ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිහිනයක් ඇයට පිළිකාවක් ඇති බව හඳුනා ගැනීමට මග පෙන්නුවා - නමුත් අපේ නිදා සිටින මොළයට ඇත්තටම පණිවිඩ යැවිය හැකි ද?
- Author, කේට් බෝවි
- Role, ගෝලීය සෞඛ්‍ය, බීබීසී ලෝක සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 7
2011 වසරේදී ඇඩ්ලීන් හට ඇගේ ජීවිතය වෙනස් කළ සිහිනයක් තිබුණාය.
ඇය මානසික පීඩනයෙන් සිටි අතර වසර 03 කට පෙර මියගිය ඇගේ මවගේ අඩුව දැනී තිබිණි.
''එක රාත්‍රියක් වන තුරු ඇය සිහිනෙන් පෙනී හිටියා.'' ඇඩ්ලීන් හොංකොං සිට පවසන අතර ඇගේ නම වෙනස් කර ඇත.
''මට මතකයි මම කිව්වා, අනේ අම්මේ අන්තිමේදී මට ඔයාව මුණගැසුනා, ඔයාට කොහොමද?' කියලා. එතකොට ඇය පැවසුවා 'මම හොඳින් ඉන්නවා නමුත් මට ඔයාට යමක් කියන්න ඕනේ - කරුණාකරලා පුළුවන් තරම් ඉක්මනට ගිහිං පරීක්ෂණයක් කරගන්න' කියලා''
ඇඩ්ලීන් පවසන්නේ එම "බලවත් පණිවිඩය" පිළිගෙන වෛද්‍යවරයකු හමුවීමට වේලාවක් වෙන් කරගත් බවයි. එහිදී ඇයට පළමු අදියරේ පිළිකාවක් ඇති බව හඳුනාගත් අතර, එය මුල් අවධියේදීම හඳුනා ගෙන තිබූ බැවින් ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබිණි.
''මං ගොඩක් ස්තූතිවන්න වෙනවා,'' ඇඩ්ලීන් පවසයි. ''එසේ නොවන්නට පරීක්ෂණයට මම මාවම පොළඹවා ගන්නේ නැතිවේවි."
විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයින් සහස්ර ගණනාවක් පුරාවට ඔවුන්ගේ සිහින විශ්ලේෂණය කර ඇත. පුරාණ ඊජිප්තු, ග්‍රීක සහ බැබිලෝනියානු සමාජවල ජීවත්වූ සියල්ලෝම සිහින යනු අනාවැකිමය විය හැකි බව විශ්වාස කළහ.
ඒකදේවවාදිත ආගම්වලදී දෙවියන් විසින් එවනු ලබන සිහින ''දර්ශන'' ලෙස සැලකේ. ඇතැම් ආදිවාසී කණ්ඩායම් සිහින සලකනු ලබන්නේ ආත්මීය උදව්කරුවන්ගේ පැමිණීම් ලෙසයි.
සිහින හරහා පණිවිඩ එවීමට මුතුන්මිත්තන්ට හැකියාව ඇති බවට වන සාම්ප්‍රදායික චීන විශ්වාසය පිළිබඳ ඇය දැනුවත්ව සිටි නමුත් එය ඇයට සිදු වනු ඇතැයි කිසිදිනෙක නොසිතූ බව ඇඩ්ලීන් පවසයි.
සිහින කෙරෙහි ඇති ආකර්ෂණය දැන් අන්තර්ජාලය වෙත පිවිස ඇත. හොංකොං පදනම් කරගත් DISCUSS සංසදයේ පරිශීලකයින් ඔවුන්ගේ සිහින අර්ථකථන බෙදා ගැනීමට එය භාවිතා කරන අතර Reddit පරිශීලකයින් සිය ගණනක් තම සිහින විශ්ලේෂණය කිරීමට ChatGPT භාවිතා කරන ආකාරය විස්තර කරති.
නමුත් ඇඩ්ලින් දුටු සිහින වැනි දේ මගින් අපට කුමක් කිව හැකිද සහ විද්‍යාඥයින් සහ මනෝවිද්‍යාඥයින් පවසන පරිදි අප ඒවා කෙතරම් සැලකිල්ලට ගත යුතු ද?
