තනිකම සහ කලකිරීම නිසා 'වර්චුවල් දෙමාපියන්' සමග සම්බන්ධතා පවත්වන චීන තරුණ තරුණියෝ

An illustration showing a pair of couple going live on their social media channel, who are surrounded by sad-looking young people handing their hearts and some flowers to the influencers

ඡායාරූප මූලාශ්‍රය, BBC / Andro Saini

    • Author, යුනිස් යැං
    • Role, බීබීසී චීන සේවය
    • වාර්තාකරණය, හොංකොං සිට
  • කියවීමේ කාලය: මිනිත්තු 7

බොහෝ තරුණ පිරිස් සේ ම, වින්සන්ට් ජන්ග් ද කෑම ගන්නා අතරතුර හැමවිට ම ඔහුගේ ජංගම දුරකතනයට ඇලි ගැලී සිටියි. නමුත් ඔහු නැරඹීමට ප්‍රියතම ඉන්ටර්නෙට් අන්තර්ගතය නිර්මාණය කරන්නේ ඔහු සිය "වර්චුවල් දෙමාපියන්" ලෙස සලකන මැදිවියේ යුවළකි.

චීනයේ Douyin සමාජ මාධ්‍යය තුළ (TikTokහී චීන අනුවාදය) වින්සන්ට් වැඩිපුර ම නරඹා ඇත්තේ පහ්න් හුචියෑන් සහ ජන්ග් ෂූපියෑන්ග් යන දෙදෙනාගේ වීඩියෝ ය. ඔවුන්ගේ වීඩියෝවල ඔවුන්ගේ සැබෑ හා සරල ආදරණිය පවුල් ජීවිතයක් පෙන්වන අතර, යුවළ නරඹන්නන් හා නිතර කතා කරන්නේ ඔවුන් තමන්ගේ ම දරුවන් ලෙස සලකමිනි. වසර තුනක් ඇතුළත, ඔවුන්ගේ ගිණුමට අනුගාමිකයින් මිලියන 1.8ක් එකතු වී තිබේ.

ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය වීඩියෝවක, පහ්න් සහ ජන්ග් මෙසේ පවසයි:" කවුද පවුලේ වැඩිමලා? ඔයාට ළඟකදී ඉඳලා රැකියාව සහ ඉගෙනීම නිසා තෙහෙට්ටු ද? ඕනෑවට වඩා ඔබව මහන්සි කරවන්න එපා. අම්මයි තාත්තයි දන්නවා ඔයා ජීවිතේ ගොඩක් දේවල් විඳදරාගත්තා කියලා."

"මගේ දෙමව්පියන් කවදාවත් මට ඕනෑවට වඩා මහන්සි වෙන්න එපා කියලා හරි මම දැනටමත් කරලා තියෙන දේවල් ඇති කියලා කියන්නේ නැහැ," වින්සන්ට් පවසයි. "නමුත් වර්චුවල් දෙමව්පියන් මගෙන් අහනවා මම අද සතුටින් ද ඉන්නේ කියලා."

"වර්චුවල් දෙමාපියන්" යන වචනය ප්‍රථම වරට චීනයේ ඉන්ටර්නෙට්හි ජනප්‍රිය වචනයක් බවට පත් වූයේ, 2024දී වන අතර, පහ්න් සහ ජන්ග් වැනි සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය පුද්ගලයින් සැලකිය යුතු සංඛ්‍යාවක් එතැන් සිට ඔවුන් වෙත විශාල අනුගාමිකයින් සංඛ්‍යාවක් එකතු කරගෙන තිබේ.

එවැනි සාකච්ඡා මගින් චීනයේ බොහෝ Gen Z සහ සහස්‍රකයන් තුළ චීනයේ සාම්ප්‍රදායික පවුල් කෙරෙහි වර්ධනය වන අතෘප්තිය හෙළි කර ඇති අතර, එම පවුල් බැඳීම් සහ කීකරුකම සෙනෙහසට වඩා ප්‍රමුඛ කර ගත ඒවා වේ.

RedNote සමාජ මාධ්‍යයේ, "චීන දෙමාපියන්" යන හැෂ් ටැග් එකට මිලියන 500 කට වඩා නැරඹුම් වාර ඇති අතර කමෙන්ට් මිලියන 1.2කට වඩා තිබේ.

