ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩි කාලයක් ජීවත් වන්නේ ඇයි?
- Author, එලන් සාං
- Role, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
ඔබ කාන්තාවක නම්, ගෝලීය සාමාන්‍ය අගයට අනුව ඔබ ඔබේ සහෝදරයන්ට හෝ පිරිමි මිතුරන්ට වඩා අවුරුදු 5ක පමණ කාලයක් වැඩියෙන් ජීවත් වීමට ඇති ඉඩකඩ වැඩිය.
කාන්තාවන්ගේ ආයු කාලය වැඩි වීමට නිශ්චිත ම හේතු පූර්ණ වශයෙන් සොයාගෙන නොමැති නමුත් විද්‍යාඥයන් සතුව ඒ පිළිබඳව අදහස් කිහිපයක් පවතී.
ඇතැම් පක්ෂී විශේෂ වැනි සතුන් අතරේ ගැහැනු සතුන්ට සාපේක්ෂව පිරිමි සතුන්ගේ ආයු කාලය වැඩි වීමට හේතුව කුමක් ද යන්න තේරුම් ගැනීමට ද මෙම අදහස් උපකාරී විය හැකිය.
තරුණ වයසේදී ම මියයාම
"හැම රටක ම වගේ කාන්තාවන් පිරිමින්ට වඩා දිගු කාලයක් ජීවත් වෙනවා," එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් ජනගහන වයස්ගත වීමේ ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය සාරා හාපර් පවසයි.
නමුත් "රට අනුව එහි විශාල වෙනස්කම් පවතිනවා," ඇය පෙන්වා දෙයි.
Our World in Data පර්යේෂණ ප්රකාශනයට අනුව උදාහරණයක් ලෙස රුසියාව, යුක්රේනය සහ වියට්නාමය වැනි රටවල කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව වසර 10ක් හෝ ඊට වඩා වැඩි කාලයක් ජීවත් වන අතර නයිජීරියාව වැනි රටවල මෙම පරතරය ඉතාමත් සුළු අගයක පවතී.
මෙම වෙනස්කම්වලින් කොටසක් සමාජයීය සහ චර්යාත්මක වෙනස්කම් නිසා සිදුවන බව විද්‍යාඥයෝ පවසති.
"රුසියාවේ පිරිමින් කෙටි ආයු කාලයකට හිමිකම් කීමට ප්‍රධාන හේතුව දුම්පානය සහ මත්පැන් පානය බව" හාපර් පවසයි. මෙම පුරුදු දෙක ම එරට පිරිමින් අතර බහුලව දක්නට ලැබේ.
ලෝකය සම්බන්ධයෙන් ගත් කල, පිරිමි තම ආයු කාලය කෙටි කරන වෙනත් ක්‍රියාවල නිරවීමේ නැඹුරුවක් ද ඇත.
"ඔවුන් ගන්න ආහාර පවා සෞඛ්‍ය සම්පන්න නැහැ," හාපර් පවසයි.
ඔවුන් වෛද්‍යවරයෙකු හමුවීමට යාමට ඇති ඉඩකඩ ද අඩු බව පවසන ඇය සඳහන් කරන්නේ, "එහෙම වුණත් විවාහ පිරිමින්ට වාසියක් තියෙනවා... මොක ද සාමන්‍යයෙන් ඔවුන්ගේ සහකරු ඔවුන්ව එක්කන් යන නිසා."
එමෙන් ම, බොහෝ සමාජවල පිරිමින් භායනක රැකියාවල නිරත වීමට වැඩි නැඹුරුවක් ඇති බවත් පිරිමි බව අවදානම් ගැනීම සමග සම්බන්ධ විය හැකි බවත් ඇය පවසයි.
"රිය අනතුරු, ප්රචණ්ඩ ක්‍රියා, මිනීමැරුම් සහ සියදිවි නසාගැනීම් හේතුවෙන් මිය යන පිරිමි ගණන වැඩියි," ඇය අනතුරු අඟවයි.
නමුත් මෙය නිශ්චිත තත්ත්වයක් නොවෙයි.
උදාහරණයක් ලෙස, එක්සත් රාජධානිය තුළ 1960 සහ 70 දශකවල ක්‍රියාත්මක වූ දුම්පානයට එරෙහි ව්‍යාපාර හේතුවෙන්, නියමිත වයසට පෙර මියයන පිරිමින්ගේ සංඛ්‍යාව පහත වැටිණි.
