ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දැන් දෙමාපියන් වන ඔබට නිදා ගැනීමට ඇති කාලය අඩුබවක් දැනෙන්නේ ඇයි?
- Author, ඇමෙන්ඩා රුගේරි
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 13
අතීතයේ දෙමාපියන්ට නින්ද අඩුවීම නිසා ඇති වන වෙහෙස වර්තමානයේ තරම් තදින් නොදැනෙන්නට ඇති අතර, වර්තමානයේ අලුතින් දෙමාපියන් බවට පත්වූවන්ට ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම සම්බන්ධයෙන් දී ඇති උපදෙස් නැවත සලකා බැලීමට සමහර විද්‍යාඥයෝ පෙළඹී සිටිති.
දෙමාපියන් වීම කෙතරම් වෙහෙසකර කාර්යයක් ද? යම් පුද්ගලයෙක් Redditහි දෙමාපියන් සඳහා වූ සංවාද මණ්ඩපයක (forum) මෙම ප්රශ්නය යොමු කළ විට, ඊට 400කට අධික ප්‍රතිචාර සංඛ්‍යාවක් ලැබිණි. "අතිශයින් ම වෙහෙසකර යි. එය අතිශය වෙහෙසකර මෙන් ම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නිරන්තරයෙන් ම පවතින දෙයක්," යනුවෙන් එක් අයෙකු අදහස් දැක්වූ අතර, තවත් සිය ගණනක් පුද්ගලයින් ද එම අදහස තහවුරු කර තිබිණි.
වර්තමානයේ දෙමාපියන් ඉතා දැඩි ලෙස වෙහෙසට පත්වන්නේ ඇයි? යන ප්‍රශ්නයට බොහෝ හේතු තිබේ. ඒ සියල්ල ම නින්ද සමග සම්බන්ධ නොවේ. උදාහරණයක් ලෙස, බොහෝ පවුල් ප්‍රජාවගේ හෝ ඥාතීන්ගේ සහය නොමැතිව තම දරුවන් හදාවඩා ගන්නා අතර, දෙමාපියන්ට බොහෝවිට රැකියාව සහ දරුවන් ඇති දැඩි කිරීම යන වගකීම් දෙක ම එකවර සමතුලිත කිරීමට සිදු වේ.
ඒ සමග ම, දරුවන් ලැබීමෙන් පසු බොහෝ දෙමාපියන්ගේ නින්දේ රටාවන් සැලකිය යුතු ලෙස වෙනස් වන බව සත්‍යයකි. එය රාත්‍රියේ මැදදී බිළිඳාට කිරි දිය යුතු වීම නිසා විය හැකි අතර, නැතහොත් පෙර පාසල් වයසේ දරුවෙකු අලුයම 5.00ට ම අවදි වීමේ පුරුද්දක් තිබීම නිසා විය හැකි ය.
මිනිසුන් ලෝකයේ වාසය කිරීම ඇරඹුණු දා සිට අප දරුවන් ඇති දැඩි කරමින් සිටින බැවින්, දෙමාපියන් ද වසර දහස් ගණනාවක් පුරා නින්ද අහිමි වීමෙන් පීඩා විඳිමින් සිටි බව උපකල්පනය කිරීම ස්වාභාවික ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් අප සතුව ඇති සාක්ෂි අනුව එය බොහෝවිට සත්‍ය නොවන බව පෙනේ. එසේ නම්, අපගේ මුතුන් මිත්තන් වෙනස් ලෙස කළේ කුමක් ද? එමෙන් ම, ඔවුන්ගෙන් අපට ඉගෙන ගත හැකි යමක් තිබේ ද?
දෙමාපියන්ට සැබවින් ම කොපමණ නින්දක් ලැබේ ද?
දෛනික සංවාදවලදී දරුවන් ඇති දැඩි කිරීම සහ නින්ද අහිමි වීම අතර සම්බන්ධයක් ඇතැයි සැලකේ. කෙසේ වෙතත්, දරුවෙකු ලැබීමෙන් පසු දෙමාපියන්ට අහිමි වන නින්දේ ප්‍රමාණය පිළිබඳ සාක්ෂි විවිධ ස්වභාවයක් ගන්නා අතර, ඒවා සංස්කෘතික සාධක මත ද රඳා පවතී.
උදාහරණයක් ලෙස, ජර්මනියේ පළමු වරට මව්වරුන් වූ කාන්තාවන් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ, දරුවා ලැබීමෙන් පසු පළමු මාස තුන තුළ ඔවුන්ට ලැබෙන රාත්‍රී නින්දේ කාලය, ගර්භණීභාවයට පෙර කාලයට සාපේක්ෂව දිනකට සාමාන්‍යයෙන් පැයකින් අඩු වන බව ය. පියවරුන්ගේ නින්දේ කාලය පැයෙන් තුනෙන් එකක ප්‍රමාණයකින් අඩු විය. මාස තුනක් වැනි අවම කාලයක් ගත වීමෙන් පසු නින්දේ කාලය නැවත වැඩි වුව ද, වසර හයකට පසුවත් එම දෙමාපියන් කිසිවෙකුටත් ගර්භණීභාවයට පෙර තිබූ නින්දේ කාලය නැවත සම්පූර්ණයෙන් ම ලබා ගැනීමට නොහැකි විය.
