ට්‍රම්ප් සහ නෙතන්යාහු ඉරානයේ යුද බලය අවතක්සේරු කළා ද? යුද්ධයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ජෙරමි බෝවන්
- Role, ජාත්‍යන්තර පුවත් සංස්කාරක
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
පසුගිය අප්‍රේල් 8 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයෙන් පසු, යළිත් වරක් යුදමය වාතාවරණයකට අවතීර්ණ වීමට තමන් අකමැති බව ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය යන දෙපාර්ශවය ම සංඥා කර තිබේ.
දෙරට අතර අඛණ්ඩව සිදුවන මිලිටරිමය ගැටුම් හමුවේ වුව ද, පාකිස්ථානය, කටාර් රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයක මැදිහත් වීමෙන් සිදුවන සාම සාකච්ඡා නතර කිරීමට දෙපාර්ශ්වයෙන් කිසිවකුත් කටයුතු කර නැත.
ඉරානයට පහසුවෙන් ප්‍රහාර එල්ල කළ හැකි දුරකින් එක්සත් ජනපදය සිය නාවික හා ගුවන් බලඇණි තවමත් සීරුවෙන් තබා ඇත.
ඉරාන පාලන තන්ත්රය ද තම සන්නද්ධ බලකායන් උපරිම සූදානමකින් තබාගෙන ඇති අතර, පවතින සටන් විරාමය උපයෝගී කරගනිමින් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාරවලින් සිදු වූ හානි පූරණය කිරීමටත් හමුදා නැවත සංවිධානය කිරීමටත් කටයුතු කරමින් සිටින බව සිතිය හැක.
ගල්ෆ් කලාපය තුළ සහ ඒ අවට පවතින මෙම සන්නද්ධ නොසන්සුන්තාව හේතුවෙන්, දෙපාර්ශ්වය අතර සිදුවන වැරදි අවබෝධයක් හෝ තක්සේරුවක් මත පදනම්ව ඕනෑ ම මොහොතක මහා පරිමාණ ගැටුමක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතියි.
එක්සත් ජනපදය උත්සාහ කරන්නේ තමන් ඕනෑ ම මොහොතක දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බව පෙන්වමින්, ටෙහෙරාන් පාලනයට වාසි සහගත තීරණවලට එළඹීමට පීඩනය එල්ල කිරීමට ය.
තම ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාව කිසිසේත් අඩු වී නොමැති බවත්, අවශ්‍ය වුවහොත් කලාපයේ පවතින ඇමෙරිකානු කඳවුරුවලට සහ සමස්ත අරාබි ගල්ෆ් කලාපයේ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීමට තමන් පසුබට නොවන බව ඉරානය එක්සත් ජනපදයට සිහිකැඳවමින් සිටියි.
ඇමෙරිකාව සහ ඉරානය අතර පුළුල් එකඟතාවක් කරා යන දීර්ඝ මෙන්ම දුෂ්කර ගමනේ මූලික අරමුණු වී ඇත්තේ, පවතින සටන් විරාමය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සහ ඉදිරි සාකච්ඡාවල න්‍යාය පත්‍රය පිළිබඳව දෙපාර්ශ්වය අතර "අවබෝධතා ගිවිසුමකට" එළඹීම යි.
ඒ සඳහා ළඟාවීම බෙහෙවින් දුෂ්කර වී ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට පෙර ඉරානය සම්බාධකවලින් සහනයක් හෝ අත්හිටුවන ලද වත්කම් වෙත ප්‍රවේශය වැනි දෙයක් ආපසු ලබා ගැනීමට ඉඩ තිබේ. මෙය බැරෑරුම් සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් කොන්දේසියක් බව පෙනෙයි.