"පරතරය එකවර ම තියුණු ලෙස අඩු වුණා," හාපර් පවසයි.
නමුත් ඇය සිතන්නේ "කාන්තාවන් සහ පිරිමින් අතර සැමවිට ම ජීව විද්‍යාත්මක වෙනසක් පවතින නිසා පුරුදු වෙනස් කිරීමෙන් පමණක් ස්ත්‍රී පුරුෂ පරතරය කිසිදිනෙක සම්පූර්ණයෙන් මැකී නොයන බව ය.
ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටෙරෝන්
මෙම වෙනස්කම් අතරින් එකක් වන්නේ හෝමෝන යි.
"කාන්තාවන් ආරක්ෂා කරන්න ඊස්ට්‍රජන් බොහෝ දේ කරනවා," ස්පාඤ්ඤයේ වැලෙන්සියා විශ්වවිද්‍යාලයේ වයස්ගත වීම පිළිබඳ විශේෂඥ කායික විද්‍යාඥයෙකු වන මහාචාර්ය කොන්සුවෙලෝ බොරාස් පවසයි.
මෙය කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නියාමනය කිරීම, මුත්‍රා ආසාදන වැළැක්වීම සහ මොළය සහ අස්ථිවල සෞඛ්‍යය ආරක්ෂා කිරීම දක්වා විහිදෙන බව ඇය පවසයි.
මෙම හෝමෝනය මගින් ප්රතිලාභ රැසක් ලබා දෙන ප්‍රධානතම ක්‍රමයක් වන්නේ එය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කර සෛල තුළ එකතු වී වයස්ගත වීමේ ක්‍රියාවලිය වේගවත් කරන හානිකර අංශුවලට එරෙහිව ක්රියාකිරීමයි.
"ආර්තවහරණයත් සමග ඊස්ට්‍රජන් හෝමෝනයෙන් ලැබෙන ආරක්ෂාව අහිමි වීම ශරීරයේ බොහෝ ක්‍රියාකාරකම්වලට බලපාන බව අධ්‍යයන රැසක් මගින් පෙන්වා දී තිබෙනවා," බොරාස් පැහැදිලි කරයි. "උදාහරණයක් කියනවා නම් ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇති වන්නේ ස්වාභාවික වයස්ගත වීමේ ක්‍රියාවලිය නිසා පමණක් නෙවෙයි, ඊස්ට්‍රජන් හෝමෝනය ශරීරයට නොලැබී යාම නිසයි."
හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සාව එය ලැබීමට සුදුසු ආර්තවහරණයේ මුල් අවධියේ සිටින කාන්තාවන්ට ලබා දුන් විට, මෙම අක්‍රිය වූ ක්‍රියාකාරකම්වලින් ඇතැම් ඒවා යථාතත්ත්වයට පත්වන අයුරු නිරීක්ෂණය වූ බව ඇය පවසයි.
අනෙක් අතට, පිරිමි තුළ පවතින ප්‍රධාන ලිංගික හෝමෝනය වන ටෙස්ටොස්ටෙරෝන් වඩාත් අවදානම්සහගත හැසිරීම්වලට පෙළඹීම කෙරෙහි බලපාන බව සොයාගෙන ඇත. එය ශරීරය අභ්‍යන්තරයේ ද යම් හානිකර බලපෑම් ඇති කරන බවට බොරාස් සැක පළ කරන නමුත්, එය සිදු වන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි වී නොමැත.
2012 වසරේදී සිදු කළ අධ්‍යයනයකින් සොයා ගැණුනේ, වෘෂණ කෝෂ ඉවත් කිරීමෙන් පසු ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම නතරවූ අතීතයේ විසූ වන්ධ්‍යාකරණයට ලක් වූ කොරියානු පුද්ගල කණ්ඩායම, වෘෂණ කෝෂ ඉවත් නොකළ පිරිමින්ට සාපේක්ෂව අවුරුදු 14-19ක් පමණ වැඩි කාලයක් ජීවත් වූ බව ය.