කෙසේ වෙතත්, දරු ප්‍රසූතියෙන් පසු කාලපරිච්ඡේදයට පසුව දෙමාපියන් සහ දෙමාපියන් නොවන අය අතර පවතින සමස්ත වෙනස ඔබ සිතන තරම් විශාල නොවේ. පුද්ගලයින් 40,000කට ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන සිදු කළ ජර්මානු අධ්‍යයනයකින් සාමාන්‍ය වශයෙන් හෙළි වූයේ, වයස අවුරුදු හයකට අඩු අවම වශයෙන් එක් දරුවෙකුවත් සිටින දෙමාපියන් රාත්‍රියකට පැය හතක් පමණ නින්දක් ලබන බව ය. දෙමාපියන් නොවන කාන්තාවන් ඊට වඩා මිනිත්තු 10ක අමතර නින්දක් ද, පිරිමින් මිනිත්තු 14ක අමතර නින්දක් ද ලබා ගෙන තිබිණි.
ඒ අතරතුර, 2024 වසරේ එක්සත් ජනපදයේ සිදු කළ සමීක්ෂණයක දත්ත අනුව, වයස අවුරුදු හයට අඩු දරුවන් සිටින දෙමාපියන් සාමාන්‍යයෙන් එක් රාත්‍රියකට පැය 8ත් 9ත් අතර කාලයක් ඇඳ මත ගත කරන බව හෙළි වී ඇත. මෙය නිර්දේශිත නින්දේ පරාසයට ඇතුළත් වේ. එලෙස ම, දරුවෙකු උපත ලැබූ පසු මාස 36ක් පුරා යුවළ 400කට අධික සංඛ්‍යාවක් ආශ්‍රිතව කළ ප්‍රංශ අධ්‍යයනයකින් හෙළි වූයේ, මව්වරුන් සහ පියවරුන් දෙපාර්ශවය ම සෑම මිනුම් අවස්ථාවකදී ම සාමාන්‍යයෙන් පැය අටක් හෝ ඊට වැඩි නින්දක් ලබා ගත් බව ය. (කෙසේ වෙතත්, ඇතැම් පුද්ගලයන් රාත්‍රියකට පැය 4.25ක් පමණක් නිදාගෙන තිබූ අතර, තවත් සමහරුන් පැය 12ක් දක්වා නිදාගෙන තිබිණි.)
ඇත්ත වශයෙන් ම, මේවා බොහෝදුරට පුද්ගලයන් විසින් ම වාර්තා කරන ලද දත්ත බැවින්, ඔවුන්ට තම නින්දේ කාලසීමාව පිළිබඳව අධිතක්සේරුවක් හෝ අවම තක්සේරුවක් පැවතිය හැකි ය; උදාහරණයක් ලෙස, නින්දට වැටුණු වේලාව වෙනුවට ඇඳට ගිය වේලාවේ සිට කාලය ගණනය කිරීම වැනි දේ ඊට ඇතුළත් විය හැකි ය.
නමුත් සමස්තයක් ලෙස බැලූ විට මෙයින් පෙනී යන්නේ, බොහෝ දෙමාපියන්ට සාපේක්ෂව හොඳ ප්‍රමාණයේ නින්දක් ලැබෙන බව ය, එසේ වුව ද එහි විශාල වෙනස්කම් පවතී. එසේ ම, පර්යේෂකයන් වර්තමානයේ දඩයම් හා ආහාර රැස් කිරීමේ ජීවන රටාව අනුගමනය කරන සමාජවල නින්දේ රටා අධ්‍යයනය කරන විට, අපගේ මුතුන් මිත්තන් කෙසේ ජීවත් වූවා ද යන්න තේරුම් ගැනීමට බොහෝවිට එය ප්‍රයෝජනවත් වන අතර, එහි ප්‍රතිඵල ද බොහෝදුරට වෙනස් නොවේ. උදාහරණයක් ලෙස, දඩයම් කරමින් හා ආහාර එකතු කරමින් ජීවත් වන සමාජ තුනක් පිළිබඳ කළ එක් විශ්ලේෂණයකින් අනාවරණය වූයේ, වැඩිහිටියන් (දෙමාපියන් ද ඇතුළුව) සෑම රාත්‍රියක ම පැය 6.9 සිට 8.5 දක්වා කාලයක් ඇඳේ ගත කළ බව ය. කෙසේ වෙතත්, ඔවුන් නිතර අවදි වූ බැවින්, ඔවුන් සැබවින් ම නිදාගත් සාමාන්‍ය කාලය රාත්‍රියකට පැය 5.7 සිට 7.1 අතර වූ බව ද එම අධ්‍යයනයෙන් හෙළි විය.
