හිටපු ඉරාන ජනාධිපති මහ්මූද් අහමඩිනෙජාඩ් යුද්ධයේ අභිරහස් චරිතවලින් එකක් බවට පත්වුණේ කොහොම ද?

වසර ගණනාවක් පුරා මහ්මූද් අහමඩිනෙජාඩ් ලොව වඩාත් කැපී පෙනුණු ඊශ්‍රායල් විරෝධී චරිතවලින් එකක් ලෙස සැලකිණි

ඡායාරූප මූලාශ්‍රය, Isna

    • Author, සයේද් ජෆාරි
    • Role, දේශපාලන විශ්ලේෂක
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

"වෛරයට පාත්‍ර වූ මේ පාලනය (ඊශ්‍රායලය) බිඳ වැටීමේ මාවතකට ගමන් කරමින් තියෙන්නේ. ඒ වගේ ම දෙවියන් වහන්සේගේ කරුණාවෙන් එය බිඳ වැටෙන බවත්, කිසි ම සාධකයකට එය බේරා ගැනීමට නොහැකි බවත් ඔබ දැනගත යුතුයි. මෙම පාලන තන්ත්‍රය එහි ගමන් මගේ අවසානයට පැමිණ ඇති අතර ඉක්මනින් ම ලෝකයෙන් අතුගා දමනු ඇත."

මෙවැනි ප්‍රකාශ වසර ගණනාවක් පුරා ඉරානයේ හිටපු ජනාධිපති මහ්මූද් අහමඩිනෙජාඩ් ලෝකයේ වඩාත් කැපී පෙනුණු ඊශ්‍රායල් විරෝධී චරිතයක් බවට පත් කළේ ය. ඔහු හොලොකෝස්ට් සිදුවීම ප්‍රශ්න කළ අතර ඊශ්‍රායලය "කෘත්‍රිමව නිර්මාණය කරන ලද රාජ්‍යයක්" ලෙස හැඳින්වීය. එමෙන් ම සම්බාධක නොතකා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පෙනී සිටියේ ය. මෙම ප්‍රකාශ ඉරානය තර්ජනයක් බව පැහැදිලි කිරීමේදී ඊශ්‍රායල් නිලධාරීන්ට ඔහු නිතර උපුටා දැක්වීමට හේතුවක් විය.

එවැනි පසුබිමක නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කර ඇත්තේ, "පශ්චාත් යුද්ධ සැලසුම්කරණයේ" කොටසක් ලෙස, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අහමඩිනෙජාඩ් ඉරානයේ ආරක්ෂක ව්‍යුහයෙන් වෙන්වී අනාගත නායකයෙකු ලෙස මතු විය හැකි අවස්ථාවක් ගැන සලකා බැලූ වූ බව ය.

කෙසේ වෙතත්, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, යුද්ධය ආරම්භයේදී ඔහු නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමේ අරමුණින් එල්ල කළ ප්‍රහාරයකින් ඔහු තුවාල ලැබූ බව කියන සිද්ධියත් සමග එම සැලසුම අසාර්ථක විය.

අහමඩිනෙජාඩ් සහ ඔහුගේ සමීපතමයින් මෙම ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වා නොමැති අතර, ඔහු මේ වන විට සිටින ස්ථානයක් පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.

මෙම වාර්තාව බොහෝ එක්සත් ජනපද සහ ඊශ්‍රායල් විශ්ලේෂකයින් අතර සැක මතු කර තිබේ. ඔවුන් ප්‍රශ්න කරන්නේ, දිගු කලක් පුරා දැඩි ඊශ්‍රායල් විරෝධී ප්‍රකාශ සිදු කළ පුද්ගලයෙකු සමග රටක් හෝ රටවල් දෙකක් වැඩ කිරීමට සලකා බැලුවේ ඇයි ද යන්නයි. මෙම පැහැදිලි පරස්පරතාව, අහමඩිනෙජාඩ්ගේ රූපය සැමවිට ම පෙනෙන තරම් සරල නොවී ඇති ද යන්න නැවත සලකා බැලීමට ද ඇතැමුන් උනන්දු කර ඇත.