අප සිහින දකින්නේ ඇයි?
අපේ මොළය සිහින දකින්න කැමැත්තක් දක්වයි. අප වේගවත් අක්ෂි චලන අවස්ථාවක හෝ REM අවස්ථාවේ සිටින විට අප ''නිසැකවම පාහේ සිහින දකිනවා'' යනුවෙන් එක්සත් රාජධානියේ ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ ආචාර්ය අබිදෙමි ඔටයිකු පවසයි.
මෙයින් අදහස් කෙරෙන්නේ අප නිදා සිටින කාලයෙන් තුනෙන් එකක් දක්වා කාලයක් සිහින දකිමින් සිටිය හැකි බවයි.
ඇත්ත වශයෙන්ම තද නින්දක් නොමැතිව අපට සිහින දැකීම මගහැරී ගිය හොත් අපගේ මොළය ඊළඟ අවස්ථාවේදී අපට වඩාත් පැහැදිලි සිහින පෙන්වනු ඇති අතර එය REM rebound ලෙස හඳුන්වන ක්‍රියාවලියකි.
"ශරීරයට ඒවා සැබවින්ම අවශ්‍ය වන අතර අවස්ථාව ලද සැනින් ඒවා ලබා ගනීවි" ඔටයිකු පැහැදිලි කරයි.
ඇත්ත වශයෙන්ම අප නිදාගන්නේ ඇයිද යන්න තවමත් විද්‍යාත්මක අභිරහසකි. පුළුල් ලෙස ගත් කළ, පර්යේෂකයන් විශ්වාස කරන්නේ මොළය යථා තත්ත්වයට පත්වීමට නින්ද උපකාරී වන බව සහ දවස පුරාවට ලද මතකයන් වර්ග කර ගැනීමට එයට කාලය ලබා දෙන බවයි.
ස්කෑන් පරීක්ෂණ මගින් හෙළිදරව් කළ හැකි දෙය වන්නේ නින්ද අතරතුර අපගේ මොළයේ සැකසුම වෙනස්වීම පෙනෙන්නට තිබෙන අතර එමඟින් අපි ඒ මොහොතේ අපගේ සිහින දකින ආකාරය වෙනස් වේ.
අප සිහින දකින විට අපට තාර්කිකවීමට උපකාරී වන මොළයේ කොටස වන ලලාට ඛණ්ඩිකාව (frontal lobes) බොහෝ දුරට අක්‍රිය වේ. මේ අතර, සංවේදන සඳහා දායක වන ලිම්බික් පද්ධතිය අධික්රියාකාරී වේ.
''අපේ සිහින වඩාත් පුදුම සහගතවීමට සහ එතරම් තේරුමක් නැති ඒවා බව පෙනෙන්නටත් එය එක් හේතුවක්" ඔටයිකු පවසයි.
තීරණ ගැනීමට සිහින උපකාරී විය යුතුද?
පර්යේෂණ මගින් යෝජනා කරන්නේ අප අවදියෙන් සිටින විට වඩා හොඳ තේරීම් සිදු කිරීම සඳහා අපව යොමු කිරීමට අපගේ සිහිනවලට හැකියාව පවතින බවයි.
එක් අධ්‍යනයකදී පෙන්නුම් කළේ දුම්පානය පිළිබඳ සිහින දුටු ඊට පෙර දුම්පානයට යොමුව සිටි පුද්ගලයින් නැවත පෙර සිටි තත්ත්වයට යොමුවීමේ සම්භාවිතාව අඩු බවය. දික්කසාද වූ පුද්ගලයින් තුළ ද එම බලපෑම දක්නට ලැබෙන අතර පර්යේෂකයන් සොයා ගත්තේ හිටපු සහකරු හෝ සහකාරිය පිළිබඳ සිතමින් සිටි පිරිස් වසරකට පසුව මානසිකව නිරෝගීමත්ව සිටින බවයි.