කෙසේ වෙතත්, තීරණාත්මක ලෙස, කාර්මික සමාජවල නූතන දෙමව්පියන් නිරන්තරයෙන් වාර්තා කරන්නේ, ආහාර සොයන සමාජවල දෙමාපියන්ට වඩා බොහෝ වෙහෙසකර බවක් සහ වෙහෙසක් දැනෙන බව ය. විද්‍යාඥයින් එය එසේ වන්නේ මන්ද යන අබිරහස විසඳීමට උත්සහ දරා ඇත.
කෙසේ වෙතත්, තීරණාත්මක ලෙස, කාර්මික සමාජවල නූතන දෙමව්පියන් නිරන්තරයෙන් වාර්තා කරන්නේ ආහාර සොයන සමාජවල දෙමාපියන්ට වඩා බොහෝ වෙහෙසකර බවක් සහ වෙහෙසක් දැනෙන බවයි. විද්‍යාඥයින් එය එසේ වන්නේ මන්ද යන අබිරහස විසඳීමට උත්සාහ කර ඇත.
නින්ද පිළිබඳ අවබෝධය
ආහාර සපයා ගැනීම මත ජීවත් වන (foraging) සමාජවල, දෙමාපියන් වන බොහෝ දෙනෙකු ඇතුළුව, සෑම වැඩිහිටියෙකු ම පාහේ තම නින්ද පිළිබඳව බෙහෙවින් සෑහීමකට පත්ව සිටින බව පවසන්නේ යැයි, ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ Sleep and Human Evolution Lab හි අධ්යක්ෂ සහ The Sleepless Ape: The Strange and Unexpected Story of How Social Sleep Made Us Human කෘතියේ කර්තෘ වන පරිණාමීය මානව විද්‍යාඥ ඩේවිඩ් සැම්සන් සඳහන් කරයි.
සැම්සන්, උතුරු ටැන්සානියාවේ ජීවත් වන ආහාර සපයා ගැනීම මත යැපෙන හඩ්සා (Hadza) ජන සමාජය සමග මාස තුනක් ගත කරමින් ඔවුන්ගේ නින්දේ රටා අධ්‍යයනය කළේ ය. "ඔබ හඩ්සා ජනතාවගෙන් 'ඔබේ නින්ද හොඳ ද? නරක ද?' කියා ඇසුවොත්, ඔවුන් 'එය හොඳයි' කියා පිළිතුරු දෙනවා," ඔහු පවසයි.
ඊට ප්රතිවිරුද්ධව, නවීන කාර්මික සමාජවල ජීවත් වන දෙමාපියන්ගෙන් ඔවුන්ගේ නින්දේ ගුණාත්මකභාවය ගැන විමසූ විට, ඔවුන් සාමාන්‍යයෙන් එයට ලබා දෙන්නේ අඩු අගැයීමකි. උදාහරණයක් ලෙස, ජර්මනියේ සිදු කළ අධ්‍යයනයකදී, මව්වරුන් තම නින්ද පිළිබඳ තෘප්තිය 0 සිට 10 දක්වා පරිමාණයක 6.57ක් ලෙස අගැයූ අතර, පියවරුන් එය 7.03ක් ලෙස අගැයූහ. ප්‍රංශයේ සිදු කළ අධ්‍යයනයකදී, මාස තුනක් වයසැති ළදරුවන්ගේ මව්වරුන්ගෙන් හතරෙන් තුනකට ආසන්න පිරිසක් තමන්ට ප්‍රමාණවත් නින්දක් නොලැබුණු බවට විශ්වාස කරන බව ප්‍රකාශ කළහ.
නූතන දෙමාපියන් රාත්‍රියේ වැඩි වාර ගණනක් අවදි වන නිසා මෙය සිදුවන බවක් පිළිගත නොහැක. මන්ද, සැම්සන් සහ අනෙකුත් පර්යේෂකයන්ගේ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ, දඩයම් කරමින් සහ ආහාර එකතු කරමින් ජීවත් වන සමාජවල මිනිසුන් නූතන සමාජයේ මිනිසුන්ට වඩා රාත්‍රී කාලයේ නිතර අවදි වන බව ය.
මෙයට එක් හේතුවක් විය හැක්කේ, "අඛණ්ඩ නින්ද" (consolidated sleep) යන ඉලක්කය කෙරෙහි අප අවධානය යොමු කිරීමට පටන් ගත්තේ කාර්මික විප්ලවයෙන් පසුව පමණක් වීම බව ය. එසේ පවසන්නේ එක්සත් රාජධානියේ Durham Infancy and Sleep Centre හි අධ්‍යක්ෂවරිය සහ How Babies Sleep: A Factful Guide to the First 365 Days and Nights කෘතියේ කර්තෘවරිය වන හෙලන් බෝල් ය.
තව ද, මෙම සංකල්පය ලොව පුරා සෑම සමාජයක ම එක හා සමානව පිළිගත් අදහසක් නොවේ. මෑතකදී ඇය මෙක්සිකෝවේ ග්‍රාමීය ගම්මාන දෙකක සහ මෙක්සිකෝ නගර වැසියන් පිරිසකගේ නින්ද සංසන්දනය කළ පර්යේෂණ ව්‍යාපෘතියක් මෙහෙයවූවා ය. ඇය පවසන්නේ, ග්‍රාමීය ගම්මානවල "ගැඹුරු හා අඛණ්ඩ ලෙස නිදාගැනීම" පිළිබඳ මෙම අදහස එතරම් හුරුපුරුදු එකක් නොවන බව ය.
