ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වාහන අධිභාරය ගැන ජනපතිගේ ගැසට් පත්‍රය නිකුත් වීමට පෙර ව්‍යාපාරිකයින් අතට තොරතුරු ලැබුණා ද?
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පසුගිය මැයි 16 වන දා සිට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කරන බව දැනුම් දෙමින් මැයි 15 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.
ඒ අනුව, එදින සිට මාස තුනක කාලසීමාවක් සඳහා එම අධිභාරය අය කිරීමට නියමිත ය.
කෙසේ වෙතත්, මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50%ක අධිභාරය බලනොපාන බව ද නිවේදනයේ සඳහන් කර තිබිණි.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසන්නේ, රටින් පිටතට යන ඩොලර් ප්‍රමාණය සීමා කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව ය.
බරපතළ චෝදනාවක්
කෙසේ වෙතත්, මෙම අධිභාරය පැනවීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.
එම චෝදනාව පළමුවෙන් ම ඉදිරිපත් කළ සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක ප්‍රකාශ කළේ, රජය අධිභාරයක් පැනවීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු අතට පත්වී ඇති බව ය.
ඒ අනුව, මැයි 15 වන දා, එනම්, අධිභාරය ක්‍රියාත්මක වීමට පෙර දින වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි 4000ක් විවෘත කර ඇති බව නිරෝෂන් පාදුක්ක පැවසීය.
ඔහු චෝදනා කළේ, වාහන ආනයනකරුවන් දෙදෙනෙකු ණයවර ලිපි 3500ක් සහ 500ක් බැගින් විවෘත කර ඇති බව වාර්තා වන බව ය.
ඒ අනුව, එම ව්‍යාපාරිකයින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර බද්ද සම්බන්ධ තොරතුරු ලබා දීමෙන් අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දීමක් සිදු කර ඇති බවට ඔහු චෝදනා කළේ ය.
'සම්පූර්ණ මිථ්‍යාවක්. වැරදි තොරතුරක්' - මුදල් නියෝජ්‍ය ඇමති
නිරෝෂන් පාදුක්ක ඇතුළු විපක්ෂයේ පිරිස් එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු බ්‍රහස්පතින්දා (මැයි 21) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේ ය.
"එතනදි ඉදිරිපත් කරපු තර්කය තමයි, හරියට ම මේ තීන්දුව ගත්තු මැයි මාසෙ 15 වෙනි දා වාහන 4000ක් ගෙන්නුවා, ඒකෙන් 3500ක් එක සමාගමක් ගෙන්නුව. තව 500ක් තව සමාගමක් ගෙනල්ල ඒ තොරතුරු එළියට ගිහිල්ල හොරකමක් වංචාවක් කළා කියල. සම්පූර්ණයෙන් මිථ්‍යාවක්, වැරදි තොරතුරක් සමාජගත කළා."
ඔහු එහිදී ප්‍රකාශ කළේ, මැයි 15 වන දා ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 1782ක් පමණක් බව ය.
එම වාහන එක් සමාගමක් මගින් නොව විවිධ පුද්ගලයින් වාහන එක දෙක බැගින් ආනයනය කළ ඒවා බව ද ඔහු පැවසීය.
නිරෝෂන් පාදුක්ක බීබීසී සිංහල සේවයට කීවේ කුමක් ද?
කෙසේ වෙතත්, බීබීසී සිංහල සේවය නිරෝෂන් පාදුක්කගේගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසුවේ, ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර දින වාහන 4000ක් සඳහා ණයවර ලිපි විවෘත කර තිබූ බව ය.
"මේ ටැක්ස් එක ගහන්න ඉස්සෙල්ල වාහන 4000ක් එල්.සී. ඕපන් කරල තියෙනව, 15 වෙනි ද රෑ 10.30 වෙනකොට. සමහර බැංකුවලට පීට්සා ගෙනිහින් දීල තියෙනව ඔය ඒජන්සිවලින්. 10.30, 11.00 වෙනකම් වැඩ කරල තියෙනව. දැන් ආණ්ඩුව කියනව අන්තිම දවසෙ ණයවර ලිපි 1782ක් විවෘත කළා කියල. ඒකෙන් ම පේනව නෙ වංචාවෙ කොනක් එතන තියෙනව කියලා."