කෙසේ වෙතත් මෙම දත්තවලට සීමා පවතින අතර විවිධ හේතු මත එම පර්යේෂණය යළි සිදු කළ නොහැක. නමුත් ඇතැම් සතුන් මගින් ලබාගත් සාක්ෂිවලින් ද පෙනී යන්නේ වෘෂණ කෝෂ ඉවත් කළ පිරිමි සතුන් වැඩි කලක් ජීවත් වන බවයි.
හෝමෝන යනු දිගුකලක් ජීවත්වීමේ රහස පිටුපස ඇති ප්‍රහේලිකාවේ එක කොටසක් විය හැකි නමුත්, තවත් බොහෝ හේතු පවතී.
"මේ සඳහා සාධක බොහෝමයක් තිබෙනවා. අපි ඒවායෙන් කිහිපයක් දන්නවා, නමුත් මම හිතන්නේ ඒක ඇත්තට ම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්," බොරාස් පවසයි.
පරිණාමීය ඉඟි
මේ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට උත්සහ කිරීම සඳහා ඇතැම් විද්‍යාඥයෝ මිනිසුන්ගෙන් ඔබ්බට ගොස් පර්යේෂණ පවත්වමින් සිටිති.
ගැහැනු වැඩි කලක් ජීවත් වන එක ම ජීවී විශේෂය අපි පමණක් නොවෙයි. සිංහයන්, බැටළුවන්ගේ සිට තල්මසුන් සහ මීයන් වැනි සතුන් අතර ද මෙම තත්ත්වය පවතී.
පුදුමය වන්නේ කුරුල්ලන් අතර පවතින්නේ මීට ප්‍රතිවිරුද්ධ දෙයක් වීම ය. එනම් පක්ෂීන් අතර වැඩි ආයු කාලයක් භුක්ති විඳින්නේ පිරිමි සතුන් ය.
එක් ඉඟියක් වර්ණදේහවල තිබිය හැකිය.
"ක්ෂීරපායී සතුන් තුළ ගැහැනු සතුන්ට X වර්ණදේහ දෙකක් ඇති අතර, පිරිමි සතුන්ට ඇත්තේ එක් X වර්ණදේහයක් සහ එක් Y වර්ණදේහයක් පමණයි," ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් පරිණාමීය මානව විද්‍යා ආයතනයේ පර්යේෂකයෙකු වන වෛද්‍ය යෝහානා ස්ටාර්ක් පවසයි.
කාන්තාවන්ට XX ලෙස වර්ණදේහ යුගලක් පිහිටීම, ඔවුන්ට ජීවිතය රැකගැනීමේ අමතර වාසියක් ලබා දෙන බව එක් මතයකින් යෝජනා කෙරේ. "එක් වර්ණදේහ පිටපතක යම් විකෘතියක් ඇති වුවහොත්, එය මගහැර සිටීමට අමතර පිටපතක් ඔබ සතුව පවතිනවා," ස්ටාර්ක් පැහැදිලි කරයි.
"නමුත් පිරිමින්ට ඇත්තේ එක X වර්ණදේහයක් පමණක් නිසා, මෙම විකෘතිතා ඔවුන්ට වඩාත් හානිකර විය හැකියි."
කුරුල්ලන් සම්බන්ධයෙන් ගත් කළ එක ම වර්ණදේහයේ පිටපත් දෙකක් පිහිටන්නේ පිරිමි සතුන්ට ය. ඒවා Z ලෙස හඳුන්වයි. නමුත් ගැහැනු සතුන්ට ඇත්තේ එක් Z වර්ණදේහයක් සහ එක් W වර්ණදේහයකි.
"ක්ෂීරපායී සතුනුත් අතරේ ගැහැනු සතුනුත්, පක්ෂීන් අතරේ පිරිමි සතුනුත් වැඩි කාලයක් ජීවත් වීමට එක හේතුවක් ලෙස මෙය දැක්විය හැකියි," ස්ටාර්ක් යෝජනා කරයි.
2025 වසරේදී ප්‍රකාශයට පත් වූ ඇයගේ පර්යේෂණ පත්‍රිකාවෙන් ඉඟි කරන්නේ මීට වඩා එහා ගිය කතාවක් මෙහි ඇති බව ය.