"ඔවුන් චිත්තවේගීව දුෂ්කර දෙයක් ඔස්සේ වැඩ කටයුතු කරමින් සිටිනවා. වැදගත්ම දෙය නම් සිහිනයේ අන්තර්ගතය ධනාත්මකද නැතිනම් සෘණාත්මක ද යන්න ගැටළුවක් නොවීමයි," එක්සත් ජනපදයේ සිහින පර්යේෂක සහ මනෝවිද්‍යාඥ ආචාර්ය ඩිලන් සෙල්ටර්මන් පවසයි.
ඇත්ත වශයෙන්ම, අධ්‍යයන දෙකම පෙන්නුම් කළේ ධනාත්මක සිහිනවලට සාපේක්ෂව ඇතැම් අවස්ථාවලදී ඍණාත්මක සිහිනවලට මිනිසුන්ට ඔවුන්ගේ ගැටලු සමග කටයුතු කිරීමේදී වඩාත් ඵලදායී ලෙස උපකාර කළ හැකි බවයි.
"ඔබ ඒ හරහා වැඩ කරමින් එය සමඟ ඵලදායී ආකාරයකින් කටයුතු කරයි," සෙල්ටර්මන් පැහැදිලි කරයි.
සිහිනවලට අපට ගැටලු විසඳීමට ද සහය දිය හැකිය. හාවඩ් විශ්ව විද්‍යාලය මගින් සිදු කළ එක් අධ්‍යයනයකදී සොයා ගැනුණේ ප්‍රෙහේළිකාවක් විසඳීමට ඉල්ලා සිටි අවස්ථාවේදී ඒ පිළිබඳ සිහින දුටු සහභාගීවූවන් වඩාත් හොඳින් එය සිදු කළ බවයි.
මෙය ගැටලුවක් විසඳිමට මොළයට අමතර කාලයක් තිබීම සහ සිහින මගින් එම ගැටලුව දෙස වඩාත් නිර්මාණාත්මක ආකාරයකින් බැලීමට අපට ඉඩලබාදීම යන "ප්‍රබල එකතුව" විය හැකි බව සෙල්ටර්මන් පවසයි.
අපගේ දෛනික ජීවිතයේදී, අප අවදියෙන් සිටින විට දැනටමත් සිතමින් සිටි දෙයක් සඳහා ක්ෂණිකව පහළ වූ ප්රබෝධයක් ලෙස මෙය පැහැදිළි විය හැකිය.
"සිහිනය ඔවුන්ට ඒ දිශාවට යම් ආකාරයක ආරම්භයක් ලබා දෙනවා," සෙල්ටර්මන් පවසයි.
සිහිනවලට ඔබේ සැබෑ හැඟීම් හෙළි කළ හැකි ද?
එයින් අදහස් කෙරෙන්නේ සිහින සැඟවුණු හෝ සැබෑ හැඟීම් පිළිබිඹු කරන බව නොව ඔබේ නිදා සිටින මොළය තවමත් ඔබේ අවදියෙන් සිටින මනස සැලකිලිමත් වන මාතෘකා කෙරෙහි උනන්දුවක් දක්වන බව පමණි.
සිහින අධ්‍යයනයට සහභාගී වූවන් සිහින නිසා තම සහකරුවන්ගෙන් වෙන් වූ අවස්ථා තමා දැක ඇති බව සෙල්ටර්මන් පවසන නමුත් මෙම පුද්ගලයින් ඒ වන විටත් තම සබඳතාවල ගැටලු පවතින බව වාර්තා කර ඇත.
"එය ඔවුන්ට අවශ්‍යව තිබූ අමතර කුඩා තල්ලුව ලබා දුන්නා... ඔවුන්ට තමන් ගැන යම් අවබෝධයක් ලැබෙන බව හැඟුණ නමුත් එය ඔවුන් ඒ වන විටත් විශ්වාස කළ දේ සමග ගැළපුණා,'' ඔහු පැහැදිලි කරයි.
ඉතින්, අප අනපේක්ෂිත පුද්ගලයෙකු ගැන සිහින දකින විට ඒ ගැන කරදර විය යුතු ද?