කලක් කාර්යබහුල හා වැදගත් මුහුදු මාර්ගයක් වූ මෙම මාර්ගය හරහා ගමන් කරන්නේ නැව් ස්වල්පයක් පමණි. පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීමෙන් පසු ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සෞදි අරාබිය සිය බොර තෙල්වලින් කොටසක් රතු මුහුදේ පිහිටි වරාය වෙත නල මාර්ග ඔස්සේ යොමු කරමින් සිටින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද හෝමූස් සමුද්‍ර සන්ධියෙන් ඔබ්බෙන් පිහිටි, ඕමාන් ගල්ෆ් කලාපයට මුහුණ ලා ඇති තම කුඩා වෙරළ තීරයේ පර්යන්ත වෙත යන තෙල් නල මාර්ගයක් තිබේ.
කෙසේවෙතත් සාමාන්‍ය තෙල් හා ගෑස් සැපයුමෙන් 20%ක පමණ ප්‍රමාණයක් මෙන් ම, අනෙකුත් අත්‍යවශ්‍ය අපනයන ද්‍රව්‍ය රැසක් ද මේ වන විට සමස්ත ලෝකයටම අහිමි වී ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීම ලෝක ආර්ථිකයෙන් වැඩි කොටසකට ව්‍යසනයක් වී තිබේ. එක්සත් ජනපදය තවදුරටත් ගල්ෆ් කලාපයේ බොරතෙල් මත යැපීමක් සිදු නොකළ ද, ඇමෙරිකාව තුළ තවමත් ඉන්ධන මිල තීරණය වන්නේ ගෝලීය බොරතෙල් වෙළෙඳපොළ අනුව ය.
ට්‍රම්ප් අර්බුදයක පැටලී සිටියි. ඉතා පහසු ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් යුද්ධයකට අවතීර්ණ වීමෙන් තමන් සිදු කරගත් බරපතළ අතපසුවීමක දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට දැන් ඔහුට සිදු වී තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ සමීප ම සගයා වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඉරාන රජය ඔවුන්ගේ ප්‍රහාරවලට ප්‍රතිරෝධය දැක්වීමට සහ විඳදරාගැනීමට කොතරම් හොඳින් සූදානම් ද යන්න සම්බන්ධයෙන් සිටියේ අවතක්සේරුවකිනි.
ට්‍රම්ප් හට මෙයින් ගැලවීමට පහසු මගක් නොමැති අතර, ඉරාන පාලනයට අවශ්‍ය වන්නේ තත්ත්වය එලෙසම පවත්වා ගැනීමට ය.
ඔහුට අවශ්‍ය වන්නේ සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරවා ගැනීමට ය. ඉරානයට එරෙහි යුද්ධය එක්සත් ජනපදය තුළ ජනතාවගේ ප්‍රසාදයට ලක්ව නොමැති අතර එය යළි උත්සන්න කිරීමකින් ඇමෙරිකානුවන් විශාල පිරිසක් ඊට එරෙහි වීමක් සිදු විය හැකි ය.
ට්‍රම්ප්ගේ ගැටලුව වන්නේ, මෙම සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානය බලාපොරොත්තු වන සහනදායී කොන්දේසි ලබා දීමට ඔහුගේම රිපබ්ලිකන් පක්ෂයේ සිටින යුදවාදී දේශපාලනඥයන් දැඩි ලෙස විරුද්ධ වීම සහ, ජයග්‍රහණයක් ප්‍රදර්ශනය කිරීමට ඔහු තුළ පවතින ආශාවයි.
ඉරානය සමග ඔහු එළඹෙන ඕනෑම එකඟතාවක් ඉදිරි සාකච්ඡා සඳහා සටන් විරාමය දීර්ඝ කරගැනීමේ මට්ටමේ එකක් වුව ද, එය 2015 වසරේදී බැරක් ඔබාමා පාලන සමය යටතේ එළැඹි න්‍යෂ්ටික ගිවිසුම සමග සංසන්දනය කරමින් එල්ල කරන විවේචන ඉවසීමට එක්සත් ජනපද ජනාධිතිවරයා කැමැත්තක් නොදක්වයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඔබාමාගේ ගිවිසුම හෙළා දුටු අතර ඔහුගේ පළමු ධුර කාලය තුළදීම ඇමෙරිකාව ඉන් ඉවත් කර ගත්තේ ය.
