ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මම ඒක කොහේ හරි ලියලා තිබ්බා': සිය මංගල තරගයේදී ම IPL වාර්තාවක් තැබූ පන්දු යවන්නා
"මම කොහේ හරි ලියලා තිබ්බා මගේ මංගල තරගයේදී කඩුලු 4ක් හරි 5ක් හරි දවා ගන්නවා කියලා. මම ඒ ලියලා තිබ්බ දේ ගැන විශ්වාස කරනවා."
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි 19කදී මේ දක්වා කිසිදු පන්දු යවන්නෙකුට පිහිටුවීමට නොහැකි වූ අසමසම වාර්තාවක් තමන් සතු කර ගත් 24 හැවිරිදි ප්‍රෆුල් හින්ගේ පැවසීය.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ඊයේ (අප්‍රේල් 13) පැවති තරගය ලකුණු 57කින් ජයග්‍රහණය කිරීමට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමත් වූ අතර එහිදී ප්‍රෆුල් පන්දු යැවීමෙන් දැක්වූ දායකත්වය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්විය.
තරගාවලි 19කදී ලෝක ප්‍රකට පන්දු යවන්නන් රැසක් පන්දු යවා ඇතත්, සිය පළමු තරගයට එක්වූ ප්‍රෆුල් තැබූ වාර්තාව තමන් සතු කර ගැනීමට ඒ කිසිවෙක් සමත් නොවූහ.
මංගල තරගයේදී තැබූ වාර්තාව
සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කරමින් සිය මංගල IPL තරගය ක්‍රීඩා කිරීමට වරම් ලැබූ ප්‍රෆුල් හින්ගේ තම පළමු පන්දු වාරයේදී ම සියලු දෙනාගේ ම අවධානය තමන් වෙත නතුකර ගැනීමට සමත් විය.
රාජස්ථාන් රෝයල්ස් ඉනිමේ පළමු පන්දු වාරය හින්ගේ යැවූ අතර ඔහු එහිදී කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.
මෙතෙක් IPL ඉතිහාසයේ ඉනිමක පළමු පන්දු වාරයේදී පන්දු යවන්නෙකු විසින් කඩුලු 03ක් දවා ගනු ලැබූ පළමු අවස්ථාව මෙය විය.
කිසිදු පන්දු යවන්නෙකුට මෙල්ල කර ගැනීමට නොහැකි වූ ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින වයිභාව් සූර්යවංශි පළමු පන්දුවෙන් ම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ප්‍රෆුල් සමත් විය.
ඉන්පසුව පිළිවෙළින් ධෲව් ජුරෙල් සහ ලුහාන් - ඩ්‍රේ ප්‍රිටෝරියස් ලකුණු ලබා ගැනීමට පෙර නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔහු සමත් විය.
තරගය අවසානයේදී ප්‍රෆුල් තම පන්දු ඕවර 04 අවසානයේදී ලකුණු 34කට කඩුලූ 04ක් දවා ගැනීමට සමත් වූ අතර ඔහුට තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ද හිමි විය.
'මට ඕන වුණේ පළමු පන්දුවෙන් ම ඔහුව දවා ගන්න'
සූර්යවංශිගේ කඩුල්ල ලබා ගැනීමෙන් පසු තමා වඩාත් සතුටු වූ බව ප්‍රෆුල් පැවසීය.
"සමහර අයට මම කියලා තිබුණා ඔහුව බවුන්සර් එකකින් දවා ගන්නවා කියලා. මට අවශ්‍ය වුණේ පළමු පන්දුවෙන් ම ඔහුව දවා ගන්න යි. ඒක තමයි සැලැස්ම වුණේ. මගේ පන්දු යැවීමේ පුහුණුකරු වරුන් ආරන් මට ඒකට ගොඩක් උදව් කළා," ඔහු පැවසුවේ ය.
ප්‍රෆුල් හින්ගේ යනු කවුද ?
2002 ජනවාරි 18 වන දා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර්හි විදර්බාහිදී ප්‍රෆුල් ප්‍රකාශ් හින්ගේ උපත ලැබීය.
ඔහුගේ පියා ප්‍රකාශ් හින්ගේ විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන අතර කලක් වේග පන්දු යවන්නෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිට තිබිණි.
මව අල්ඛා හින්ගේ වන අතර, ප්‍රෆූල්ගේ එක ම සහෝදරිය වෘත්තියෙන් ගණකාධිකාරීණියකි.
ප්‍රෆූල් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී තිබුණේ වයස අවුරුදු 13දී ය. ඒ සිය මිතුරන් සමග සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරමිනි.
සමස්තයක් වශයෙන් ඔහු පළමු පෙළ තරග 10කට ක්‍රීඩා කර කඩුලු 27ක් දවාගෙන තිබූ අතර, A කාණ්ඩයේ තරග හයකදී ඔහු කඩුලු 5ක් දවාගෙන ඇත.
ප්‍රෆුල් 2024 ඔක්තෝබර් මාසයේදී විදර්බා කණ්ඩායම වෙනුවෙන් පළමු පන්තියේ තරග සඳහා ක්‍රීඩා කිරීම ආරම්භ කළ අතර පසුගිය රංජි කුසලාන තරග වාරයේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස ඉනිම 11කදී කඩුලු 16ක් දවා ගත්තේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 26.37ක් ලෙස රඳවා ගනිමිනි
ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ එක් විස්සයි 20 තරගයක් සඳහා පමණි. 2025 දෙසැම්බර් මාසයේදී ආන්ද්‍රා කණ්ඩායමට එරෙහිව සයිඩ් මුෂ්තාක් අලි කුසලානයේදී ඔහු ලකුණු 23කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
2025 IPL ක්‍රීඩක වෙන්දේසියේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ඔහුව මිල දී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් ලක්ෂ 30ක් වූ අවම ලංසු මිලකට ය.