"ඔබ සතුටින්, ආදරයෙන් පිරි සාර්ථක ආදර සබඳතාවයක් පවත්වා ගෙන යනවා නම් සහ එක්තරා රාත්‍රියකදී ඔබ වෙනත් අයෙකු සමඟ සමීපව සිටින සිහිනයක් දැක්කොත් ඒක සාමාන්‍ය දෙයක්," සෙල්ටර්මන් පවසයි.
''ඒක ගැන ඔයාට වරදක් කළා වගේ හැඟීමක් ඇති වෙන්න ඕනේ නෑ...ඇත්තටම ඒක යමක් පැවසෙන දෙයක් නෙමෙයි,'' ඔහු පැහැදිලි කරයි.
අපේ සිහිනවලට අනාගතය ගැන අනාවැකි කිව හැකි ද?
අපගේ සිහින අනාගතය පිළිබඳ අනාවැකි පවසන බව පෙනෙන විට ඒවා හඳුනා ගැනීමටත්, සැබෑ ජීවිතයේ සිදුවීම් සමඟ ඒවා ගැළපෙන විට ඒවා මතක තබා ගැනීමටත් අපගේ මොළය සූදානමින් සිටී.
"ඔබ සිහින දකින හැම වෙලාවකම ඒවා සැබෑ ලෝකය සමඟ නොගැළපෙන විට ඔබ ඒවා අමතක කරනවා," ස්නායු විද්‍යාඥ ඔටයිකු පවසයි.
නමුත් එක් න්‍යායක් එය මොළයේ "අන්තර් සංජානන" හැකියාවන් සමඟ සම්බන්ධ කරන බැවින් සිහින මානසික තත්ත්වයක් ලෙස පෙනෙන්නට තවත් හේතුවක් තිබිය හැකිය.
"ඇතැම් පිරිස් මේක අපේ හයවන ඉන්ද්රිය ලෙස හඳුන්වනවා. මූලික වශයෙන්, මෙය ශරීරයේ අභ්‍යන්තර තත්ත්වය වටහා ගැනීමට මොළයට ඇති හැකියාවයි," ඔටයිකු පවසයි.
අභ්‍යන්තර සංවේදනයට සම්බන්ධ මොළයේ කොටස් බොහෝ විට සිහින දැකීමට සම්බන්ධ කොටස් සමඟ සමපාත වන අතර ඇතැම් පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ අපගේ සිහින මගින් රෝගාබාධ ගැන පෙරනිමිති පළ කරන බව පෙනෙන්නට හේතුව මෙය විය හැකි බවයි.
''මේ දේවල් පැහැදිලි කළ හැකි තරමක් දුරට පිළිගන්න පුළුවන් ක්‍රියාවලියක් ලෙස මෙය පෙනෙන්නට තිබෙනවා," ඔටයිකු වැඩිදුරටත් පවසයි.
අපේ බියකරු සිහින ගැන අපි කොතරම් අවධානයක් යොමු කළ යුතු ද?
ඔටයිකු වැනි ස්නායු විද්‍යාඥයින්ගෙන් සිදුකරමින් සිටින පර්යේෂණවලින් යෝජනා කෙරෙන්නේ අපගේ සිහින මොළයේ ආබාධ වර්ධනය වීමේ අවදානම පිළිබඳ පෙන්නුම් කරන දර්ශකයක් විය හැකි බවයි.
"ඔබට බොහෝ විට බියකරු සිහින පෙනෙන තරමට, ඩිමෙන්ශියාව සහ පාකින්සන් රෝගය වර්ධනය වීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්" ඔහු පවසයි.
බියකරු සිහින මෙම රෝගවල මුල් ලකුණක් විය හැකිය, බියකරු සිහින දුර්වල සෞඛ්‍යයට හේතු විය හැකිය, නැතහොත් බියකරු සිහින සහ රෝග දෙකටම අපගේ ජාන විද්‍යාව වැනි තවත් පොදු හේතුවක් තිබිය හැකිය යනුවෙන් ඔහුට න්‍යායන් තුනක් තිබේ. මෙම න්‍යායන්ගෙන් එකක් හෝ නිවැරදි දැයි දැන ගැනීමට තවත් පර්යේෂණ සිදු කළ යුතුව ඇත.