1979 සිට 2015 දක්වා චීනයේ පැවති එක් දරු ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස, මන්දගාමී ආර්ථිකයක දුෂ්කරතා සහ සිය පවුලේ එකම දරුවා ලෙස දෙමාපියන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීමේ දරුවන් වෙත පැටවෙන බර තම දෙමාපියන් තේරුම් නොගැනීම ගැන බොහෝ දෙනෙක් කලකිරීමට පත්ව සිටිති. ( checked upto here)

දශක ගණනාවක් පුරා පැවති එක් දරු ප්‍රතිපත්තිය නිසා බොහෝ තරුණ චීන ජාතිකයන් පවුලේ එක ම දරුවා ලෙස හැදී වැඩී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දශක ගණනාවක් පුරා පැවති එක් දරු ප්‍රතිපත්තිය නිසා බොහෝ තරුණ චීන ජාතිකයන් පවුලේ එක ම දරුවා ලෙස හැදී වැඩී ඇත.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වින්සන්ට් ජන්ග් ෂැංහයිහි ජීවත්වන සාර්ථක වෙබ් ඩිවලොපර් කෙනෙකු වන නමුත් ඔහු "996" වැඩ සංස්කෘතිය යටතේ ඉතා දිගු කාලයක් වැඩ කළත්, සෑම සතියක ම ඔහුගේ දෙමාපියන් සමග කතා කරන විට ඔහුට වැඩි ආතතියක් දැනේ. 996 වැඩ සංස්කෘතිය යනු තාක්ෂණික සේවකයින් සතියකට දින හයක් පෙ.ව. 09:00 සිට ප.ව. 21:00 දක්වා වැඩ කිරීම ය.

රජයේ රැකියාවක් වඩාත් ස්ථාවර වනු ඇතැයි ඔවුන් විශ්වාස කරන නිසා, ඔවුන් බොහෝ විට ඔහුගේ වෘත්තීය තේරීම විවේචනය කරන බව ඔහු පවසයි. නැතහොත් පෙම්වතියක් ගෙදර ගෙන එන්නේ කවදා දැයි ඔවුහු ඔහුගෙන් අසති.

පහ්න් සහ ජන්ග්ගේ නාලිකාවේ කමෙන්ට් පළ කිරීමේදී අන් අය සමග සම්බන්ධ වන විට වින්සන්ට්ට තනිකමක් දැනෙන්නේ නැත. වින්සන්ට් මෙන්, බොහෝ දෙනෙක් අම්මා සහ තාත්තා ලෙස කතා කරන අය වෙත ලියති. ඔවුන්ගේ පණිවිඩ බොහෝවිට ඔවුන්ගේ දෛනික ජීවිතය ගැන වන අතර සමහර විට ඔවුහු උපන්දිනයට සුබ පැතුම් ඉල්ලා සිටිති.

නමුත් සමහර පණිවිඩ ඉතා භයානක ඒවා ය. එක් අවස්ථාවකදී, ඩියෑන් ඩියෑන් නම් ගැහැනු ළමයෙකු පහ්න්ට පැවසුවේ ඇයට තවදුරටත් ජීවත් වීමට අවශ්‍ය නැති බවත්, ඇයට විශාදය ඇති බවත්, ඒ නිසා සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති බවත් ය.

"මම ඇය සමග පැය දෙකක් කතා කළා, නමුත් ඇය විනාඩි 40කට පසු ප්‍රතිචාර දැක්වූයේ නැහැ," 2024 දී ඩූයින්හි පළ කළ සම්මුඛ සාකච්ඡාවකදී පහ්න් පැවසුවේ, ඇයට කුමක් සිදු වී ඇත්දැයි තමා නොදන්නා බව යි.

සතියකට පසු, ඔහුට ඩියෑන් ඩියෑන්ගෙන් ඇමතුමක් ලැබුණු අතර, ඇය පැවසුවේ දැන් ඇයට බොහෝ සෙයින් හොඳ හැඟීමක් දැනෙන බව යි: "මම ඇත්තට ම අර්ථවත් දෙයක් කළා කියලා මට දැනුණා, ඒ වගේ ම මට ගොඩක් කාලෙකින් ආඩම්බරයක් දැනුණා."

