ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මට ඔසප් වීම ආරම්භ වුණේ වයස අවුරුදු 6දී - ඒකට හේතුව වෛද්‍යවරුන්වත් දැනගෙන හිටියේ නෑ'
- Author, රෙබෙකා තෝර්න්
- Role, බීබීසී ලෝක සේවයේ ගෝලීය සෞඛ්‍ය අංශය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
වයස අවුරුදු හයේදී, ගැබීගේ ඔසප් වීම ආරම්භ වූ අතර, ශරීරයේ රෝම වර්ධනයක් සිදුවිය.
තම කුළුඳුල් දරුවාට සිදුවූයේ කුමක්දැයි බියට පත්වූ ගැබීගේ මව ඇය වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගියා ය.
"මම අත්විඳිමින් සිටි දේ පිළිබඳ කිසි දිනෙක අසා නොතිබූ නිසා ළමා රෝග විශේෂඥ කණ්ඩායමට ඒ පිළිබඳව පර්යේෂණ කිරීමට සිදුව තිබුණා," එංගලන්තයේ පදිංචි ගැබී බීබීසී ලෝක සේවය වෙත පැවසුවා ය.
"ඒකට ප්‍රතිකාර කරන්නේ කොහොම ද කියලා වැඩිදුර තොරතුරු හොයා ගන්න ඔවුන්ට රට පුරා අනෙකුත් රෝහල් වෙත යන්න සිදුවුණා"
මේ වන විට 26 හැවිරිදි ගැබී අකල් ලිංගික පරිණතවීම (Central Precocious Puberty - CPP) ලෙස හඳුන්වන තත්ත්වයෙන් පෙළුණු බවට හඳුනාගනු ලැබුවා ය. එය ගැහැනු දරුවන්ගේ වයස අවුරුදු 8ට පෙර හෝ පිරිමි දරුවන්ගේ වයස අවුරුදු 9ට පෙර යෞවනභාවය ආරම්භ වන තත්ත්වයකි.
මෙම තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තුවල රටින් රටට විශාල වෙනස්කම් පවතින බව සඳහන් වේ.
මෙම තත්ත්වය ගැහැනු දරුවන් අතර වැඩි වශයෙන් දක්නට ලැබේ. ගෝලීය මට්ටමින් වසරකට වාර්තා වන නව රෝගීන් සංඛ්‍යාව ගැහැනු දරුවන් 10,000කට 0.2 සිට 26 දක්වා ද, පිරිමි දරුවන් 10,000කට 0.02 සිට 0.9 දක්වා ද පරාසයක පවතී.
එමෙන් ම, අකලට වැඩිවියට පත්වීමේ තත්ත්වයට මුහුණ දෙන්නන්ට එහි ක්ෂණික බලපෑම්වලට පමණක් නොව, පසුකාලීනව පිළිකා සහ හෘදවාහිනී ආශ්රිත රෝග වර්ග කිහිපයක් වර්ධනය වීමේ වැඩි අවදානමකට ද මුහුණ දෙති.
'මට ගොඩක් ආගන්තුක බවක් දැනුණා'
ගැබී වැඩිවියට පත්වන විට ඉතාමත් ළාබාල වියේ පසුවූවා ය. එහෙයින් ඇයට ඒ සම්බන්ධ බොහෝ දේ පිළිබඳ මතකයක් නැත. නමුත් ඇයට මතක ඇති අවස්ථා වේදනාකාරී සහ අවුල්සහගත ඒවා ය.
''දැඩි වේදනාවෙන් බිම වැතිරිලා කළලයක් වගේ වකුටු වෙලා හිටිය හැටි මට මතක යි,'' ඇය පවසයි.
