ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාත්‍රි නින්දට යාමට පෙර Wi-Fi සහ ජංගම දුරකතනයේ ඉන්ටර්නෙට් සබඳතා ක්‍රියා විරහිත කළ යුතු ද?
- Author, භාරත් ශර්මා
- Role, බීබීසී වාර්තාකරු
- කියවීමේ කාලය: මිනිත්තු 6
"නිදාගන්න යන්න පුතා, දැන් වෙලාව රෑ 12යි, ඔයා කොච්චර වෙලාවක් තිස්සේ ෆෝන් එක දිහා බලාගෙන ඉන්නව ද?"
''චිත්‍රපටය ඉවර වෙන්න ළඟයි අම්මා. අපිට දවල්ට Wi-Fi නෑනේ!''
'' මේ Wi-Fi වලට මොනවා හරි කරන්න වෙනවා!''
මේ නොයිඩාහි ජීවත් වන සරිතා සහ අට වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇගේ පුත් අක්ෂාර් අතර නිරන්තරයෙන් හුවමාරු වන සංවාදයකි.
එම සංවාද සතියකට රාත්‍රී තුනක් හෝ හතරකදී සිදුවේ.
ඇතැමුන් පවසන්නේ, Hi-Fi යන්නෙන් 'high fidelity' යන්න අදහස් වන ලෙසින් Wi-Fi යන්නෙන් 'wireless fidelity' යන්න අදහස් වන බව ය.
නමුත් Wi-Fi Alliance නම් ආයතනය පවසන්නේ, Wi-Fi යන්නට කිසිදු දිගු යෙදුමක් නොමැති බව ය.
සරලව පවසන්නේ නම්, Wi-Fi යනු රැහැන් සහ සම්බන්ධක ජාලයකට බැඳ තැබීමකින් තොරව අපව ඉන්ටර්නෙට් සමග සම්බන්ධ කරන තාක්ෂණය යි.
මේ හරහා අපට අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගැනීමට සහ එකිනෙකා සමග සන්නිවේදනය කිරීමේ හැකියාව හිමි වේ.
Wi-Fi සම්බන්ධතාව ක්‍රියාත්මක කර තිබීමෙන් සෞඛ්‍යයට බලපෑමක් තිබේ ද?
Wi-Fi පරිගණක සහ ස්මාර්ට්ෆෝන් වැනි උපාංග කේබල් රහිතව ඉන්ටර්නෙට් ජාලයකට සම්බන්ධ කර තබයි. එය රැහැන් රහිත රවුටරයක් භාවිත කරමින් රැහැන් රහිතව ක්‍රියාත්මක වන යම් ප්‍රදේශයක් තුළ ජාලයක් නිර්මාණය කරයි.
අප සියල්ලන් ම ජංගම දුරකතනවලට ඇබ්බැහි වී සිටින නමුත් Wi-Fi නව ඇබ්බැහි වීමක් ලෙස මතු වෙමින් පවතී. නමුත් මෙහි අඩුවෙන් සාකච්ඡාවට බඳුන් වූ එක් අංගයක් පවතින අතර ඒ සඳහා අවධානයක් යොමු වෙමින් පවතී.
යම් අයෙකු විනෝදාස්වාදය හෝ රැකියාව සඳහා ජංගම දුරකතනය, ටැබ්ලට්, පරිගණකය හෝ ලැප්ටොප් පරිගණකය මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කර තිබේ නම්, රාත්රියේදී Wi-Fi රවුටරය ක්‍රියාත්මකව පැවතීමේ අවස්ථා ඉහළ මට්ටමක පවතී.
එසේ නම් Wi-Fi ක්‍රියාත්මක කර තැබීම අපගේ සෞඛ්‍යයට යම් බලපෑමක් ඇති කරයි ද? එය ක්‍රියා විරහිත කර තැබීමෙන් සෞඛ්‍ය ප්රතිලාභ හිමි වේ ද?