Ahmadinejad behind a cluster of microphones during his first presidential term, with an image of a hand holding a crystal of light and a bird flying in a blue sky behind him.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් ඊශ්‍රායල් නිලධාරීන් සහ විශ්ලේෂකයින් විවෘතව කියා සිටියේ, අහමඩිනෙජාඩ්ගේ දැඩි වාග් විලාසය සහ යුදෙව් සංහාරය (හොලොකෝස්ට්) ප්‍රතික්ෂේප කිරීම ඔහු ඊශ්‍රායලයේ "ප්‍රචාරණ කටයුතු සඳහා වාසිසහගත" වූ බව ය

ඊශ්‍රායලයට ප්‍රයෝජනවත් සතුරෙක්?

මෙම ගැටලුවේ සංවේදීත්වය අවබෝධ කර ගැනීමට, අහමඩිනෙජාඩ් ඉරාන දේශපාලනය තුළ බලවත් වීමට පටන් ගත් අවධිය වෙත නැවත හැරී බැලිය යුතු ය. දේශපාලන චරිතයක් එතරම් ප්‍රසිද්ධිය ලබා නොතිබුණු කෙනෙකු වුව ද, ඔහු 2003 වසරේදී ටෙහෙරානයේ නගරාධිපති ධූරයට තේරී පත්විය. 2005 දී, උත්තරීතර නායක අලි කමේනිගෙන් ලද පැහැදිලි සහය ඇතිව, ඔහු ජනාධිපති ලෙස බලයට පත් විය.

සිය මැතිවරණ ව්‍යාපාරය තුළ ඔහු යුක්තිය, සරල බව සහ දූෂණයට එරෙහිව සටන් කිරීම ගැන සටන් පාඨ භාවිත කළේ ය. නමුත් ඔහු ගෝලීය චරිතයක් බවට පත් වූයේ ඔහු දැරූ දේශීය ප්‍රතිපත්ති හේතුවෙන් නොව, ඊශ්‍රායලය, එක්සත් ජනපදය සහ යුදෙව් සංහාරය පිළිබඳ ඔහු කළ ප්‍රකාශ හේතුවෙනි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2005 ඔක්තෝබර් මාසයේ ටෙහෙරානයේ පැවැති "සියොන්වාදයෙන් තොර ලෝකයක්" යන සමුළුවේදී, අහමඩිනෙජාඩ් "ඇමෙරිකාව සහ සියොන්වාදය නොමැති ලෝකයක් සාක්ෂාත් කරගත හැකි අරමුණක්" යනුවෙන් ප්‍රකාශ කළේ ය. වසරකට පමණ පසු, යුදෙව් සංහාරය ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් ලෙස ප්‍රසිද්ධියට පත් වූවන් සහභාගී වූ, පුළුල් ජාත්‍යන්තර ප්‍රතිචාරයක් ලැබූ "හොලොකෝස්ට් පිළිබඳ ගෝලීය දෘෂ්ටිය සමාලෝචනය කිරීමේ ජාත්‍යන්තර සමුළුව" ද ටෙහෙරානයේදී පැවැත්විණි.

වසර ගණනාවකට පසු, ඇතැම් ඊශ්‍රායල් නිලධාරීන් සහ විශ්ලේෂකයින් විවෘතව ප්‍රකාශ කළේ, අහමඩිනෙජාඩ්ගේ දැඩි වාග් විලාසය සහ යුදෙව් සංහාරය ප්‍රතික්ෂේප කිරීම, ඊශ්‍රායලයට ප්‍රයෝජනවත් වූ බව ය. 2008 වසරේදී, මොසාඩ් ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියා වූ ඉෆ්‍රයිම් හලෙවි ඔහු විස්තර කළේ, "ඉරානයෙන් ඊශ්‍රායලයට ලැබුණු විශාලතම තෑග්ග" ලෙස ය. ඔහුගේ ප්‍රකාශ හේතුවෙන් ඉරානයෙන් එල්ල වන තර්ජනය ලෝකයට ගැඹුරින් අවබෝධ කර ගැනීම පහසු වූ බව ද ඔහු සඳහන් කළේ ය.

