ඩොලර් මිලියන 2.5ක් 'හැකර් ගිණුමකට' බැර කිරීම: රාජ්‍ය ආයතනවල තොරතුරු සයිබර් අපරාධකරුවන් ළඟ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියානු රජයට ගෙවනු ලැබිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙකුගේ ගිණුමකට බැර කිරීමේ සිද්ධිය පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුවී ඇත.
'සයිබර් අපරාධකරුවන්' මුදල් අමාත්‍යාංශයෙන් ලබා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලෙන් හැකි ප්‍රමාණයක් යළි ලබා ගැනීමට උත්සහ කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
හැකර් ඊමේල් හරහා අදාළ පද්ධතියට පිවිස ඇති බව ද අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කළේ ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු තානාපතිවරයා සහ ණයහිමියා දැනුවත් කළ බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියාවේ මූල්‍ය අපනයන ආයතනයකට ගෙවිය යුතු ණය වාරික මුදලක් මෙසේ හැකර් කෙනෙකුගේ ගිණුමට බැර කොට ඇතැයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අනාවරණය කළේ ය.
සිද්ධිය හෙළිදරව් වූ ආකාරය
2026 අප්‍රේල් මස 22 වන දා Free Lawyers නම් සංවිධානයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක් මගින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණේ, 2025 දෙසැම්බර් මාසයේ සිට 2026 ජනවාරි මාසයේ 31 වන දා කාලය තුලදී ඩොලර් මිලියන 22.9කට අදාළව ගෙවිය යුතු මුදලක් වෙනුවෙන් සිදුකර ඇති ඩොලර් මිලියන 2.5ක වාරික ගෙවීම අදාළ ණයකරු (රට) වෙත නොව, පරිගණක හැකර් කෙනෙකු (තෙවන පාර්ශවයක්) වෙත යොමු කර ඇති බවට තොරතුරු අනාවරණය වන බව ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා 2026 මාර්තු මස 24 හෝ ඊට ආසන්න දිනයකදී 'තාක්ෂණික කමිටුවක් පත්කර' ඇති බවත්, මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු හා පරිගණක අංශයේ ප්‍රධානියෙකුගේ වැඩ තහනම් කර ඇති බවට Free Lawyers නම් සංවිධානය සිය ලිපියෙන් කරුණු දක්වා ඇත.
මෑතක් වන තුරු ම විදේශ මුදල් විදේශ ණය, වාරික සහ ණය පොළිය නැවත ගෙවීමේ කටයුතු සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. නව මුදල් පනත සම්මත වීමෙන් පසුව එම වගකීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරිණි. ඒ අනුව මෙම ගෙවීම සම්බන්ධයෙන් ලේඛන සකස් කර ඇත්තේ ද, ගෙවීම සිදුකර ඇත්තේ ද එම ආයතනය විසිනි.
ඩොලර් මිලියන 2.5ක ගෙවීම සිදු කිරීමට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකුට, ගණකාධිකාරීවරයෙකුට හා පරිගණක අංශයේ නිලධාරියෙකුට පමණක් හැකියාවක් නැති බවත් ඒ සඳහා අනිවාර්යෙන් ම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් සහ භාණ්ඩාගාර ලේකම්වරයා ද සම්බන්ධ විය යුතු බවත් Free Lawyers නම් සංවිධානය සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේදයක් හරහා විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය සිය ලිපිය මගින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Social Media
'විපක්ෂයෙන් එල්ල වූ චෝදනා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ජාතියේ මූල්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය වී ඇති බව ය.
"විදේශ රටකට ගෙවන ණය වාරිකයක් හැටියට මේ හැකර්කරුවට ව්‍යාජ ලෙස ලබා ගන්නට පුළුවන්කම ලැබුණේ කොහොම ද? සරලව කියනවා නම් අපේ රටේ මහා භාණ්ඩාගාරයෙන් පරිගණක අපරාධකරුවෙක් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 25ක් පික්පොකට් ගහලා තියෙනවා. ඒ නිසා මේ කාරණාව පිළිබඳව හොරාගේ අම්මගෙන් පේන අහන පරීක්ෂණ නොවෙයි ස්වාධීන පරීක්ෂණයක් හරහා ඩොලර් ලක්ෂ 25ක් පික්පොකට් ගැහුව එක ගැන රටේ ජනතාවට තොරතුරු අනාවරණය කරන්න ඕන," ඔහු පැවසීය.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (අප්‍රේල් 23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය කොල්ල කා ඇති බව ය.