"එය හුරුපුරුදු සංකල්පයක් ලෙස දක්නට ලැබුණේ මෙක්සිකෝ නගරයේ විතර යි," යැයි ඇය සඳහන් කරයි.
අපගේ පුරාණ මුතුන් මිත්තන්ට එක් දිගු කාල පරාසයක් තුළ ගැඹුරු නින්දක් ලබා ගැනීමේ ප්‍රායෝගික අවශ්‍යතාව, වර්තමානයේ අපට ඇති අවශ්‍යතාව තරම් ප්‍රබල නොවූවා විය හැකි ය.
"ඔවුන්ට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා හෝ පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා සේවය කිරීමට සිදු වන රැකියා තිබුණේ නැහැ. එවැනි නිශ්චිත කාලයක් යෙදී ඇති රැකියාවලදී ඊළඟ දිනයේ නිසි ලෙස හා ආරක්ෂිතව කටයුතු කිරීම සඳහා රාත්‍රියේ නියමිත ප්‍රමාණයක නින්දක් ලබා ගැනීමේ පීඩනයක් තිබෙනවා," යැයි බෝල් පවසයි.
"ඔවුන් මෝටර් රථ ධාවනය කළේ නැහැ. බර යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කළේත් නැහැ. අපට වැදගත් වන එවැනි කරුණු ඔවුන්ගේ ජීවිතවලදී ගැටලු හෝ අවශ්‍යතා ලෙස කිසිසේත් ම තිබුණේ නැහැ."
නින්දට අවශ්‍ය පරිසරය
නමුත් අතීතයේ ජීවත් වූ දෙමාපියන් නින්දට ප්‍රවේශ වූ ආකාරය, වර්තමානයේ අප බොහෝ දෙනා අනුගමනය කරන ආකාරයට වඩා වෙනස් වූ තවත් එක් පැත්තක් තිබේ.
සැම්සන් හඩ්සා අධ්‍යයනයේ නිරත වූ සමයේ ජනතාව සමග ජීවත් වූ කාලයේදී, ළදරුවන් තමන් රැකබලා ගන්නන්ගෙන් වෙන්ව නිදාගැනීමට උනන්දු කිරීම වැනි එක්සත් ජනපදයේ සාමාන්‍ය දෙමාපිය භාවිතයන් පිළිබඳව ඔවුන්ට විස්තර කළේ ය.
"ඔවුන් මං දිහා බැලුවේ මම පිස්සෙක් වගේ," යැයි සැම්සන් පවසයි. "ඔවුන් නැවත නැවතත් 'ඇයි? ඇයි? ඇයි?' කියා අසන ලදී. ... ඒ ප්රශ්නය අහගෙන ඉන්නත් මට ටිකක් අපහසු හැඟීමක් ඇති වුණා."
හඩ්සා ජන සමාජයේ මව්වරු, ලෝකයේ බොහෝ අනෙකුත් සංස්කෘතික සමාජවල මෙන් ම, මෙතෙක් අධ්‍යයනය කර ඇති දඩයම් කරමින් හා ආහාර එකතු කරමින් ජීවත් වන සමාජ සියල්ලට ම පාහේ සමානව, තම ළදරුවන් සමග එකට නිදා ගනිමින් රාත්‍රිය පුරා මව්කිරි ලබා දෙති. මෙම පුරුද්දට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා ප්‍රාන්තයේ නොට්‍ර දාම් (University of Notre Dame) විශ්වවිද්‍යාලයේ Mother-Baby Behavioral Sleep Laboratory හි නිර්මාතෘ සහ අධ්යක්ෂ මානව විද්‍යාඥ ජේම්ස් මැකෙනා (James McKenna) "breastsleeping" (මව්කිරි දීම සහ ළදරුවා සමග එකට නිදාගැනීම) යන නාමය ලබා දී ඇත.
"ඇත්ත වශයෙන් ම, ළදරුවාගේ නින්ද, මවගේ නින්ද, මව්කිරි දීම හෝ මව්කිරි නොදීම වැනි දේවල් වෙන් වෙන්ව පවතින කාරණා ලෙස සැලකිය නොහැකි," බව මැකෙනා පවසයි. "මේ සියල්ල එකිනෙකට ඉතා සමීපව බැඳී හා ඒකාබද්ධව ක්‍රියා කරනවා. එහෙම කරද්දි මවගේ ශරීරය ම ළදරුවා ජීවත්වන පරිසරය බවට පත්වෙනවා."