මෙම ප්රශ්නය තවදුරටත් ගැඹුරු කර පවසන්නේ නම්, රාත්රියේදී Wi-Fi ක්‍රියාත්මක කර තැබීමෙන් මිනිස් සිරුරේ ස්නායු පද්ධතියට හෝ මොළයට හානිදායක වේ ද?
මෙම ප්රශ්නය යොමු කළ විට දිල්ලියේ ජාතික අගනුවර කලාපයේ පිහිටි යශෝධා මෙඩිසිටිහි ස්නායු ශෛල්‍ය වෛද්‍ය උපදේශක දිව්‍යා ජ්‍යෝති පැවසුවේ, එවැන්නක් තවමත් විද්‍යාත්මකව ඔප්පු කර නොමැති බැවින් තමාට මෙය ඍජුව පැවසිය නොහැකි බව ය.
වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මොළයේ සංවේදන යනු විද්‍යුත් සංවේදන වන අතර Wi-Fi හෝ අනෙකුත් උපකරණ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර මත රඳා පවතින බැවින් තර්කානුකූලව මෙය සිතා බැලිය හැකි බව ය.
"ඉතිං ඒකට මොළයේ සංවේදනවලට බාධා එල්ල කිරීමේ හැකියාවක් තිබෙනවා, නමුත් එහෙම හිතන්න අපිට කිසි ම විද්‍යාත්මක හේතුවක්, පැහැදිලි කිරීමක් හෝ නිගමනයක් නැහැ නේ. නමුත් තර්කානුකූලව හිතුවොත් අපි පුළුවන් උපරිමයෙන් එය වළක්වා ගත යුතු බව යි.''
මොළයේ සංවේදන යනු මොනවා ද?
මොළයේ සංවේදන යනු ස්නායුවලට තොරතුරු සන්නිවේදනය කිරීමට සහ සැකසීමට උපකාරී වන විද්‍යුත් රසායනිකමය සංඥා වේ. මෙම ස්නායු සංවේදන ක්‍රියා විභවයන් යනුවෙන් ද හඳුන්වයි.
මෙම සංවේදන මොළයට ගෙන යන ස්නායු සංවේදක ස්නායු ලෙස හැඳින්වේ. එය ඔබට සහ මට ස්පර්ශය, රස, සුවඳ සහ යමක් දැකීමට ඉඩ සලසමින් මොළයට පණිවිඩ රැගෙන යයි.
දහවල් සහ රාත්‍රී කාලවලදී Wi-Fi රවුටර්වල බලපෑම කෙසේ ද?
දිවා කාලයේදී නොව රාත්රියේදී පමණක් Wi-Fi රවුටර භාවිතයෙන් වැළකී සිටිය යුතු ද?
''දහවල් කාලය සහ රාත්‍රී කාලය තුළ ශරීරයේ සහ එහි ක්‍රියාකාරකම්වල යම් යම් වෙනස්කම් තිබෙනවා. රාත්රියේදී ශරීරයේ තරංග වෙනස්, ඒවාට කියන්නේ නිද්‍රා තරංග කියල යි. රාත්රියේදී සිදුකළ යුතු වැදගත් ම දෙය වන්නේ හොඳ නින්දක් ලබා ගැනීම යි, එය සිදු කරන්නේ නිද්‍රා චක්‍රය මගින්" මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය දිව්‍යා ජ්‍යෝති බීබීසී හින්දි සේවයට පැවසුවේ ය.
''මොළයට විවේකයක්, සුවදායක නින්දක් සහ සම්පූර්ණ සහනයක් ලැබෙන්නයි රාත්රියේදී ඒක ක්‍රියා විරහිත කළ යුතුයි කියලා කියන්නේ. නමුත් දහවල් කාලයේදී අපට වැඩ කරන්න තිබෙන නිසා ඒකෙන් නින්දට බාධාවක් වෙන්නේ නෑ. නමුත් පැහැදිලි තර්කය වන්නේ නිරාවරණය වීම අවම වන තරමට එය වඩාත් හොඳයි කියන එකයි," ඔහු පැවසීය.