'චෝදනා නෙමෙයි මහ දවල් ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය මංකොල්ල කාලා. දැන් අර පික්පොකට් න්‍යායනේ තියෙන්නේ. පික්පොකට් ගහන පික්පොකට්කාරයා තමයි මෙන්න හොරෙක් කියලා දුවන්නේ. ඔක්කොම පික්පොකට්කාරයා කියන දේ අහලා අහිංසක මනුස්සයෙක්ගේ පස්සේ දුවනවා. පොකට් එක ගහපු කෙනා ෂේප් එකේ යනවා. මේ ආණ්ඩුවත් ඒ වගේ තමයි."
"බලයට ආපු දවසේ ඉඳන් කන්ටේනර් 323ක් වරායෙන් පැන්නුවා. කුඩු කන්ටේනර් දෙකක් වරායෙන් පැන්නුවා. අනිත් පැත්තෙන් ගල් අඟුරු සම්බන්ධයෙන් විගණකාධිපතිතුමියගේ වාර්තාව දිහා බැලුව ම ඒ වාර්තාවේ බැලූ බැල්මට ම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මුදල් අමාත්‍යාංශයේ එකවුන්ට් එකෙනුත් මුදල් හොරකම් කරලා තියෙනවා."
"සුළි කුණාටුවෙන් ගංවතුරෙන් විපතට පත්වෙච්ච මනුස්සයෙක්ට වන්දි දෙනකොට ප්‍රශ්න දාහක් අහනවා. හැබැයි මුදල් අමාත්‍යාංශයට ආපු ෆේක් ඊමේල් එකක් ඇවිල්ලා, ඒ ඊමේල් එක ආපු විගස ඩොලර් මිලියන 2.5ක් ගෙවනවා. එහෙම වෙන්න බැහැනේ. කොහොම ද එහෙම වෙන්නේ? මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා වගේ ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්. මේ දෙන්නා නොදැනුවත්ව එහෙම වෙන්න බැහැනේ. අද මේ ආණ්ඩුව පැහැදිලිව ම මේ රටේ අහිංසක ජනතාව රවට්ටලා, ජනතාව මුලාවේ දාලා, ජනතාවට බොරු පොරොන්දු දීලා තමන්ගේ දේශපාලන පැවැත්මට අවශ්‍ය තීන්දු තීරණ විතරක් අර ගන්නවා," මන්ත්‍රීවරයා පැවසුවේය.
'මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සිහිකැඳවීම් 05ක් යොමු කළා'
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (අප්‍රේල් 22) මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙකුගේ ගිණුමට යොමුවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් දැනුම් දුන්න ද ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබුණු බව ය.
'මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට ලිඛිතව දැනුම් දුන්නා අපිට අද දවල් 1 වෙනකොට දැනුවත් කරන්න කමිටුවට ඇත්ත නැත්ත කුමක් ද?, වෙලා තියෙන්නේ කුමක් ද? කියන එක සම්බන්ධයෙන්. අපි සිහිකැඳවීම් 05ක් විතර කළා මම හිතන්නේ. ඒත් අපිට මුදල් ලේකම්වරයාගෙන් කිසි ම පිළිතුරක් මේ වෙනකම් ලැබිලා නැහැ. තාක්ෂණික ණය පැහැර හැරීමක් සිද්ධ වෙලා ද කියන එකයි අපි අහන්නේ."