අහමඩිනෙජාඩ්ගේ ආධාරකරුවන් මෙය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, ඔහු ඊශ්‍රායලය සහ බටහිරට විරෝධය දැක්වීමට ආක්‍රමණශීලී සහ දෘෂ්ටිවාදාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ය.

බලය ලබා ගත් පසු ප්‍රතිරූපයේ වෙනසක්

A smiling man (Ahmadinejad) with black hair and a greying beard, waves at the camera. The close up camera shot shows he is wearing a white shirt and black jacket and gold rings on his fingers.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රළු සහ බෙදීම්වලින් පිරිණු ජනාධිපති ධූර කාලයෙන් පසු, අහමඩිනෙජාඩ් තම ගමන් මග වෙනස් කළේ ය

2013 දී ධූරයෙන් ඉවත් වීමෙන්පසු, අහමඩිනෙජාඩ් උත්තරීතර නායක අලි කමේනි සහ ඉරානයේ ආරක්ෂක ව්‍යුහයේ කොටස්, විශේෂයෙන් ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) සමග නිරත ගැටිණි. පසුව ඔහුට ජනාධිපතිවරණ සඳහා තරග කිරීමට ඉරානයේ ගාර්ඩියන් කවුන්සිලය විසින් කිහිප වරක් ම තහනම් කෙරිණි.

නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවට ප්‍රතිචාර දක්වමින් Xහි සටහනක් තබමින්, ඊශ්‍රායල් ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ ඉරානය සහ Shiite Axis වැඩසටහනේ ප්‍රධානියා වන රාස් සිම්ට්, අහමඩිනෙජාඩ් නිතර ම විරුද්ධ සහ අපේක්ෂිත නොවන ස්ථාවරයන් ගත් බව පැහැදිලි කළේ ය. "ජනාධිපති ධූර කාලය තුළ අහමඩිනෙජාඩ් ජනප්‍රියවාදය සහ අවස්ථාවාදය එකට මිශ්‍ර වූ චරිතයක් වුණා," යැයි ඔහු එහි ලිවීය.

අවසාන වසරවලදී, සමාජ මාධ්‍ය තුළ අහමඩිනෙජාඩ් තම ජාත්‍යන්තර ප්‍රතිරූපය ද නැවත ගොඩනගා ගෙන තිබිණි: ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් ට්වීට් කරමින්, මිචිගන් විශ්වවිද්‍යාලයේ පාපන්දු කණ්ඩායමට සුබ පැතුම් පළ කළ අතර වරෙක ප්‍රසිද්ධ ඇමෙරිකානු රැප් ගායක ටූපක් ශකූර් උපුටා දක්වා තිබිණි. "ඇමෙරිකාවේ දූෂිත දේශපාලනට එරෙහිව සටන් කිරීම" සම්බන්ධයෙන් ඔහු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද ප්‍රශංසා කළේ ය.

කෙසේවෙතත්, සිම්ට් පවසන්නේ, ඉරානය තුළ සහ බටහිර ජනතාව අතර වඩා මධ්‍යස්ථ ප්‍රතිරූපයක් ගොඩනැගීමට ඔහු උත්සහ කළ ද, මිලියන 90කට වැඩි ජනගහනයක් ඇති රටක බලය අල්ලා ගැනීමට හැකි වන මට්ටමේ සහයක් අහමඩිනෙජාඩ්ට කිසි දා නොතිබූ බව ය.

ඇමෙරිකානු විශේෂඥයින් අතර සැකයක්

බීබීසී පර්සියානු සේවය වෙත අදහස් දැක්වූ ඇමෙරිකානු විශේෂඥයන් තිදෙනා අහමඩිනෙජාඩ් බලයට නැවත ගෙන ඒම පිළිබඳ "ගැඹුරු මෙහෙයුම් සැලැස්මක්" පිළිබඳ වාර්තාව ගැන ද සැක පළ කරති.