නමුත් රාත්රියේදී Wi-Fi භාවිතයෙන් වැළකී සිටීමට නිර්දේශ කර තිබේ ද? අප නිතර ම ජංගම දුරකතනය කොට්ටය අසල තබාගෙන නිදාගැනීම සුදුසු ද?
වෛද්‍යවරයා පැහැදිලි කරන්නේ ජංගම දුරකතන ද මයික්‍රෝවේව් පාදක කර ගත් නිෂ්පාදන බව ය. ඒවා ද විකිරණ මාදිලියක් නිපදවන අතර වෙනස් වන්නේ එහි සංඛ්‍යාතය පමණි.
තර්කානුකූලව බැලීමේදී මේවා ද බාධාකාරී විය හැකි ය. ඔබ ජංගම දුරකතනයක් භාවිත නොකළ ද, විද්‍යුත් චුම්භක තරංග තවමත් ක්‍රියාකාරීව ඇත.
"අපි පසුබිම් විකිරණ ගැන කතා කරනවා නම් ජංගම දුරකතන සහ Wi-Fi මගින් නිකුත් කරන විකිරණ ඒවා සමග සැසඳීමේදී බොහොම අඩු මට්ටමක තමයි තිබෙන්නේ. මේ දෙක විකිරණවලට නිරාවරණය වීම සැලකිය යුතු මට්ටමකින් සිදු වෙනවා ද? යන ප්‍රශ්නයට උත්තරය වෙන්නේ ''නැහැ'' කියන එක යි. ඒක සංසංදනය කරලා බලනකොට අපි පසුබිම් විකිරණවලට නිරාවරණය වීම බොහොම වැඩි යි,'' වෛද්‍ය දිව්‍යා ජ්‍යෝති පැවසුවේ ය.
විශේෂඥයින් පවසන්නේ, රූපවාහිනී, ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර දක්වා අපගේ නිවෙස්වල සහ කාර්යාලවල භාවිතයේ පවතින සියලු ම වර්ගයේ විදුලි උපකරණ විකිරණ විමෝචනය කරන බව ය. ඕනෑ ම විද්‍යුත් උපකරණයක් සමග විද්‍යුත් චුම්භක තරංග සම්බන්ධ වී පවතී.
ඇතැම් විශේෂඥයින් නිර්දේශ කරන්නේ, ඔබ EMF (විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර) සඳහා අධික ලෙස නිරාවරණය වීම ගැන සැලකිලිමත් වන්නේ නම් ඔබගේ නිදන කාමරයේ රවුටරයක් සවි කිරීමෙන් වැළකී සිටින ලෙස ය.
එය සිදු කිරීමට අපහසු නම් ඔබට නිදන ඇඳේ සිට ආරක්ෂාකාරී දුරකින් රවුටරය තබා ගත හැක.
විශේෂඥයින් පවසන්නේ කුමක් ද?
වෛද්‍ය ක්ෂේත්රයට අමතරව අපි මෙම මාතෘකාව තාක්ෂණයට සම්බන්ධ විශේෂඥයින් සමග ද සාකච්ඡා කළෙමු.
ඔවුන් පවසන්නේ, මේ පිළිබඳව නිවැරදි තොරතුරු නොමැති බැවින් තවමත් ව්‍යාකූලතා පවතින බව ය.
මෙවැනි තත්ත්වයක් තුළ මෙම තරංග හෝ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර මගින් සැබවින් ම සිදුවිය හැකි හානිය කොපමණ ද සහ ඉන් ආරක්ෂා වන්නේ කෙසේ ද යන්න සොයා බැලීමට අධ්‍යයනයක් සිදු කළ යුතු ය.
තාක්ෂණ විශේෂඥ මොහොමඩ් ෆයිසාල් අලි පවසන්නේ, අපට හොඳින් නිදා ගැනීම සඳහා රාත්රියේදී Wi-Fi ක්‍රියා විරහිත කළ යුතු බව ඔප්පු කළ හැකි අධ්‍යයනයක් නොමැති බව ය.