වසරකට ආසන්න කාලයක් පුරා විවිධ පරීක්ෂණවලට සහ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීම්වලින් පසුව, ඇයගේ මොළයේ සිදු කළ MRI ස්කෑන් පරීක්ෂාවකින් පවා මෙම තත්ත්වයට හේතු විය හැකි පැහැදිලි අසාමාන්‍යතා කිසිවක් හෙළි නොවී ය. පසුව ගැබී අකල් ලිංගික පරිණතවීමේ රෝගී තත්ත්වයකින් (Central Precocious Puberty - CPP) පෙළෙන බව නිර්ණය කරන ලද අතර, ගොනැඩොට්‍රොපින් නිකුත් කිරීමේ හෝමෝනයේ උත්තේජක (GnRH agonists) ලෙස හඳුන්වන හෝමෝන අවහිරක ඖෂධ ප්‍රතිකාර ආරම්භ කරන ලදී.
"මම ගොඩක් පරීක්ෂණවලට යොමු වුණ නිසාත් මගේ හෝමෝන ක්‍රියාකාරීත්වය නතර කරන්න සෑම සති තුනකට වරක් එන්නත් ලබා ගත් නිසාත් මට හරි ම ආගන්තුක බවක් දැනුණා," ඇය පවසයි.
නිතිපතා GnRH එන්නත් කිරීම වැඩිවිය පැමිණීමේ ප්‍රගතිය තාවකාලිකව අත්හිටුවන අතර, දරුවෙකුට ඔවුන්ගේ වයසට සාමාන්‍ය වේගයකින් වර්ධනය වීමට ඉඩ සලසයි. පසුව ඖෂධ සාමාන්‍යයෙන් අවුරුදු 11ත් 12ත් අතර කුමන අවස්ථාවකදී හෝ නතර කරනු ලබන අතර, වැඩිවිය පැමිණීම සාමාන්‍ය පරිදි ආරම්භ වේ.
ගැබීගේ වර්ධනය නැවැත්වීමට ඖෂධ ඵලදායී වුව ද, ඇය ඒවන විටත් වැඩිවිය පැමිණීමට සම්බන්ධ ශාරීරික වෙනස්කම්වලට භාජනය වෙමින් වසරක කාලයක් ගත කර තිබුණා ය.
"කණ්ණාඩියෙන් බලනකොට මට ඇත්තට ම මම කවුද කියලා තේරුම් ගන්න බැරි වුණා, මොක ද මට මානසිකව දැනෙනවට වඩා මම වයසින් වැඩි යි වගේ පෙනුණා. මම හිතන්නේ මගේ වයසට වඩා මම වඩාත් පරිණත විය යුතුයි කියල මට හිතෙන්න ඒක හේතු වුණා,'' ඇය පවසයි.
අකලට වැඩිවියට පත්වීමට බලපාන හේතු මොනවා ද?
ඊට බලපාන හේතු දෙකක් තිබේ:
- අකල් ලිංගික පරිණතවීම් සිදුවන්නේ හයිපොතලමසයේ මැදිහත්වීමකින් තොරව, ඩිම්බකෝෂ සහ වෘෂණ මගින් ලිංගික හෝමෝන ඉතා ඉක්මනින් මුදා හැරීම ආරම්භ වූ විටය - එය ශරීරයේ හෝමෝන සඳහා පාලන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරන මොළයේ කොටසකි. ඩිම්බකෝෂ හෝ වෘෂණවල ඇති වන ගෙඩි, අධිවෘක්ක ග්‍රන්ථි ආශ්රිත ආබාධ හෝ බාහිර ලිංගික ස්ටෙරොයිඩ්වලට නිරාවරණය වීම වැනි අභ්‍යන්තරික සෞඛ්‍ය ගැටලු මේ සඳහා සාමාන්‍යයෙන් බලපාන හේතු වෙයි.
- අකල් ලිංගික පරිණතවීම් (Central precocious puberty (CPP) යනු ශරීරය ඉක්මනින් වැඩිවියට පත්වීම ආරම්භ කරන නමුත් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදුවේ. එය අකලට වැඩිවියට පත්වීමේ වඩාත් සුලභ ආකාරය වන අතර සාමාන්‍යයෙන් හඳුනාගත හැකි නිශ්චිත හේතුවක් නොමැත.