නෝර්ත්ඊස්ටර්න් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකු සහ ප්‍රති-ත්‍රස්තවාදය පිළිබඳව අධ්‍යයන කරන්නෙකු වන මැක්ස් ඒබ්‍රහම්ස් පවසන්නේ, යුද්ධයට සම්බන්ධ ව්‍යාජ තොරතුරු බහුලව පවතින බැවින්, මෙම වාර්තාව "ඉතා ඉහළ සැකයකින්" යුතුව සලකා බැලිය යුතු බව ය. යුදෙව් සංහාරය ප්‍රතික්ෂේප කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඉදිරියට ගෙන යාම තුළ ඔහුගේ භූමිකාව සලකා බැලූ විට, අහමඩිනෙජාඩ් නැවත පැමිණීම ඊශ්‍රායලය පිළිගනු ඇතැයි සිතීමට අපහසු බවත්, ට්‍රම්ප් සම්බන්ධයෙන් ගත් කල ද ඔහු සාර්ථක, රෙජීම වෙනසකට නොගැලපෙන බව ද ඔහු විශ්වාස කරයි.

ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්ති කවුන්සිලයේ ඉලන් බර්මන් ද, විශ්වසනීය එක්සත් ජනපද–ඊශ්‍රායල් සැලසුමක් තිබුණා යන අදහස විය නොහැක්කක් බව පවසයි. අහමඩිනෙජාඩ්ගේ නම නායකත්ව අපේක්ෂකයෙකු ලෙස සඳහන් වී තිබුණත්, ඔහු ප්‍රමුඛ තේරීමක් නොවනු ඇති බව ඔහු කියයි.

ඇමෙරිකානු ව්‍යවසාය ආයතනයේ මයිකල් රූබින් මෙය "මායාවක්" ලෙස හඳුන්වමින්, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත නිර්නාමික මූලාශ්‍ර මත දැඩි ලෙස විශ්වාසය තබමින් එය සම්පාදනය කර ඇති බව පවසයි. එහෙත්, බටහිර බොහෝ දෙනෙකු අහමඩිනෙජාඩ් ඉරාන සමාජයේ කිසියම් කොටස් වෙත ආකර්ෂණය වූ ආකාරය තවමත් වැරදි ලෙස අවබෝධ කරගෙන සිටින බවට ඔහු තර්ක කරයි.

මේ අතර, නිව් යෝර්ක් ටයිම්ස් Xහි සටහනක් තබමින් පැවසුවේ, ඇමෙරිකානු, ඊශ්‍රායල් සහ ඉරාන නිලධාරීන් සහ ඒ පිළිබඳව දැනුවත්භාවයක් ඇති අනෙකුත් මූලාශ්‍ර සමග කළ සංවාද මත තම වාර්තාව පදනම් වී ඇති බව අවධාරණය කරමින්, තම ඒ පිළිබඳව "පූර්ණ විශ්වාසයෙන්" පසුවන බව පැවසීය.

Mahmoud Ahmadinejad is sitting in front row, second from the right wearing black leather jacket.

ඡායාරූප මූලාශ්‍රය, khamenei.ir

ඡායාරූප ශීර්ෂ වැකිය, අහමඩිනෙජාඩ් නැවත බලයට පත් කිරීම සඳහා වන "බරපතළ මෙහෙයුම් සැලැස්මක්" පිළිබඳ මෙම වාර්තාව ගැන බීබීසී පර්සියානු සේවය වෙත අදහස් දැක්වූ ඇමෙරිකානු විශේෂඥයින් තිදෙනෙක් සැක පළ කරති

ඊශ්‍රායලය තුළින් ලැබුණු ප්‍රතිචාරය

ඇතැම් ඊශ්‍රායල් ආරක්ෂක විශේෂඥයෝ මෙම වාතාවරණය, ඉරානය පිළිබඳ ඊශ්‍රායලයේ අවබෝධය ගැන කුමක් හෙළි කරයි ද යන්න කෙරෙහි අවධානය යොමු කළහ.

