තැපැල් දෙපාර්තමේන්තුව ඇමෙරිකාවට ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් අතුරුදන්

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Post
තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමේ තවත් සිදුවීමක් සම්බන්ධයෙන් ආයතනික මට්ටමෙන් පරීක්ෂණයක් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
මහා භාණ්ඩාගාරය විසින් ගෙවන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධව පැහැදිලි කරමින් සිටින අතරතුර තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු අනාවරණය කළේ ය.
ඇමතිවරයා ප්‍රකාශ කළේ කුමක් ද?
එහිදී අමාත්‍යවරයා පැවසුවේ, තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත නොලැබී ඇති බවට දැනුම් දී ඇති බව ය. ඒ අනුව මේ සම්බන්ධව ද මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ය.
ඔස්ට්‍රේලියානු රජයේ ආයතනයකට ගෙවිය යුතු ණය වාරිකයක් හැකර් කෙනෙකුගේ ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නගන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා තැපැල් දෙපාර්තමේන්තුවේ සිදුව ඇති සිදුවීම පිළිබඳව කරුණු දක්වා සිටියේ ය.
"ආයතනවල සිදුවන එවැනි අක්‍රමිකතා හෝ දෝෂ සම්බන්ධව ආයතන මට්ටමින් කටයුතු කරගෙන යනවා. මුදල් අමාත්‍යාංශයත් එම කටයුත්තට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඔය නිලධාරීන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට පෙරාතුව ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට පැමිණිලි කරලා යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ඒවා සියල්ල ම කැබිනට් මණ්ඩල තුළ සාකච්ඡා වෙන්නේ නෑ."
"ඕන නම් මම තව එකක් කියන්නම් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හැටියට US පෝස්ට් එකට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒවා ආයතන මට්ටමින් සිදුකර ගත යුතු දේවල්. ඒක කොහොම ද සිදුවුණේ කියලා පරීක්ෂණයක් කරගෙන යනවා මේකෙදි වෙලා තිබෙන්නේ US පෝස්ට් වෙත ගෙවීමට තිබූ ඩොලර් 625,000ක් නොලැබීම සම්බන්ධයෙන් US Post එක පැත්තෙන් කරුණු දැක්වීමක් කරලා තිබෙනවා."
"ඒක සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් විමර්ශනයක් දියත් කරමින් පවතින්නේ. අවස්ථා දෙකකදි සිදුවෙලා තිබෙනවා ඒ ගැන තමයි දැන් විමර්ශන පැවැත්වෙන්නේ," අමාත්‍යවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා තැපැල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල අවස්ථා කිහිපයකදී උත්සාහ දැරුව ද මෙම ලිපිය පළ කරන අවස්ථාව වන විටත් එය සාර්ථක නොවී ය.


