1998 සිට 2017 දක්වා කාලය අතර උපත ලැබූ ඩෙන්මාර්කයේ ළමුන් 8,596ක් පිළිබඳ 2020 දී සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ සාමාන්‍යයෙන් 10,000කට ගැහැනු ළමයින් 9.2ක් සහ 10,000කට පිරිමි ළමයින් 0.9ක් සෑම වසරක ම අකල් ලිංගික පරිණතවීමේ රෝගයෙන් පෙළෙන බව ය.
එම වසර 20ක කාලය තුළ ගැහැනු ළමුන් අතර මෙම තත්ත්වය ඇති වීමේ අනුපාතය තුන් ගුණයකින් සහ පිරිමි ළමුන් අතර අනුපාතය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ද ඔවුහු සොයා ගත්හ.
කොරියාවේදී, 2008 සහ 2014 අතර ජාතික රක්ෂණ හිමිකම් පිළිබඳ විශ්ලේෂණයකින් ඇස්තමේන්තු කළේ, පිරිමි ළමුන් 10,000 කට 0.7 දෙනෙකුට සාපේක්ෂව ගැහැනු ළමුන් 10,000කට 26.28 දෙනෙකුට එම තත්ත්වය පවතින බව ය.
ගැහැනු ළමුන් අසමානුපාතිකව බලපෑමට ලක්වීමට හේතුව කුමක් ද? යන්න පර්යේෂකයන්ට තවමත් සම්පූර්ණයෙන් වටහා ගත නොහැකි වී ඇති නමුත් ඔවුන් පවසන්නේ, එය පාරිසරික සහ ජෛව විද්‍යාත්මක සාධකවල එකතුවක් විය හැකි බව ය. සාමාන්‍ය ජනගහනය තුළ ගැහැනු ළමුන් අකලට වැඩිවිය පැමිණීම දෙසට සිදුවන පුළුල් වෙනසක් ද මෙයින් පෙන්නුම් කළ හැකි ය.
1977 සහ 2013 අතර කාලය තුළ, ගැහැනු ළමුන්ගේ පියයුරු වර්ධනය ආරම්භ වන සාමාන්‍ය වයස සෑම දශකයකට ම මාස තුනක් පමණ අඩු වී ඇති බව අධ්‍යයන 44කින් සිදු කළ 2025 වසරේ මෙටා-විශ්ලේෂණයක් සොයා ගත්තේ ය.
අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ, පිරිමි ළමුන් ද අකලට ලිංගික පරිණතවීමේ තත්ත්වයට පත්විය හැකි එම වෙනස කැපී පෙනෙන තත්වයක් නොවන බව ය.
බ්‍රසීලයේ සාඕ පවුලෝ විශ්වවිද්‍යාලයේ අන්තරාසර්ග විද්‍යාඥවරියක වන වෛද්‍ය ඇනා පින්හෙයිරෝ මචාඩෝ කැන්ටන් පවසන්නේ, ඇය මෙම තත්ත්වයෙන් පෙළෙන කුඩා දරුවන්ට පවා ප්‍රතිකාර කර ඇති බව ය.
එවැනි අසීරු අවස්ථාවලදී, ඊට බොහෝදුරට ඉඩ ඇති හේතුව වන්නේ හයිපොතලමසයේ ඇති වන තුවාල වේ. මොළයේ ඇති වන ගෙඩි ද මෙලෙස රෝග ලක්ෂණ කලින් මතු වීමට හේතු වන බව සොයාගෙන ඇත.
කැන්ටන් සහ ඇගේ පර්යේෂණ කණ්ඩායම උපකල්පනය කරන්නේ, ආහාර සහ පරිසරය ඇතුළු බාහිර සාධක ඊට බලපාන බව ය.
"ළමුන් තුළ පවතින තරබාරුකමේ ඉහළ අනුපාතය යනු අප ඉතා හොඳින් දැනුවත් විය යුතු සාධකයක්, මන්ද දරුවාට තරබාරුකම ඇති විට, වැඩිවිය පැමිණීම වේගවත් වෙනවා," ඇය පවසයි.