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ ඩැනී සිට්‍රිනොවිච් Xහි ලියා තිබුණේ, අහමඩිනෙජාඩ්ට "කිරුළු පැළඳවීමට" උත්සහ කිරීම, ඉරානයේ දේශපාලන පද්ධතිය පිළිබඳව ඇති ගැඹුරු අවබෝධයේ මද බව පෙන්වන බව ය. ඔහුට සැබෑ බල පදනමක් නොමැති අතර, ඉරානයේ ප්‍රභූ සන්නද්ධ බළකාය වන IRGC ඔහුට කිසි දා සහාය නොදෙනු ඇති බත්, එබැවින් ඔහුට බලය අල්ලා ගත හැක්කේ ඉරානයේ වර්තමාන සම්පූර්ණ බල අධිකාරය බිඳ වැටුණහොත් පමණක් බවත් ඔහු සඳහන් කළේ ය. එය එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරයන්ට ද කළ නොහැක්කක් වූ බව ද ඔහු පැවසීය.

ප්‍රවීණ ඊශ්‍රායල් ආරක්ෂක විශ්ලේෂකයෙකු වන යෝසි මෙල්මන් ද Xහි මෙසේ සඳහන් කර තිබිණි: "මෙම කතාව පැති කිහිපයකින් ම විකාරරූපීයි." සුළු ජන කොටස්වල නැගිටීම් සහ ගුවන් ප්‍රහාර මගින් පාලන පද්ධතිය බිඳ වැටිය හැකි යැයි සිතීම මගින්, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය තුළ සැලසුම්කරුවන් "මනෝ ලෝකයක ජීවත් වූ බව" පෙන්වන බව ඔහු සඳහන් කළේ ය.

අහමඩිනෙජාඩ්ගේ නම මතු වූයේ ඇයි?

Two images of Mahmoud Ahmadinejad side by side, with an image of Ruhollah Khomeini’s turban behind him

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නිරීක්ෂකයින් පවසන්නේ, අහමඩිනෙජාඩ්ට සංවිධාන ශක්තියක් නොමැති අතර, ඉරානයේ හමුදා බළකායන් විසින් ද ඔහු පිළි නොගන්නා බවයි

එවැනි සියලු සැකයන් අතර තවමත් නැගෙන ප්‍රශ්නයක් පවතී පවතී: ඇයි අහමඩිනෙජාඩ්?

පිළිතුර, ඔහුගේ ලක්ෂණ තුනක අසාමාන්‍ය එකතුව තුළ තිබිය හැක: ප්‍රසිද්ධිය, අභ්‍යන්තර අත්දැකීම, සහ උත්තරීතර නායකයාට ඇති දූරස්ථභාවය. අහමඩිනෙජාඩ් ඉරානය තුළ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වන අතර, රජයක් මෙහෙයවීමේ අත්දැකීම් ඇති අයෙකි. ඔහුට සමාජයේ පහළ පන්තියේ ජන කොටස්වල භාෂාව ගැන අවබෝධයක් ඇති අතර ඉස්ලාමීය ජනරජයේ බල යාන්ත්‍රණයන් ගැන දැනුමක් ඇත. එමෙන් ම, කමේනි සමග ඇති වූ ඔහුගේ ආරවුල් හේතුවෙන්, ඔහු රෙජීමය තුළ අභ්‍යන්තරිකයෙකු ලෙස නොදකිනු ඇත.

ඇතැම් විදේශ ප්‍රතිපත්ති විශේෂඥයන්ගේ දෘෂ්ටියෙන් බැලූ කළ, මෙම ගති ලක්ෂණ නිසා ඔහු අවුල්සහගත කාල පරිච්ඡේදයකදී භාවිත කළ හැකි චරිතයක් ලෙස යෝජනා වන්නට ඇත. නමුත් මිත්‍රයෙකු ලෙස නොව, බල ව්‍යුහය තුළ බෙදීම් ඇති කිරීමට තාවකාලික චරිතයක් ලෙස ය.