එක ම සහකාරියක සමග පමණක් ජීවත් වන සත්ව විශේෂවල... ස්ත්‍රී-පුරුෂ අතර ලොකු වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ගෝරිල්ලන්, සිංහයන් වැනි පිරිමි සතුන් ගැහැනු සතුන් කිහිප දෙනෙකු ලබාගැනීම සඳහා දැඩි තරගයක් පවතින විශේෂවල ස්ත්‍රී-පුරුෂ වෙනස ඉතා ඉහළයි," ඇය පවසයි.
ඇය සැක කරන්නේ, මෙවැනි තරගකාරී පරිසරයක ජීවත් වන පිරිමි සතුන් තමන්ගේ ආයු කාලය කැප කරමින් හෝ ගැහැනු සතුන් ආකර්ෂණය කරගැනීම සඳහා ශරීරය විශාල කර ගැනීමට හෝ විශාල අං වර්ධනය කර ගැනීමට වැඩි ශක්තියක් වැය වන කාර්යයන්වලට මුල් තැන දීමට පරිණාමය වී ඇති බව ය.
අනෙක් අතට ගැහැනු සතුන් තුළ පරිණාමය සිදු වී ඇත්තේ මීට හාත්පසින් ම වෙනස් මගක ය.
එක් අදහසක් වන්නේ ගැහැනු සතුන් විසින් පැටවුන් රැකබලා ගනු ලබන සත්ව විශේෂවල "විශේෂයෙන් ම මිනිසුන් හෝ වානරයන් වැනි ඉතා දිගු කාලයක් ජීවත් වන විශේෂවල, මව වැඩි කලක් ජීවත් වීම වාසිදායක වන අතර එය ඔවුන්ගේ පැටවුන් උස්මහත් වනතුරු හදාවඩා ගැනීමට ගොඩක් ප්‍රයෝජනවත් වනවා," යැයි ස්ටාර්ක් පවසයි.
දිගු සහ වඩාත් හොඳ දිවියක්
නමුත් එය කාන්තාවන් සඳහා සුබ ආරංචියක් නොවේ.
ඔවුන් පිරිමින්ට වඩා දිගු කලක් ජීවත් වන වනු ඇති නමුත් පර්යේෂණ මගින් යෝජනා කරන්නේ ඔවුන් තම ජීවිත කාලය පුරා කොන්දේ වේදනාව, විශාදය සහ හිසරදය වැනි මාරාන්තික නොවන රෝගාබාධවලින් වැඩි වශයෙන් පීඩා විඳින බව ය.
"කාන්තාවන්ට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියා දැක්වීමේ හැකියාවක් තිබෙනවා. නමුත් එයින් ශරීරය අභ්‍යන්තරයේ ප්‍රදාහයන් ඇති කරන රෝග මතු වීමේ ඉඩකඩක් පවතිනවා," හාපර් පැහැදිලි කරයි. "එමෙන් ම, ස්වාභාවිකව ම අපට තිබෙන්නේ තරමක් දුර්වල මාංශ පේශි සහ අස්ථි පද්ධතියක්."
"පිරිමින්ගේ ජීව විද්‍යාත්මක ස්වභාවය ඔවුන් මරණය පත් වීමේ අවදානම වැඩි කරන අතර කාන්තාවන්ගේ ජීව විද්‍යාත්මක ස්වභාවය ඔවුන් ආබාධිත හෝ අකර්මණ්‍ය තත්ත්වයන්ට පත් වීමේ අවදානම කරනවා," ඇය නිගමනය කරයි.
නමුත් විශේෂඥයින් තිදෙනා ම අවධාරණය කරන්නේ අපගේ ජීව විද්‍යාත්මක දෑ මගින් අපගේ දෛවය මුළුමනින් ම තීරණය නොකරන බවයි.
"ජීව විද්‍යාත්මක වෙනස්කම් සඳහා පරිසරය සහ චර්යාවන් ඍජුවම බලපානවා," බොරාස් පැහැදිලි කරයි.
ඇය පවසන්නේ, කාන්තාවන් සහ පිරිමි යන දෙපිරිස ම තමන් ගන්නා ආහාර, ව්‍යායාම, නින්ද සහ මානසික ආතතිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ඒ හුදෙක් ම බොහෝ කාලයක් ජීවත් වීමට නොව මනා ජීවිතයක් ගත කිරීමට ය.