මවක සහ ළදරුවෙකු එකට නිදාගැනීම මවගේ නින්දට කෙසේ බලපානවා ද? යන්න පිළිබඳ පර්යේෂණවල ප්‍රතිඵල එකිනෙකට වෙනස් වේ. කෙසේ වෙතත්, ඇතැම් අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ එය නව දෙමාපියන්ට තමන් ප්‍රමාණවත් ලෙස විවේක ගත් බව දැනෙන ආකාරයට බලපෑමක් ඇති කළ හැකි බව ය.
එක් අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ, ළදරුවා සමග එක ම ඇඳේ නිදාගන්නා මව්වරුන් සහ එසේ නොකරන මව්වරුන් අතර සැබෑ නින්දේ කාලය සාමාන්‍යයෙන් විශාල ලෙස වෙනස් නොවන බව ය. ළදරුවා සමග ඇඳ බෙදාගන්නා මව්වරුන් රාත්රියේදී ටිකක් වැඩිපුර අවදි වුව ද, ඔවුන් නැවත ඉක්මනින් නින්දට වැටෙන බව පෙනී යයි. එහිදී, දෙපාර්ශවයේ මව්වරුන්ට දැනෙන වෙනසට බලපාන්නේ, මානසික ආකල්ප සහ නින්ද පිළිබඳ ඔවුන්ගේ හැඟීම් ය.
"මව්වරුන් රාත්රියේදී තම ළදරුවාට කොපමණ වාර ගණනක් කිරි දෙනවා ද?, නැතහොත් කොපමණ වාර ගණනක් දරුවා ගැන සොයා බලනවා ද? කියන කාරණා ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ," යැයි බෝල් පවසයි. මව්කිරි දීමේදී ඔවුන් සම්පූර්ණයෙන් ම අවදි නොවී සිටිය හැකි අතර, එසේත් නැතහොත්, රාත්‍රියේ අවදි වූ අවස්ථා පසුව ඔවුන්ට අමතක වීමට ද හැකි ය. පසුදා ඔවුන්ට වඩාත් ප්‍රබෝධවත් හා හොඳින් විවේක ගත් හැඟීමක් ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව මෙය විය හැකි බව ඇය පෙන්වා දෙයි.
මෙය, නින්ද පිළිබඳ අපගේ ආකල්ප සහ විශ්වාසයන් අපගේ ශක්ති මට්ටම්වලට බලපෑම් කළ හැකි බව පෙන්වන පර්යේෂණ සමග ද අනුකූල වේ. නින්ද ගැන ඉතා දැඩි අපේක්ෂාවන් නොතබා ගැනීමෙන්, රාත්රියේදී වඩාත් පහසුවෙන් විවේක ගැනීමටත්, පෙර රාත්‍රියේ නින්දේ ගුණාත්මකභාවය කුමක් වුවත් දිවා කාලයේදී අඩු වෙහෙසක් දැනීමටත් හැකියාව ලැබෙනු ඇක.
දරුවා සමග එක ම ඇඳේ නිදා ගනිමින් මව්කිරි දෙන මව්වරුන්ගේ නින්ද වඩාත් හොඳ බව දැනෙන්නට එක් හේතුවක් විය හැක්කේ, මව්කිරි දීමේදී ඉහළ යන ප්‍රෝලැක්ටින් හෝමෝනය යි. මෙම හෝමෝනය මව්වරුන්ට වැඩි නින්දක් දැනීමට උපකාරී වේ. පර්යේෂණවලින් ද මේ බවට සාක්ෂි ලැබී ඇත. මව්වරුන් 133 දෙනෙකු ඇතුළත් එක් අධ්‍යයනයකට අනුව, මව්කිරි දෙන දෙමාපියන් කෘත්‍රිම කිරි භාවිත කරන දෙමාපියන්ට වඩා මිනිත්තු 40-45ක් පමණ වැඩිපුර නිදාගෙන තිබිණි. තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ, ප්‍රසූතියෙන් මාසයකට පසු දරුවාට පමණක් මව්කිරි ලබා දුන් මව්වරුන් සෑම රාත්‍රියක ම මිනිත්තු 30ක් පමණ වැඩිපුර නින්දක් ලබාගෙන තිබූ බව ය.
සැම්සන්ට නම් මේ ක්රමයේ ප්රතිලාභ ගැන කිසිදු සැකයක් නැත. ඔහු සහ ඔහුගේ බිරිඳ තම දියණියගේ ජීවිතයේ මුල් මාස තුන තුළ අවශ්‍ය තරම් නින්දක් ලබා ගැනීමට දැඩි ලෙස උත්සහ කළහ. පසුව, ඔවුහු හඩ්සා (Hadza) ජනතාව අතර දැක තිබූ ආකාරයට ම, එක ම ඇඳේ නිදා ගනිමින් මව්කිරි දීමේ ක්‍රමය අනුගමනය කළහ. එසේ කරන විට, ඇඳ බෙදාගෙන නිදා ගැනීම හැකි තරම් ආරක්ෂිතව සිදු කළ යුතු ආකාරය පිළිබඳ මහජන සෞඛ්‍ය උපදෙස් ද ඔවුහු පිළිපැද්දහ. "අපේ මුළු ජීවිතය ම වෙනස් වුණා," යැයි සැම්සන් පවසයි. "ඇයට නැගිට ඉඳගන්නවත්, සම්පූර්ණයෙන් ම අවදි වෙන්නවත් අවශ්‍ය වුණේ නැහැ. 'දැන් බබා කිරි බොනවා' කියලා හුදෙක් දැනෙනවා විතර යි. ඊළඟ මොහොතේ නැවත නින්දට. ඒක හැම දෙයක් ම වෙනස් කළා."