සැබෑවට ම අහමඩිනෙජාඩ් යනු කවුද?

ඇතැම් ඉරාන විචාරකයින් සහ විචාරකයින් තර්ක කරන්නේ වසර ගණනාවක් පුරා අහමඩිනෙජාඩ්ගේ හැසිරීම එනම් ඔහුගේ ජනාධිපති ධූර කාලය සහ මතභේදාත්මක විදේශ සංචාරවල සිට මෑත කාලීන යුද්ධය අතරතුර ඔහුගේ නිහඬතාව දක්වා ඔහුගේ දේශපාලන ස්ථාවරය පිළිබඳව නව ප්‍රශ්න මතු කර ඇති බව ය.

ඔහුගේ ප්‍රතිපත්ති ඉරානය ජාත්‍යන්තරව හුදෙකලා කිරීමට, න්‍යෂ්ටික අර්බුදය තීව්‍ර කිරීමට, සහ අවසානයේ ටෙහෙරානයට එරෙහිව ඊශ්‍රායලයට වඩාත් ඵලදායී දේශපාලන පණිවිඩයක් ලබා දීමට උපකාරී වූ බව ඔවුහු පවසති. නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාව මෙම විවාද නැවත මතු කර ඇත.

මෙය පළමු වතාව නොවේ.

ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ, ප්‍රමුඛ ප්‍රතිසංස්කරණවාදී පුද්ගලයින්ට සහ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට රාජද්‍රෝහී චෝදනා එල්ල කරමින් ඔහු සිය නීත්‍යනුකූලභාවය ගොඩනගා ගත්තේ ය. මෙම චෝදනාව 2009 මැතිවරණයෙන් පසුව ඇති වූ මහජන විරෝධතා සමග සම්බන්ධ විය. එහෙත් බලයෙන් ඉවත් වූ පසු, එම චරිත සමග සම්මුතියකට පැමිණීමට ඔහු උත්සහ කළ බවත්, ඔහුගේ පෙර ධූරය දැරූ ජනාධිපතිවරුන්ගෙන් එක් අයෙකු සමග හමුවක් සංවිධානය කිරීමට පවා උත්සහ කළ බවත්, එය කිසිදා සාර්ථක නොවූ බවත්, ඉරාන මාධ්‍ය වාර්තා කළේ ය.

ස්ථිර දෘෂ්ටිවාදාත්මක රේඛාවලට ඇලී සිටීමට වඩා, තනතුරු මාරු කිරීමට සහ සන්ධාන නැවත අර්ථ දැක්වීමට ඔහු දක්වන මෙම පැහැදිලි කැමැත්ත, විදේශීය බලවතුන් සමග ඇති සැඟවුණු සබඳතා පෙන්වා දීමට වඩා, අභ්‍යන්තර බල අරගල තුළ උපක්‍රමශීලීව කටයුතු කිරීමට ඔහු දරන උත්සහය පිළිබිඹු කළ හැකි ය. සැබවින් ම, අහමඩිනෙජාඩ් ඊශ්‍රායලය හෝ එක්සත් ජනපදය සමග සම්බන්ධ කරන ස්ථිර සාක්ෂි නොමැත.

නමුත් මූලික පරස්පරතා එසේ ම පවතී: දිගු කලක් ඊශ්‍රායල් විරෝධී දැඩි වාග් විලාසයක් ඇති පුද්ගලයෙකු හැඳින්වුණු දේශපාලකයෙකු, දැන් ඇතැම් වාර්තා මගින් ඉරානයට ඇති අනාගත විකල්පයක් ලෙස නිරූපණය කරයි. ඒ, අහමඩිනෙජාඩ් කෙසේ තේරුම් ගත යුතු ද යන ඉරාන දේශපාලනයේ දිගුකාලීන ප්‍රශ්නවලින් එකක් නැවත ජීවමාන කරමිනි.