"කවදාවත් නැතුව දැන් පිට පිට කමිටු වාර තුනකට මොවුන්ගේ සම්බන්ධ වීම තිබුණේ නැහැ. ගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා විදිහට මම ඔහුවත් දැනුවත් කළා දැන් සති දෙකකට කලින් මේක මෙහෙම වෙන්න බැහැ මොවුන්ගේ පැමිණීම අත්‍යවශ්‍ය යි කියලා,' මන්ත්‍රීවරයා පැවසුවේ ය.
රජයේ කරුණු පැහැදිලි කිරීම
මේ අතර, මහා භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියානු මූල්‍ය අපනයන සමාගමකට ගෙවිය යුතු ණය මුදලක් හැකර් කෙනෙකුගේ ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඊයේ (අප්‍රේල් 22) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කිරීමක් කළේ ය.
ඔහු නිකුත් කළ වීඩියෝවක සඳහන් කරන්නේ, 'ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් අනතුරුව ඒ අදාළ පාර්ශවයන්ට ණය ගෙවීමේදී මහා භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියාවේ මූල්‍ය අපනයන ආයතනයට ගෙවනු ලැබිය යුතු මුදල් ගෙවීම සම්බන්ධයෙන් සිදුකරන ලද තොරතුරු හුවමාරුවේදී එයට මැදිහත් වූ සයිබර් අපරාධකරුවන් ඒ තොරතුරු ලබා ගනිමින් අදාළ ණය හිමියාට ලැබිය යුතු මුදල වෙනුවට ඔවුන් මුදල් ලබා ගත්තු සිද්ධියක් පිළිබඳව යි මේ පැහැදිලි කිරීම සිදු කරන්නේ."
"හේතුව මේ පිළිබඳව සමාජයේ තොරතුරු හුවමාරු වෙනවා පදනම් විරහිතව. මහජනතාව නොමග යවන ආකාරයේ තොරතුරු හෙළිදරව් වෙනවා. ඒ වගේ ම රටේ මූල්‍ය ආරක්ෂාව බිඳ වැටිලා කියලා වැරදි තොරතුරු කියනවා. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරලා නැහැ, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියලා නැහැ වගේ විවිධ දේවල් වගේම ආණ්ඩුවේ හිතවතුන්ගේ ගිණුම්වලට මේ මුදල් යොදාගෙන කියලා ප්‍රකාශ සිදුකරනවා."
"අපි වගකීමෙන් කටයුතු කරනකොට අවබෝධ කර ගත යුතු කාරණය තමයි මොකක් ද මෙතැන සිද්ධ වුණේ කියලා. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය ආයතනයත් මහා භාණ්ඩාගාරයත් අතර මුදල් පියවීමේ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගන්නේ අන්තර්ජාලය හරහා ඊමේල් පණිවිඩ මාර්ගයෙන්. මේ ඊමේල් පණිවිඩ යාන්ත්‍රණය තමයි ඔවුන් හැක් කරලා මේ තොරතුරු හුවමාරු කරගෙන තියෙන්නේ," නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පැවසීය.
මේ අතර පරිගණක අපරාධකරුවන් විසින් ඉන්දියාවට ගෙවීමට නියමිතව තිබූ මුදලක් ලබා ගැනීමට මෙවැනි ආකාරයෙන් ම උත්සහ දරා ඇති බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ය.
"අපේ නොදැනුවත්භාවයෙන් ගිය මේ ගෙවීමට අමතරව හැකර්කරුවන් විසින් තවත් මෙවැනි ආකාරයට මුදල් ලබා ගැනීමට උත්සාහ දැරීමක් සිදුකර තියෙනවා. ඒ ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් සම්බන්ධයෙන්. ඒ අනුව සැක මතු වෙච්ච නිසා විශේෂයෙන් ගිණුම් අංක වෙනස් වන බවට දැන ගත්තු පළවෙනි මොහොතේදී ම මහා භාණ්ඩාගාරය විසින් නිසි පරිදි ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයටත්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයටත් දැනුවත් කළා. ඔවුන් දීර්ඝ පරීක්ෂණයක් කළා. ඒ පස්සට ගිහිල්ලා ඒ කියන්නේ ඇත්තට ම ණය ප්‍රතිව්‍යූහගතකරණය කරලා නැවත ගෙවීම සිදු කිරීමේ සන්නිවේදන කටයුතු ආරම්භ කරපු තැන ඉඳල ම පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන ආවා."
"ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට හොයා ගන්න පුළුවන් වුණේ ඔස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය ආයතනයට ගෙවිය යුතු මුදල මේ හැකර්කරුවන්ගේ ගිණුම්වලට ගිහිල්ලා කියලා. ඒ අනුව වහා ම නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා මේ ගැන පැමිණිල්ලක් සිදුවෙමින් යනවා," නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Min of Finance
නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනටමත් කණ්ඩායමක් පත් කර ඇති බවත් එහිදී නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ය.
'මේ සිද්ධිය ගැන මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කරලා තියෙනවා. මේ ගණුදෙනුවට සම්බන්ධ වෙලා හිටපු නිලධාරීන්ගෙනුත් යම් ගැටලු පැන නැගිල ද කියලා බලලා ඔවුන්ගේ නිර්දේශ අනුව යම් විනය ක්‍රියාමාර්ග මේ මොහොත වෙනකොටත් අරන් තියෙනවා.'
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මෙවැනි හැකර් ප්‍රහාරයක් සිදුවිය හැකි ද?
මහා භාණ්ඩාගාරය වැනි රටේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයකට එවැනි ආකාරයේ සයිබර් ප්‍රහාරයක් එල්ල වීම සිදුවුයේ කෙසේ ද? යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්යාලංකාරගෙන් විමසීමක් කළේ ය.
එහිදී ඔහු කියා සිටියේ, මේ වන විට පොදු අවකාශයේ සිදුව ඇති ප්‍රකාශ සමග සැසඳීමේදී මෙය යම් නිලධාරියෙකුගේ ඊමේල් ගිණුම ඉලක්ක කරමින් සිදුවූ හැකර් ප්‍රහාරයක් බවට සැක කළ හැකි බව ය.
'දැනට අපිට කතා කරන්නෙ පොදු අවකාශයේ තියෙන තොරතුරුත් එක්ක. ආයතනය ඇතුළේ මීට වඩා තොරතුරු තියෙනවා වෙන්න පුළුවන්. මට තේරෙන විදිහට බැලූ බැල්මට පේන්නේ, සෝෂල් ඉන්ජීනියරීන් ඇටෑක් එකක් පිෂීන් ඇටෑක් එකක් වගේ දෙයක් තමයි මට නම් තේරෙන්නේ.
ඇත්තට ම ඕකට කියන ටෙක්නිකල් ටර්ම් එක තමයි බිස්නස් ඊමේල් කොම්ප්‍රමයිස් කියලා. මට හිතෙන විදිහට මෙතැන ඉන්න එක නිලධාරියෙක් ටාර්ගට් කරලා සිද්ධ වෙච්ච දෙයක්. උදාහරණයක් විදිහට අපි හිතමු ඇත්ත ඊමේල් එකට සමාන විදිහට ඊමේල් එකක් එවලා අකවුන්ට් නම්බර් එක වෙනස් කරලා ඒකට මුදල් දාන්න කියනවා වාගේ දෙයක් තමයි මෙතැනදී වෙන්නේ. මේ වගේ සිදුවීම් ලංකාවේ සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයේ සිදුවනවා අපි දැකලා තියෙනවා.
නමුත් අපිට බැලු බැල්මට පේන්නේ මේ ප්‍රොසෙස් එකේ යම් බිඳ වැටීමක් වෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය වගේ තැනක එක වෙරිෆිකේෂන් එකකට අමතරව වෙරිෆිකේෂන් කිහිපයක් වෙන්න ඕන. එහෙම දෙයක් වෙලා නැත්තේ ඇයි කියන එක ගැන ගැටලුවක් තියෙනවා," ඔහු පැවසීය.