මේද පටක මගින් ඊස්ට්‍රජන් ඇතුළු ලිංගික හෝමෝන මට්ටම් මෙන් ම අස්ථි වර්ධනයට දායක වන ලුප්ටින් නම් හෝමෝනය ද වැඩි කරන බව සොයාගෙන ඇත - පර්යේෂකයන් විශ්වාස කරන්නේ මේවා ඇතැම් දරුවන් තුළ අකලට වැඩිවිය පැමිණීමට හේතු විය හැකි බව යි.
ජාන විද්‍යාවට ද යමක් කළ හැකි ය. 2013 දී අධ්‍යයනයක නිරත වූ කණ්ඩායමේ ප්‍රධානියා වූ මහාචාර්ය ඇනා ක්ලෝඩියා ලැට්රොනික් සහ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් කරන ලද පුරෝගාමී කාර්යයක් මගින් MKRN3 නම් ජානයක විකෘතියක් අකල් ලිංගික පරිණතභාවයට හේතු විය හැකි බව හඳුනා ගැනිණි.
10 හැවිරිදි ලාරා සහ 8 හැවිරිදි බියට්‍රිස් යන සහෝදරියන් දෙදෙනා ම මෙම විකෘතිය දරා සිටින අතර, එය සොයාගනු ලැබුවේ ලාරා කුඩා කල සිට ම පියයුරු වර්ධනයේ සලකුණු පෙන්වීමට පටන් ගත් විට පමණි.
"මේ තත්ත්වයෙන් මම ඇත්තට ම බය වුණා. මොක ද ඇගේ වයස එතකොට අවුරුදු පහකුත් මාස දහයක් පමණයි - මෙවැනි දේකට මුහුණ දෙන්න ඇය ඒ වෙනකොට හරි ම පොඩි වයසක යි හිටියේ," ඇයගේ මව ලේයා බර්නාඩි පවසයි.
ඔවුන්ගේ පියාගේ පාර්ශවයෙන් විකෘතිය සම්ප්‍රේෂණය වී ඇති බව සහ බාල සොහොයුරිය වන බියට්රිස්ට ද අකල් ලිංගික පරිණතවීම වර්ධනය වීමේ නිශ්චිත අවස්ථාවක් තිබුණු බව හඳුනා ගැනීමට ජාන පරීක්ෂණ හරහා, කැන්ටන් සහ ඇගේ කණ්ඩායමට හැකි විය.
එමගින් අදහස් කෙරුණේ, වයස අවුරුදු හතේදී ඇය තුළ ද වර්ධනයේ ලක්ෂණ පෙන්වීම පටන් ගත් විට, වහා ම ප්‍රතිකාර ආරම්භ කිරීමට හැකි බව ය.
"මම ඇත්තට ම කලබල වුණා, මොක ද ඔවුන්ගේ ළමා කාලය ටිකක් අහිමි වුණා වගේ අපට දැනුණා," ලේයා පවසයි.
පිළිකා සහ හෘද නාල රෝග අවදානම් තත්ත්වයන්
මෙම අකලට වැඩිවියට පත්වීමේ තත්ත්වයට ප්‍රතිකාර නොකිරීමෙන් එල්ල වන බලපෑම මානසික හා ශාරීරික වශයෙන් සැලකිය යුතු සෞඛ්‍ය අවදානමක් ඇති කරන බවට කැන්ටන් අනතුරු අඟවයි.
"වයස අවුරුදු හයේදී හෝ හතේදී පියයුරු වර්ධනය ආරම්භ වන දැරියක් ගැන ඔබට සිතාගන්න පුළුවන් නේ - ඇය පාසලේ සිටින තම මිතුරියන්ගෙන් සහ සම වයසේ පසුවන අනෙකුත් ගැහැනු දරුවන්ගෙන් ගොඩක් වෙනස් වෙනවා, ඒක තරමක් අපහසු දෙයක්," ඇය පවසයි.