'මේ සම්මානය මගේ පවුලේ අයට'
ඊයේ (අප්‍රේල් 13) සන්රයිසර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හිමි කර ගැනීමෙන් පසුව ප්‍රෆූල් හින්ගේ කියා සිටියේ, තමන් වෙනුවෙන් අසීමිත කැප කිරීම් කළ පවුලේ අයට තමන් එම සම්මානය පුද කරන බව ය.
"මම ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගත්තේ අවුරුදු 13දී. ලෙදර් බෝල් ක්‍රිකට් කියන්නේ මොකක් ද කියලා මම මුලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් මම මගේ තාත්තාට කිව්වා මාව ක්‍රීඩා සමාජයකට ඇතුළත් කරන්න කියලා, ඔහු මාව එතනට එක්කගෙන ගියා. මම මගේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ එහෙම යි. මට මේ සම්මානය මගේ පවුලේ අය වෙනුවෙන් කැප කරන්න ඕන. ඒ අය අසීමිත විදිහට මං වෙනුවෙන් කැප කිරීම් කළා," ඔහු පැවසුවේ ය.
සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ නිත්‍ය නායකයා වන පැට් කමින්ස් තමන්ගේ පරමාදර්ශී චරිතය බවත්, ඔහු සමග කණ්ඩායම් ක්‍රීඩාගාරයේ සිටීමට තමන් කැමැති බවත් හින්ග් වරක් විවෘතව ප්‍රකාශ කර තිබිණි.
තම මංගල විස්සයි 20 තරගයේදී පන්දු යැවීම ආරම්භ කළ විදර්බා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නා වන උමේෂ් යාදව්ගෙන් ද හින්ගේ පන්දු යැවීමේ ගුරුහරුකම් ලබා තිබේ.
'සුබ නොවූ ආරම්භය'
ප්‍රෆුල් හින්ගේගේ ක්‍රිකට් දිවිය මීට වසර දෙක හමාරකට ඉහතදී අවිනිශ්චිත තත්ත්වයක පැවතිණි.
කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් දඩි දුෂ්කර තීන්දුවක් ගන්නා තැනට ඔහු පත්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
නමුත් ඔහුට නැවත නැගී සිටීමට හැකි වූයේ, හිටපු වේග පන්දු යවන්නන් වූ වරුන් ආරන් සහ ග්ලෙන් මැක්ග්‍රාත්ගේ උපකාරයත් හේතුවෙනි.
"වරුන් ආරන් ප්‍රෆුල්ගේ වෘත්තීය ක්‍රිකට් ජීවිතයට දේවදූතයෙක් වගේ ආවා. ඔහු තමයි ප්‍රෆුල්ව එයාගේ යටතේ තියාගෙන ආබාධ තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍ය පුහුණුවීම් වගේ ම උදව් කළේ," ප්‍රෆුල්ගේ පියා ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ය.
ප්‍රෆුල් ආබාධ තත්ත්වයෙන් සුවය ලැබීමෙන් අනතුරුව චෙන්නායිහි පිහිටි MRF වේග පන්දු යවන්නන් පුහුණු කිරීමේ පදනම යටතේ වැඩිදුර පුහුණුව ලැබීමට සහ අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව උදා විය.
MRFහි පුහුණු අධ්‍යක්ෂ හිටපු ඔස්ට්‍රේලියානු හිටපු වේග පන්දු ක්‍රීඩක ග්ලෙන් මැක්ග්‍රාත් ප්‍රෆුල්ට ඔස්ට්‍රේලියාවේදී වැඩිදුර පුහුණුවීම් සඳහා අවස්ථාව උදාකර දුන්නේ ය.
ඒ අනුව ප්‍රෆුල්, බ්‍රිස්බේන්හිදී ඔස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේ සති තුනක කාලයක් පුහුණු විය.
"ප්‍රෆුල්ගේ පන්දු යැවීමේ හැකියාව ගැන පැහැදුණු ග්ලෙන් මැක්ග්‍රාත් එයාව බ්‍රිස්බේන්වලට එක්කන් ගියා. සියලු වියදම් MRF පේස් පදනමෙන් දැරුවේ. අපට එක සතයක්වත් ගෙවන්න වුණේ නැහැ," ප්‍රෆුල්ගේ පියා පැවසුවේ ය.
'හීන කවදාවත් හැබෑ වෙන්නේ නැහැ කියලා කවුද කිව්වේ?'
"මම රජයේ සේවකයෙක්, මගේ දුව වරලත් ගණකාධිකාරිනියක්. අපිට අධ්‍යාපනය තමයි හැම දේ ම වුණේ, නමුත් මේ කොල්ලා පොඩි කාලේ ඉඳන් ම ක්‍රිකට් ගැන පිස්සු වැටිලා හිටියේ.
එයා දවස පුරා ම ක්‍රිකට් සෙල්ලම් කරනවා. අපිට එයාව ක්‍රිකට් ඇකඩමියකට ඇතුළත් කරන්න සිද්ධ වුණා, එතැන ඉඳලා ක්‍රීඩා පිටිය එයා ගෙදර කර ගත්තා. මම එයා ක්‍රිකට් ක්‍රීඩාව තෝර ගත්තා කියලා කවදාවත් පසුතැවිලි වෙන්නේ නැහැ," ප්‍රෆුල්ගේ පියා ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.