සියලු ම අධ්‍යයනවලින් තම ළදරුවාට ආසන්නව නිදාගැනීම දෙමාපියෙකුගේ නින්ද වැඩි දියුණු කරන බව අනාවරණය වී නොමැත. උදාහරණයක් ලෙස, ළදරුවාගේ ජීවිතයේ පළමු වසර පුරා පවුල් 139ක් අනුගමනය කළ එක් අධ්‍යයනයකින්, තම ළදරුවා සමග එක ම කාමරයේ හෝ එක ම ඇඳේ නිදාගත් මව්වරුන්ගේ නින්ද, එසේ නොකළ මවුවරුන්ට වඩා වැඩි වශයෙන් බාධා වූ බව සොයාගෙන ඇත. කෙසේ වෙතත්, ඔවුන්ගේ ළදරුවන් වැඩිපුර අවදි වූ බවක් දක්නට ලැබුණේ නැත. (ඇත්ත වශයෙන් ම, හේතුව සහ ප්‍රතිඵලය වෙන්කර හඳුනාගැනීම අපහසු ය. එනම්, වැඩි අවධානයෙන් හෝ කනස්සල්ලෙන් පසුවන මවුවරුන්, ඔවුන් ම වැඩි වාර ගණනක් අවදි විය හැකි අතර, තම ළදරුවන්ව වෙන ම නිදා ගැන්වීමට වඩා ඔවුන් අසල ම තබාගෙන නිදා ගැනීමට වැඩි කැමැත්තක් දැක්විය හැක.)
අවධානයෙන් සිටීම නින්දේ ගුණාත්මකභාවයට බලපායි
මව්වරුන් අවදිව සිටින කාලයේ ගුණාත්මකභාවය සහ එම අවස්ථාවලදී ඔවුන් කොතරම් අවධානයෙන් සිටිනවා ද යන්නත් මෙහිදී වැදගත් භූමිකාවක් ඉටු කරන බව පෙනේ. උදාහරණයක් ලෙස, ළදරුවා වෙන ම කාමරයක නොතැබුවත් අවම වශයෙන් තොටිල්ලක නිදි කළ යුතු ය යන පොදු උපදෙස් සලකා බලන්න. එමෙන් ම, ළදරුවාට කිරි දෙන විට හෝ නැවත නිදි කරවීමේදී, දුරකතනයක් පිරික්සීමට වුව ද අවශ්‍ය වුවහොත්, සම්පූර්ණයෙන් ම අවධානයෙන් හා අවදිව සිටිය යුතුය යන උපදෙස ද ඇත. තව ද, ළදරුවා අවදි වන හා කිරි බොන වේලාවන් සටහන් කර තබා ගැනීම ද සාමාන්‍යයෙන් නිර්දේශ කරයි. නමුත් අපගේ දඩයම්කරුවන් සහ මුතුන්මිත්තන් මෙවැනි කිසිවක් කර නොතිබූ බව ද පැහැදිලි ය.
"මෙම සියලු උත්තේජක අපගේ ශරීරය සම්පූර්ණයෙන් ම ප්‍රබෝධවත් කිරීමට සංඥා ලබා දෙනවා," ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන පැමෙලා ඩග්ලස් පවසයි.
ඇත්ත වශයෙන් ම, මෙම ක්රමෝපායන්ගෙන් සමහරක් සඳහා අරමුණ වන්නේ එය යි. සෝෆාවක් හෝ ඇඳිපුටුවක් වැනි, ළදරුවා සමග එකට නිදාගැනීම සඳහා සකස් කර නොමැති ස්ථානයක ළදරුවෙකු සමග නින්දට වැටීමෙන්, හදිසි ළදරු මරණ සිදුවීමේ අවදානම 67 ගුණයකින් දක්වා ඉහළ යා හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඇතැම් සෞඛ්‍ය වෘත්තීයවේදීහු දෙමාපියන්ට රාත්‍රී කිරි දෙන අවස්ථාවලදී සම්පූර්ණයෙන් අවදිව සිටීමට අවශ්‍ය සියලු පියවර ගත යුතු බවට උපදෙස් දෙති.
මෙහි එක් අවාසියක් නම්, ඇත්ත වශයෙන් ම, මෙය සෑම විට ම සාර්ථක නොවීම ය. එවැනි අවස්ථාවලදී දෙමාපියන් ඇතැම් විට අනාරක්ෂිත ස්ථානවල ම නින්දට වැටිය හැකි ය. තවත් අවාසියක් වන්නේ, ළදරුවාගේ අවශ්‍යතා සපුරාලීමෙන් පසුව දෙමාපියන්ට නැවත නින්දට යාම වඩාත් අපහසු විය හැකි වීම ය. පර්යේෂකයන්ගේ මතය අනුව, අවසානයේදී මෙය ඔවුන්ගේ නින්දේ ගුණාත්මකභාවයට ද අහිතකර ලෙස බලපායි.