ජීව විද්‍යාත්මකව, කලින් වැඩිවියට පත්වන දරුවන්ගේ ශරීරයේ උස අඩු මට්ටමක පැවතීමේ ප්‍රවණතාවක් ඇත.
"ලිංගික හෝමෝන අස්ථි පද්ධතියේ පරිණත වීම සඳහා වගකියන නිසා වැඩිවියට පත්වීම කලින් සිදුවුණොත්, අස්ථි පද්ධතියේ පරිණත වීම වේගයෙන් සිදුවන අතර එය කලින් නතර වෙනවා," කැන්ටන් පැහැදිලි කරයි.
විශාල ජනගහන කණ්ඩායම් ආශ්‍රිතව සිදු කළ අධ්‍යයනවලින් ද පෙන්වා දී ඇත්තේ, අකාලයේ වැඩිවියට පත්වීම හෘදවාහිනී රෝග ඇතිවීමේ වැඩි අවදානමක් සහ ලිංගික හෝමෝනවලට සම්බන්ධ පිළිකා වර්ග කිහිපයක් ඇතිවීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වන බව ය. එම පිළිකා අතර පියයුරු පිළිකාව සහ ගර්භාෂ අභ්‍යන්තර පටලයේ (එන්ඩොමීට්රියම්) පිළිකාව ද ඇතුළත් වේ.
නමුත් හැකි ඉක්මනින් සිදු කරන මූලික රෝග විනිශ්චය සහ වෛද්‍ය මැදිහත්වීම මගින් මෙම අවදානම් මර්දනය කළ හැකි බව කැන්ටන් පවසයි.
"අපි අද භාවිත කරන ආකාරයේ ප්‍රතිකාර ක්‍රම පසුගිය දශක තුන හතරක පමණ කාලයක සිට භාවිත කරමින් සිටිනවා, ඒවා ඉහළ ඵලදායීතාවයෙන් යුතු යි," ඇය වැඩිදුරටත් පවසයි.
මුලින් බියට පත්වුව ද, ඔවුන්ගේ දියණියන් සාමාන්‍ය ළමා කාලයක් ගත කරනු දැකීමෙන් දෙමාපියන් වන ලේයා සහ බෲනෝ සහනයක් ලැබූහ.
"ලාරා (වැඩිවියට පත්වීම) ආරම්භ වූ විට, ඇය පුදුම වුණා, ඇයි මේ දේ ඇයට විතරක් සිදුවුණේ කියලා. ඇයි ඇය වෙනස් කියලා? ඇයට මේ ඖෂධ ලබා ගැනීමට සිදුවන්නේ ඇයි? කියලා" ලේයා පවසයි.
ඔවුන් බලාපොරොත්තු වන්නේ, ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමෙන් අනෙකුත් මව්පියන්ට දැනුවත්භාවය ලබාදීමට සහ මුල් අවධියේදී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීමට ඔවුන්ට හැකි වනු ඇති බව ය.
ගැබී ද විවෘතව කතා කිරීමට දැඩි උනන්දුවක් දක්වන අතර, ඒ පිළිබඳව පවතින ලැජ්ජාව අවම කර ගැනීමට අන් අයට උපකාර කිරීම සඳහා ඇයගේ සමාජ මාධ්‍ය වේදිකා භාවිත කරයි.
"මේ ගැන තිබුණු තොරතුරු ඉතාමත් අඩු වීම ගැන මට යම් තරහක් දැනුණා, බොහෝ දෙනෙක් මා සමග සම්බන්ධ වෙමින් අත්දැකීම් බෙදාගත්තට පස්සේ, මමත් මේ අත්දැකීමට මුහුණ දුන් බව ලෝකයට පැවසීම නිවැරදි තීරණයක් බව මට වැටහුණා." ඇය පවසයි.
අතිරේක වාර්තාකරණය: පෝලා ඇඩමෝ ඉඩොඑටා