දිත නීතියෙන් දක්වා ඇති රැකවරණය අහිමි වීම තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව ය.
"සමස්ථ කරුණු අනුව වින්දිතයා සැබැඳිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව මෙන් ම 13 (1) ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇති බැවින් පහත නිර්දේශයන් සිදු කරනු ලැබේ," යනුවෙන් මානව හිමිකම් කොමිසම සිය නිර්දේශ දක්වමින් නිකුත් කරන ලද පිටු 21ක වාර්තාවේ සඳහන් වේ.
බක් මාසය අවසන් වීමට පෙර ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කර ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත නිර්දේශ කර ඇත්තේ, පළමු වන වගඋත්තරකරුවන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව පරීක්ෂා කර සුදුසු පියවරක් ගන්නා ලෙස ය.
ඊට අමතරව හිටපු බන්ධානාගාර කොමසාරිස්වරයා වැඩ තහනමට ලක් කිරීමේ ක්‍රියාවලියේදී ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිරීක්ෂණය වන බැවින් 02 වන වගඋත්තරකරු ලෙස නම් කර ඇති අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශ ලේකම්වරයා වින්දිත පාර්ශවය සම්බන්ධව සුදුසු පියවරක් ගත යුතු බවට නිර්දේශ කර ඇත.
"පොලිස්පතිවරයා හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් පළවන වග උත්තරකරුගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධව පරීක්ෂා කොට සුදුසු පියවර ගත යුතු අතර, අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා නීතිමය ප්‍රතිපාදන දැඩි ලෙස අනුගමනය කළ යුතු බවට සියලු නිලධාරීන්ට චක්‍ර ලේඛයක් මගින් යළිත් දැනුවත් කළ යුතු ය."
"ඉහත කරුණු අනුව වැඩ තහනම් කිරීමේ ක්‍රියාවලියේදී නීතිමය හා පරිපාලනමය වශයෙන් වින්දිතයෙකු වන එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මහතාගේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව නිරීක්ෂණය වන බැවින් එම සියලු කරුණු සලකා 02 වන වග උත්තරකරු වින්දිතයා සම්බන්ධව සුදුසු පියවර ගත යුතු අතර, ගනු ලබන එම පියවර සම්බන්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගත යුතු ය."
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණියගේ සහ කොමසාරිස්, නිමල්. ජී. පුංචිහේවාගේ අත්සනින් නිකුත් කර ඇති නිර්දේශ, 2026.04.30 වන දිනට පෙර ක්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කොමිෂන් සභාවට ලැබීමට සලස්වන ලෙස නියෝග කර ඇත.
එමෙන් ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් අදාළ නිර්දේශ, අවශ්‍ය පියවර ගැනීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාට, පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත ද යොමු කර තිබේ.


