දෙමාපියන්ගේ නින්දේ ගුණාත්මකභාවය පිළිබඳ වැඩිවෙමින් පවතින පර්යේෂණ සාක්ෂි ද සැලකිල්ලට ගනිමින්, දෙමාපියන් හා දරුවන් යන දෙපාර්ශ්වයේ ම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පැමෙලා ඩග්ලස්, "Possums" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන නින්ද සම්බන්ධ මැදිහත්වීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. ඇයගේ කාර්යය, සිහිකල්පනාව (mindfulness) සහ විවේකය (relaxation) ප්‍රවර්ධනය කරන ක්‍රමවේදයන් නිර්දේශ කිරීමට අමතරව, දෙමාපියන් ළදරුවා අවදි වූ වාර ගණන හෝ කිරි දෙන වාර ගණන වාර්තා කරමින් නිරන්තරයෙන් නිරීක්ෂණය නොකළ යුතු බව ද යෝජනා කරයි. එසේ ම, ළදරුවන්ට කිරි බොමින් නින්දට යාමට ("feed to sleep") ඉඩ ලබා දිය යුතු බව ද ඇයගේ ප්රවේශයේ සඳහන් වේ.
නින්ද අහිමි වීම
මිනිසුන් සම්බන්ධයෙන් කැපී පෙනෙන පරස්පර විරෝධී තත්ත්වයක් දක්නට ලැබේ. වෙනත් බොහෝ සත්ව විශේෂවලට සාපේක්ෂව, අපගේ ළදරුවන් උපත ලබන්නේ ඉතා අඩු මට්ටමේ පරිණතභාවයකින් යුතුව වන අතර, ඔවුන්ට රැකබලා ගන්නන්ගෙන් විශාල සැලකිල්ලක් හා සහයක් අවශ්‍ය වේ යැයි අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්යවරියක මෙන් ම පරිණාමීය දෙමාපියත්වය පිළිබඳ පොත් කිහිපයක කතුවරියක වන සාරා බ්ලැෆර් හර්ඩි පවසයි. එහෙත්, අපගේ මුතුන් මිත්තන් දස දහස් ගණනක් වසර පුරා ජීවත් වී දිවි ගලවාගත් දඩයම්කරුවන් සහ ආහාර එක්රැස්කරුවන්ගේ පරිසරය ඉතා දුෂ්කර එකක් විය. එම පරිසරය තුළ මිනිසුන්ට ආහාර සොයා ගැනීම සහ ලබා ගැනීම සඳහා පමණක් විශාල කාලයක් හා ශක්තියක් (කැලරි ප්‍රමාණයක්) වැය කිරීමට සිදුවිය.
කෙසේ වෙතත්, අද තත්ත්වයට වඩා වෙනස් ලෙස, ඔවුන්ට උදව් කිරීමට බොහෝ දෙනෙක් සිටියහ. එම සහයෝගය නිසා සෑම දරුවෙකුට ම අවශ්‍ය කාලය, අවධානය සහ සම්පත් ලබාදීමට ඔවුන්ට හැකි වූ අතර, ජනගහනය පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් දරුවන් සංඛ්‍යාවක් ඇති කිරීමට ද අවස්ථාව ලැබිණි.
මෙම "විකල්ප දෙමාපියන්" (alloparents) අතරට අනෙකුත් ඥාතීන් - විශේෂයෙන් ම මිත්තණියන් සහ වැඩිමහල් සහෝදර සහෝදරියන් - මෙන් ම, බොහෝවිට ඊට වඩා දූරස්ථ ඥාතිත්වයක් ඇති භාරකරුවෝ ද ඇතුළත් වූහ.
උදාහරණයක් ලෙස, මධ්‍යම අප්‍රිකාවේ ජීවත් වන එෆේ (Efé) ජන කණ්ඩායම අධ්‍යයනය කළ මානව විද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ, සති 18ක් වයසැති ළදරුවන් තම කාලයෙන් 60%ක් ම තම මව හැර වෙනත් අයෙකුගේ රැකවරණය යටතේ ගත කරන බව ය. තව ද, මෙම ළදරුවන් බොහෝවිට තම මව නොවන වෙනත් කාන්තාවක විසින් ද මව්කිරි දෙනු ලබයි.
බොහෝ කාර්මිකකරණය වූ සමාජවල මෙම රටාව අද වන විට බොහෝදුරට අතුරුදන් වී ඇත. එයට සමීපතම විකල්පය ලෙස සැලකෙන ගෙවීම් කර ලබා ගන්නා ළමා රැකවරණ සේවා ද, තමන්ට ම ආවේණික ආතතිසහගත තත්ත්වයන් ඇති කළ හැකි ය. ඒ අතරින් මූල්‍ය බර විශේෂයෙන් කැපී පෙනෙයි.
