කොළඹ සහ ගම්පහ පැය ගණනක් වතුර කැපීමට හේතුවූ රසායනික ද්‍රව්‍ය කාන්දුව ගැන මේ තොරතුරු දැන සිටියා ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

පානීය ජලය සඳහා පිරිපහදු කිරීමට ගන්නා කැලණි ගඟෙහි ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව මතු වූ සැකයක් හේතුවෙන් සඳුදා (අගෝ: 24) රාත්‍රියේ සිට කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබිණි.

කෙසේ වෙතත්, පසුව ඒ සම්බන්ධව කරන ලද පරීක්ෂණවලින් අනතුරුව ජලයේ ගුණාත්මකභාවය තහවුරු කර ගැනීමෙන් පසුව ජල සැපයුම යථා තත්ත්වයට පත් කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර ප්‍රකාශ කළේ ය.

රසායනික ද්‍රව්‍යයක්

අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවූයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් ජලයට මුසුව ඇති බවට ඇති වූ සැකය හේතුවෙන් බව ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ ය.

එසේ ඇති වූ සැකය හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය උදෙසා වහා ම අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාර තාවකාලිකව ක්‍රියා විරහිත කිරීමට පියවර ගත් බව සභාපතිවරයා සඳහන් කළේ ය.

"ඊයේ රාත්‍රී 11.30ට පමණ අපිට දැන ගැනීමට ලැබුණා, අපගේ ප්‍රධාන ජලපවිත්‍රාගාර දෙකක් වන අඹතලේ ජලපවිත්‍රාගාරයත් ඒ වගේ ම බියගම ජල පවිත්‍රාගාරයටත් උඩින් තිබුණ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් යම් අපද්‍රව්‍යයක් එහෙම නැතිනම් යම් කෙමිකල් වර්ගයක් පරිසරයට මුසු වෙලා තිබෙනවා කියන එක. මේ ගැන ප්‍රධාන දැනුම් දීමක් 11.30ට පමණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙනුත් දැනුම් දුන්නා. ඒ මොහොතේ ම අපිට සිද්ධ වුණා ජනතාවගේ ආරක්ෂාව සඳහා සහ වඩාත් සුරක්ෂිතභාවය සඳහා අපි අඹතලේ ජලපවිත්‍රාගාරයත් බියගම ජලපවිත්‍රාගාරයත් තාවකාලිකව ඒ මොහොතේ ක්‍රියාවිරහිත කළා."

රසායනික ද්‍රව්‍යය විෂ සහිත ද?

මෙම සිදුවීම පිළිබඳව දැනුවත් වූ වහා ම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ජල කළමනාකරණ ඒකක ඇතුළු සියලු අංශ සමග එක්ව එම රසායනික ද්‍රව්‍ය පානීය ජලයට මුසුවීම වැළැක්වීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසීය.

පෞද්ගලික ආයතනයකට අදාළ රසායන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේදී මෙය සිදුව ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

"එය විෂ රහිත රසායනික ද්‍රව්‍යයක් විදියට ආපදා කළමනාකරණ වාර්තා අනුව පෙනී ගිහිල්ලා තියෙනවා," අධ්‍යක්ෂවරයා පැවසීය.

තව ද, රසායන ද්‍රව්‍ය ප්‍රවාහනයේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි අවධාරණය කළේ ය.

"යම්කිසි රසායන ද්‍රව්‍යයක් ප්‍රවාහන කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් ම ඒ රසායන ද්‍රව්‍ය පිළිබඳවත් ඒ ප්‍රවාහන කරන මාධ්‍ය සහ ප්‍රවාහන කටයුතු පිළිබඳවත් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඒ කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා."

රසායනික ද්‍රව්‍ය කාන්දු වී ඇත්තේ කෙසේ ද?

අදාළ පෞද්ගලික සමාගමේ නිෂ්පාදන සඳහා අවශ්‍ය කරනු ලබන රසායනික ද්‍රව්‍ය ගබඩාවේ සිට ආයතනය වෙත ප්‍රවාහනය කරමින් තිබියදී සිදුව ඇති කාන්දුවකින් පසු එම රථය සෝදා ඇති අතර, එම රසායනික ද්‍රව්‍ය පරිසරයට එක්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික්ක අධ්‍යක්ෂ එස්.පී. සමරකෝන් බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.

"මේක ට්‍රන්ස්පෝර්ට් එකේදී වාහනේදී කාන්දුවක් වෙලා තියෙනවා එක බැරල් එකක. බැරල් එක ලීක් වුණා ම අතරමග යාඩ් එකකට දාලා හෝදලා තියෙනවා එතනදී තමයි පොළවට ඇවිල්ලා තියෙන්නේ."

මෙම රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් රසායනගාර පරීක්ෂණයක් පවත්වන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම ගැන පුළුල් විමර්ශනයක්

හදිසියේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවීම ගැන සිය කනගාටුව පළ කළ ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා, එසේ සිදුකරනු ලැබුවේ විශේෂිත ආරක්ෂිත පියවරක් ලෙස බව ද සඳහන් කළේ ය.

එමෙන් ම, පෞද්ගලික කර්මාන්ත ශාලාවෙන් පරිසරයට රසායනික ද්‍රව්‍ය මුදා හැරීම සම්බන්ධව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද සභාපතිවරයා කියා සිටියේ ය.

ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පවසන පරිදි, මේ පිළිබඳව පොලිස් පැමිණිල්ලක් මෙන් ම අදාළ අංශවලට පැමිණිලි ද ඉදිරිපත් කර ඇති අතර මේ තත්ත්වය ඇති වීමට මූලික හේතුව කුමක් ද? යන්න සොයා බලන බවත් පැවසීය.