විමර්ශනය සිද්ධ වෙන ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ජනතාවට දැනුවත් කිරීම රජය සහ මුදල් අමාත්‍යාංශය සිදුකළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
'මේ සයිබර් අපරාධය කරපු කණ්ඩායම කවුද කියන එක ගැටලුවක්. සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් කළා ම ඒ කරපු කණ්ඩායම ගැන යම් තොරතුරක් හොයා ගන්න පුළුවන්. ඒ වගේ ම මේක සිදධ වුණේ කොහොම ද කියන එකත් බලන්න වෙනවා. ඒ වගේ ම මේ සල්ලි පිටට ගිහින් තියෙන නිසා නැවත ඒවා අය කර ගන්න ජාත්‍යන්තර ආයතන එක්ක එකතු වෙලා කටයුතු කරනවා ද කියන එක වගේ ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන ආයතන දෙකට අමතරව ඩිජිටල් වෝහාරික ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා විමර්ශන සිද්ධ කරනව ද, ඉන්ටර්පෝල් එක මේ විමර්ශනයට සම්බන්ධ කරගෙන තියෙනවා ද කියන කරුණු ජනතාවට දැනුම් දීම වැදගත් වෙනවා.'
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
රාජ්‍ය ආයතනවල තොරතුරු සයිබර් අපරාධකරුවන් ළඟ ද?
මේ අතර ඉකුත් සතියේදී X සමාජ මාධ්‍ය වේදිකාවේ ක්‍රියාත්මක Dark Web Intelligence ගිණුම ඔස්සේ මෙරට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ තොරතුරු ඇමෙරිකානු ඩොලර් 200කට අලෙවි කිරීමට ඇති බව පළකර තිබෙන අයුරු දක්නට ලැබිණි.
එවැනි ආකාරයේ රාජ්‍ය ආයතනවල සංවේදී තොරතුරු හැකර්කරුවන් අතට පත්වීම සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්යාලංකාරගෙන් විමසීමක් කළ අතර ඔහු එයට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
"සමහරු කියනවා හැකිං ෆෝරම්ස්වල මේ අයගේ ඇක්සස් එහෙම තිබ්බා කියලා. එක ම ගැටලුව තමයි අපිට ඒවා හරි ද කියලා හරියට ම කියන්න බැහැ. මොක ද ඒ ගැන හරි විමර්ශනයක් කරලා නැති නිසා."
"මේ වගේ අවස්ථාවලදි තමයි දත්ත ආරක්ෂණ පනත යටතේ දත්ත ආරක්ෂණ අධිකාරිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඊට අමතරව මේ වෙනකොටත් සාකච්ජා මට්ටමේ තියෙන සයිබර් ආරක්ෂණ පනත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිත යි කියලා ඩිජිටල් නියෝජ්‍ය ඇමතිතුමා කියලා තියෙනවා. එතකොට සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ආයතනයක් පිහිටුවන්න නියමිත යි."
මේ නිසයි අපි රාජ්‍ය ආයතනවල සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ ගැටලු ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා සියලු ම රාජ්‍ය ආයතනවල සයිබර් අවකාශයේ ව්‍යුහාත්මක වෙනසක් කරන්න මේ පනත් දෙක ම සක්‍රීයව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙනවා," ඔහු කියා සිටියේ ය.
ඔස්ට්‍රේලියා රජයේ ප්‍රතිචාරය
මේ අතර, ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සිය X ගිණුමේ සටහනක් තබමින් මෙම හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැනුවත් බව නිවේදනයක් නිකුත් කර තිබේ.
"ඔස්ට්‍රේලියානු රජයට අයවිය යුතු මුදලක් සම්බන්ධයෙන් වූ අක්රමිකතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය සහ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය අවබෝධයෙන් සිටියි.
ශ්‍රී ලංකා බලධාරීන් මෙම ගැටලුව විමර්ශනය කරමින් සිටින අතර ඒ පිළිබඳව සොයා බැලීමට ඔස්ට්‍රේලියානු නිලධාරීන් සමග කටයුතු කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සහ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව අඛණ්ඩව සහය දෙන," බව ද ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පළ කර ඇති නිවේදනයේ සඳහන් වේ.


