වර්තමානයේ බොහෝ පවුල්වලට "ද්විත්ව සේවා මුර" (double shift) ලෙස හැඳින්විය හැකි වගකීම් දෙකක් එකවර ඉටු කිරීමට සිදුවේ. එනම්, දරුවන් රැකබලා ගැනීමත්, නිවසින් පිටත රැකියාවක් කිරීමත් ය.
එක්සත් ජනපදයේ අද දරුවන් සිටින පවුල්වලින් දහයෙන් පහකට වඩා වැඩි පිරිසක් දෙදෙනාම ආදායම් උපයන (dual-income) පවුල් වන අතර, යුරෝපා සංගමයේ එම ප්‍රමාණය දහයෙන් හයකට වඩා වැඩි ය.
එමෙන් ම, ස්ත්‍රී-පුරුෂ අසමානතා තවමත් පවතින අතර, දරුවන් රැකබලා ගැනීමේ සහ ගෘහ කාර්යයන්හි වැඩි කොටස සාමාන්‍යයෙන් තවමත් කාන්තාවන් මත පැවරී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, විශේෂයෙන් ම මව්වරුන් වඩාත් වෙහෙසට හා තෙහෙට්ටුවට පත්වන බව පෙනී යයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, අද දෙමාපියන්ට මෙතරම් අධික ලෙස පීඩාවට පත්වූවාක් මෙන් සහ නින්ද නොලැබීමෙන් වෙහෙසට පත්වූවාක් මෙන් දැනෙන්නේ, නින්ද නොලැබීමම පමණක් නිසා නොව, නින්ද හා ජීවන රටාවේ සිදුව ඇති වෙනස්කම් නිසා විය හැකි බව පෙනේ.
අනෙක් වචනවලින් කිවහොත්, ගැටලුවේ මූලික හේතුව සරලව නින්දේ පැය ගණන අඩුවීම නොව, නූතන දෙමාපියන්ට මුහුණ දීමට සිදුවන වැඩි වගකීම්, සීමිත සහය පද්ධති, රැකියාව සහ දරුවන් රැකබලා ගැනීම එකවර කළමනාකරණය කිරීම, සහ දෛනික ජීවිතයේ පීඩන විය හැකි ය.
කෙසේ වෙතත්, ඇතැම් විශේෂඥයන් තර්ක කරන්නේ, මානව විශේෂය දිවි ගලවා ගැනීම සඳහා සිදුවූ පරිණාමීය හුවමාරුවක (evolutionary trade-off) ප්‍රතිඵලයක් ලෙස, මුල් දෙමාපිය අවධියේදී ඇති වන නින්ද අහිමි වීමේ පීඩනය දරා ගැනීමට මිනිසුන් ස්වභාවිකව ම අනුවර්තනය වී ඇති බව ය. එනම්, එවැනි නින්ද අඩුවීම්වලට ඔරොත්තු දීමේ හැකියාවක් අප තුළ පරිණාමීය වශයෙන් වර්ධනය වී ඇති බව ඔවුන්ගේ අදහස යි.
එහෙත්, එම ඔරොත්තු දීමේ හැකියාව පවත්වාගෙන යාම වඩාත් අපහසු කර ඇත්තේ, අප වටා ඇති නූතන සමාජ හා සංස්කෘතික පරිසරය බව ද ඔවුහු පෙන්වා දෙති. අතීතයේ පැවති පුළුල් පවුල් සහයෝගය, ප්‍රජා මට්ටමේ දරුවන් රැකබලා ගැනීමේ ක්‍රම සහ වගකීම් බෙදාගැනීමේ සංස්කෘතිය අඩුවීමත් සමඟ, අද දෙමාපියන්ට නින්ද අහිමි වීමේ බලපෑම් තනිවම දරාගැනීමට සිදුවී ඇත.
"අප පරිණාමය වී ඇත්තේ වෙනස් වන තත්ත්වයන්ට අනුගත වීමටත්, නම්යශීලීවීමටත්, අර්බුද කළමනාකරණය කිරීමටත්, විවිධ ජීවන රටාවන්ට අනුව කටයුතු කිරීමටත් හැකි වන ආකාරයට යි," යනුවෙන් ඩේවිඩ් සැම්සන් පවසයි. "ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම අතිශය වැදගත් වේ. එවිට ඔබ 'දීර්ඝායුෂ' අත් කරගැනීම පිළිබඳ අවධානය වෙනුවට, ඔබ ඉදිරියේ ඇති අතිශය තීරණාත්මක කාර්යයක් වෙත ඔබේ අවධානය යොමු කරයි. ප්‍රජනනය යනු එවැනි එක් වැදගත් කාර්යයක් බව මම විශ්වාස කරමි."
එසේනම්, ජීවිතයේ නින්ද අහිමි වීම දරා ගැනීමට සිදුවන අවස්ථා තිබේ ද?
"පරිණාමීය මානව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බැලුවොත්, ඒ සඳහා පිළිතුර නිසැකව ම 'ඔව්' කියන එක යි," ඩේවිඩ් සැම්සන් පවසයි.