''එහෙම නැතිනම් Wi-Fi ක්‍රියාකාරීව තබා ගැනීම අපගේ ස්නායු හෝ වෙනත් පද්ධතිවලට බලපාන්න පුළුවන්. නමුත් ඕනෑ ම ආකාරයක රේඩියෝ තරංගයකට අධික ලෙස නිරාවරණය වීම දිගු කාලීන බලපෑම් ඇති කරන්න පුළුවන්. මේක සාමාන්‍ය දෙයක්.''
1995-96 කාලසීමාවේ සිට අපි ජංගම දුරකතන භාවිතය ආරම්භය පිළිබඳව සලකා බලනවා නම් එහි මුළු ගමන් මග අවුරුදු 30ක් පමණ වෙනවා, ඒ වගේ ම පසුගිය වසර 10 තුළ ඉන්දියාවේ ජංගම දුරකතන සහ Wi-Fi භාවිතයේ වර්ධනය බොහෝ සෙයින් වැඩි වෙලා," අලි බීබීසී හින්දි සේවයට පැවසුවේ ය.
"ඉතිං මේ වගේ දේවල් මෙවැනි හානි සඳහා හේතු විය හැකි බැවින් ඒවා සීමිත ප්‍රමාණයකින් භාවිත කළ යුතුයි කියලා නිගමනය කරන්න පුළුවන් යම් අධ්‍යයනයක් අනාගතයේදී කරන්න පුළුවන් වෙයි. නමුත් මේ දක්වා ඒ වගේ කිසි ම දෙයක් කරලා නෑ."
ජංගම දුරකතන සඳහා ද පවතින ඊට අදාළ අන්තර්ජාල සේවාවක් ඇති අතර මෙම තර්කය ඒවාට අදාළ වනවා ද?
මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ, ''ඒක විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර වුණත්, රේඩියෝ තරංග වුණත්, අධික ලෙස නිරාවරණය වීම අහිතකර බවට තේරුමක් අපිට තිබෙනවා. දැන් අපට වඩා හොඳ දත්ත තිබෙන නිසා මේ පිළිබඳව අනිවාර්යයෙන් ම අධ්‍යයනයන් කළ යුතු යි. මම දන්න තරමට සහ මම තේරුම් අරන් තියෙන තරමට ඇතැම්විට අපි බය වෙලා ඉන්න තරමට මේවා හානිදායක වෙන්න හේතුවක් නැහැ."
විශේෂඥයින්ට අනුව විකිරණ, තරංග හෝ EMF මගින් ශරීරයට ඇති විය හැකි අහිතකර බලපෑම් මොනවා ද?
''ප්‍රායෝගිකව බලනවිට ඒක අපේ සුව නින්දට බාධා කරන්න පුළුවන් සහ මේක සිදුවන්නේ නම් එය දිවා කාලයේදී අපගේ කාර්යක්ෂමතාවට බලපාන්න පුළුවන්. ඒකාග්‍රතාව සහ අවධානය යොමු කිරීමේ මට්ටම් අඩු වේවි. මීට අමතරව, විකිරණ ශරීරයේ පිළිකා සෑදීම හා වර්ධනයට ද සම්බන්ධ වෙනවා,"වෛද්‍ය දිව්‍යා ජ්‍යෝති පැවසුවේ ය.
"Wi-Fi සමග ම, ජංගම දුරකතන මගින් මුදා හැරෙන විකිරණ පිළිබඳව ද සාකච්ඡාවක් තිබෙනවා. ඉන්දියාවේ ජංගම දුරකතන රැසක් දැන් ක්‍රියාත්මක වන්නේ 5G ජාල මත යි. වසර හයකට පමණ පෙර එය යුරෝපයට හඳුන්වා දුන් විට, මෙම නව තාක්ෂණය හා සම්බන්ධ වී පවතින සෞඛ්‍ය අවදානම් පිළිබඳව ප්‍රශ්න මතු වුණා."