ඉරාන නායකයින් සාධාරණීකරණය කරමින් විශ්වාස කරන්නේ ඔවුන් සිය පාලන තන්ත්රයේ පැවැත්ම උදෙසා සටන් කරන බව යි.
ඊශ්‍රායලයේ සහයෝගය සමග හෝ නොමැතිව එක්සත් ජනපදයෙන් එල්ල වන තවත් ප්‍රහාර ඔවුන්ට ඒ සඳහා බාධාවක් නොවන බව ඉතා පැහැදිලි ය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ගල්ෆ් කලාපයේ පිහිටි ඉන්ධන නිෂ්පාදනයේ නියුතු ධනවත් අරාබි රටවල් මේ වන විටත් දිගුකාලීන ආර්ථික හානියකට මුහුණ දී සිටින අතර, තවදුරටත් එවැනි පාඩු විඳදරාගැනීමට ඔවුන් සූදානම් නැත.
ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතිය සහ ඔවුන්ගේ රටවල දිගුකාලීන සංවර්ධනය රඳා පවතින්නේ, ගල්ෆ් කලාපය ගෝලීය ආර්ථිකය සඳහා ස්ථාවර මධ්‍යස්ථානයක් සහ විදේශ ආයෝජන සඳහා ආරක්ෂිත වීම යන පදනම මත ය.
ඒ සඳහා යුද්ධය දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර අහිමි වූ ස්ථාවරත්වයේ ප්‍රභාව නැවත ගොඩනැගීමට තවත් වසර ගණනාවක් ගතවනු ඇත.
සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික ප්රයත්නයේදී කටාරය, පකිස්ථානය සමග එක්ව පූර්ණ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය විවිධ කෝණවලින් ඉරානයේ බලපෑමට ප්‍රතිචාර දක්වා තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊශ්‍රායලය සමග ඇති ඔවුන්ගේ උපායමාර්ගික සබඳතාව දෙගුණ කර ඇති අතර, ඊශ්‍රායලය අයන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ස්ථාපනය කර එය මෙහෙයවීමට ඊශ්‍රායලය ආරක්ෂක හමුදා භට පිරිසක් ද අනියුක්ත කර තිබේ.
ඉරානයෙන් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස සෞදි අරාබිය ද ඉරානයට ප්‍රහාර එල්ල කර ඇති බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්, සෞදියේ ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ග පැවසුවේ ඔවුන් තනිවම ක්‍රියා කරන බවත් එක්සත් ජනපද-ඊශ්‍රායල් සන්ධානයේ කොටසක් නොවන බවත් ටෙහෙරානයට පැහැදිලිව ම දැනුම් දුන් බව යි.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කරන විට ඔවුන් දෙදෙනා ම කියා සිටියේ, ටෙහෙරානයේ පවතින ඉස්ලාමීය පාලනය පෙරළා දැමීමට ඔවුන්ගේ රටවල් සතු සැලකියයුතු මට්ටමේ ගුවන් බලය ප්‍රමාණවත් වනු ඇති බව යි.
ඔවුහු නිවැරදි නොවූහ.
යුද්ධය, සම්බාධක සහ හුදකලා කිරීම් මධ්‍යයේ වුවද අඩ සියවසකට ආසන්න කාලයක් පුරාවට ආරක්ෂා වී පැවැති පාලන තන්ත්රයක සැබෑ ස්වභාවය ඔවුහු වරදවා වටහාගෙන තිබූහ.
දැන් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පමණක් නොව, මුළු මහත් ලෝකය ම එහි ප්‍රතිවිපාක සමග ජීවත් වෙමින් සිටිති.

