ඔටයිකු පවසන්නේ මෙම සොයාගැනීම් අපව මානසික අවපීඩනයට පත් නොකළ යුතු බව සහ ඒ වෙනුවට අපගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට හොඳ අවස්ථාවක් විය යුතු බවයි. ආතතිය අඩු කිරීම, හොඳ තත්ත්වයේ නින්දක් ලබා ගැනීම සහ නින්දට පෙර බියජනක චිත්‍රපට නැරඹීමෙන් වැළකී සිටීම යන සියල්ල මේ සඳහා උපකාරී විය හැකිය.
වඩාත් දරුණු තත්ත්වයන් සඳහා වෙනත් විකල්ප ද තිබේ. 'Image rehearsal therapy' යන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගීන්ට දිගින් දිගටම පෙනෙන බියකරු සිහිනවල අවසානය වෙනස් කිරීමට උදවු කරන අතර, 'Prazacin' නම් රුධිර පීඩන පාලන ඖෂධයට සාමාන්‍ය සිහිනවලට බාධා නොකර බියකරු සිහින පාලනය කළ හැකිය.
"නපුරු සිහින වලට ප්‍රතිකාර කිරීමෙන් අපගේ සෞඛ්‍යයට ක්ෂණික සහ ඇතැම්විට දිගු කාලීන ප්රතිලාභ ලැබෙනු ඇති බව ඇත්තටම පිළිගන්න පුළුවන්" ඔටයිකු තවදුරටත් පවසයි.
අපි අපේ සිහින විශ්ලේෂණය කළ යුතුද?
සිහිනවල ස්ථාවර සංකේතාත්මක අර්ථයන් සෙවීම අවදානම් සහගත විය හැක්කේ ඉන් පුද්ගලයාට ආවේණික වූ සන්දර්භය නොසලකා හරින නිසා බව සෙල්ටර්මන් අනතුරු අඟවයි
"දන්ත වෛද්‍යවරයෙකුට සාපේක්ෂව සාගර ජීව විද්‍යාඥයෙකුට මෝරෙකු පිළිබඳ වෙනස් අර්ථයක් තියෙන්න පුළුවන්" ඔහු පැහැදිලි කරයි.
නමුත් ඔහු පවසන්නේ තේමාවන් සෙවීම අපට අප පිළිබඳවම වඩා හොඳින් තේරුම් ගැනීමට උපකාරී වන බවයි.
''ඔබ මිය ගිය ආදරණීයයෙකු ගැන බොහෝ සිහින දකිනවා වෙන්න පුළුවන්, අනාගතයේදී ඔබට ලැබෙනවාට කැමති රැකියාවක් ගැන හෝ ඔබේ මිතුරන් සහ ඔබට වැදගත් අය ගැන සිහින දකිනවා වෙන්න පුළුවන්," ඔහු පවසයි.
මෙම තේමාවන් එනම් අප වැඩිපුරම සිහින දකින මාතෘකා පිළිබඳව අවධානයෙන් සිටීම අප ගැනත්, අපගේ සබඳතා ගැනත් වඩා හොඳ අවබෝධයක් දෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.
"සිහිනවල කිසියම් වැදගත්කමක් තිබෙනවා නම් එය බොහෝ දුරට පවතින්නේ අපගේ සමාජ ජීවිතය තුළයි," සෙල්ටර්මන් පවසයි.
ඇඩ්ලින් පවසන්නේ ඇය දැන් ඇගේ සිහින කෙරෙහි අමතර අවධානයක් යොමු කරන බව සහ ඇගේ හැඟීම් පරීක්ෂා කිරීමට ඒවා මතක් කිරීමක් ලෙස භාවිතා කරන බවත්ය.
"පණිවිඩය කුමක් විය යුතුද යන්න ගැන සිතාබලන විට අප අපගේ සහජ බුද්ධිය විශ්වාස කළ යුතුයි. ඔබ ගැනම ගැඹුරින් සිතා බලන්න, ඔබට පිළිතුර සොයා ගන්න පුළුවන්" ඇය පවසයි.