ක්‍රිස් ගේල්: ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම ද්විත්ව ශතකය

Published

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වෙයි.

ක්‍රිස් ගේල් එම ලෝක වාර්තාව තැබීමට සමත් වූයේ අද අඟහරුවාදා කැන්බෙරා නුවර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදීයි.

පන්දු එකසිය තිස් අටකට මුහුණ දුන් ක්‍රිස් ගේල් හතළිස් හය වන ඕවරයේදී හතරේ පහරක් එල්ල කරමින් ද්විත්ව ශතකය වාර්තා කළේය.

ඔහු වාර්තා කළ ද්විත්ව ශතකයට හයේ පහර දාසයක් ඇතුළත්.

ලකුණු දෙසීය පහළොවක් වාර්තා කර සිටි ක්‍රිස් ගේල් සිය ඉනිමේ අවසාන පන්දුවේදී දැවී යාමට ලක් විය.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කළ, එක් දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ සහ ටෙස්ට් තරගයකදී ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ එකම ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ක්‍රිකට් ඉතිහාසයට එක් වේ.