මේ සම්බන්ධයෙන් තොරතුරු දත්ත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
'ජනාධිපති ගැසට් එක ගහනව කියල ඒගොල්ලො කොහොම ද දැන ගත්තේ?'
මැයි 16 වන දා නිකුත් කළ ගැසට් පත්‍රයේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මෙරට ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු මැයි 15 වන දාට පෙර දැනගත්තේ කෙසේ දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බ්‍රහස්පතින්දා (මැයි 21) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ ය.
ඔහු පැවසුවේ, "ජනාධිපතිතුමාගෙ Rebuilding Sri Lanka එකේ ඉන්න" ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු අදාළ වාහන 4000 ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බව ය.
"කොහොම ද ඒ නිව්ස් එක ගියේ? ඒක වංචාවක් නෙවෙයි ද? ඒගොල්ලො කොහොම ද දැනගත්තේ ජනාධිපතිතුමා සෙනසුරාදා ගැසට් එක ගහනව කියල? මේවා සංවිධානාත්මක අපරාධ. ජනාධිපතිතුමා ගැසට් එක ගහන්න කලින් එයාගෙ වටේ ඉන්න කාර් සේල්කාරයො ටික ගිහිල්ල එල්.සී. ඕපන් කරනවා."
"මේ ඇමතිතුමා කිව්වෙ බොරු. මැයි මාසෙ 4000ක් නෑ කිව්ව. මැයි මාසෙ අන්තිම සතිය අරගෙන බලන්න. වාහන 4000කට එල්.සී. ඕපන් කරල තියෙනව. මොකක් ද නෑ කියල කියන්නේ?" මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී පැවසීය.
මැයි 7 සිට මැයි 18 දක්වා ආනයනය කර ඇති වාහනවල වටිනාකම්
ගැසට් නිවේදනය නිකුත් කළ දිනයට ආසන්න දිනවල ණයවර ලිපි විවෘත කිරීම්වල අගයයන් පිළිබඳව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහනකදී අනාවරණය කළේ ය.
- මැයි 07 - ඇ.ඩො. මිලියන 2.6
- මැයි 08 - ඇ.ඩො. මිලියන 4.6
- මැයි 11 - ඇ.ඩො. මිලියන 3.8
- මැයි 12 - ඇ.ඩො. මිලියන 4.3
- මැයි 13 - ඇ.ඩො. මිලියන 8.4
- මැයි 14 - ඇ.ඩො. මිලියන 11
- මැයි 15 - ඇ.ඩො. මිලියන 23
- මැයි 18 - ඇ.ඩො. මිලියන 17
මෙම දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ, ගැසට් පත්‍රය නිකුත් කළ මැයි 16 වන දාට පෙර දින 3 තුළ එනම්, මැයි 13 සිට මැයි 15 දක්වා වාහන ණයවර ලිපි විවෘත කිරීමේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන බව ය.
විශේෂයෙන් ගැසට් පත්‍රය නිකුත් කළ දිනට පෙර දින ඇමෙරිකානු ඩොලර් මිලියන 23ක ණයවර ලිපි විවෘත වී තිබේ.
මාස 18කදී වාහන ආනයනයට ඇ.ඩො. මිලියන 3161ක්
2024 දෙසැම්බර් මාසයේ සිට 2026 මැයි 18 වන දා දක්වා මෙරටට වාහන 614,880ක් ආනයනය කර තිබේ.
නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පැවසූ පරිදි, ඒ සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3161කි.
පසුගිය මාස 4 තුළ වාහන ලක්ෂ 2ක් පමණ ආනයනය කර ඇති බව ද ඔහු පැවසීය.