පහ්න් සහ ජන්ග්ගේ ඩුයින් ගිණුමට මිලියන 1.8කට වඩා අනුගාමිකයන් සිටිති

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, පහ්න් සහ ජන්ග්ගේ ඩුයින් ගිණුමට මිලියන 1.8කට වඩා අනුගාමිකයන් සිටිති

පවුලේ නොසලකා හැරීම නිසා ඇති වන වේදනාව පහ්න් හට වැටහෙන්නේ, ඔහුටත් සතුටකින් තොර ළමා කාලයක් තිබූ බැවිනි.

ඔහු හැදී වැඩුණේ උතුරු පළාතේ ෂාන්සිහි යාඩොං නම් සාම්ප්‍රදායික භූගත නිවාසයක ය.

වයස අවුරුදු 14 දී, ඔහුගේ මව අංශභාග රෝගයෙන් පෙළුණු හෙයින්, පවුල නඩත්තු කිරීමට ඔහු නිවසින් පිටව ගියේ ය. "මම අවුරුදු 33ක් ගෙදරින් පිට හිටියේ, මගේ දෙමව්පියන් කවදාවත් දිරිගැන්වීමේ වචනයක්වත් කිව්වේ නැහැ," ඔහු ඩූයින්හි කළ සම්මුඛ සාකච්ඡාවේදී ම පැවසීය.

ඔවුන්ගේ දියණිය ජියැන්ග්යු ඉපදුණු පසු වෙනස් පවුල් වාතාවරණයක් නිර්මාණය කිරීමට පහ්න් අධිෂ්ඨාන කරගෙන සිටියේ ය. සාමාන්‍ය චීන පවුල් මෙන් නොව, පහ්න් සහ ජන්ග් සැමවිටම ජියැන්ග්යුට පවසන්නේ ඔවුන් ඇයට ආදරය කරන බව ය.

ජියැන්ග්යු ඇගේ දෙමාපියන්ට කෙටි වීඩියෝ නිෂ්පාදනය කිරීමට දිරිගැන්වූ අතර, 2024 දී පහ්න්ගේ ව්‍යාපාරය වසා දැමීමෙන් පසු ඔවුන් පූර්ණ කාලීන වීඩියෝ නිර්මාණකරුවන් බවට පත්විය. ලයිව් ස්ට්‍රීමින් හරහා නිෂ්පාදන විකිණීමෙන් විශාල ලාභ උපයා ගත හැකි වුව ද, පහ්න් සතුව ඔහුගේ ගිණුම සම්බන්ධයෙන් කිසිදු විශාල සැලසුමක් නැත.

"පියෙකුගේ සෙනෙහසේ උණුසුම ඔවුන්ට දැනෙන්න සැලැස්වීම සඳහා මට කරන්න පුළුවන් සෑම දෙයක් ම කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා," ඔහු පවසයි.

'Gourd soup literature' 'ලබු සුප් සාහිත්‍යය'

වර්චුවල් දෙමව්පියන් පිළිබඳ අන්තර්ගතයන්ට අමතරව, "ලබු සුප් සාහිත්‍යය" ලෙස හඳුන්වන උපහාසාත්මක අන්තර්ගතයන් ද පසුගිය සරත් සෘතුවේදී වෛරල් විය. මෙම ප්‍රවණතාව ඇති වූයේ මිනිත්තුවක නාට්‍යයකින් වන අතර, එහිදී පුතෙකු තම මවගෙන් ලැබුණු ලබු සුප් බඳුනක් ආචාරශීලී ලෙස ප්‍රතික්ෂේප කළත්, අවසානයේ කෝපයට පත් වීම සම්බන්ධයෙන් ඔහුට දොස් පවරයි.

බොහෝ තරුණ පරිශීලකයින් පවසන්නේ මෙය චීනයේ පවුල්වල බොහෝ විට වරදවා වටහාගැනීම් සිදුවන ආකාරය පිළිබිඹු කරන බවයි. විශේෂයෙන් දෙමව්පියන් තම දරුවන්ගේ කැමැත්ත නොසලකා හරින විට ඔවුන්ට හොඳ ම දේ ඔවුන් දන්නා බව ඔවුහු විශ්වාස කරති.

28 හැවිරිදි චාවෝ ෂියන් ඔවුන්ගෙන් එක් අයෙකි.

ඇගේ දෙමාපියන් ප්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වන නිසාත්, ඔවුන් ඇය සමග කතා කරන විට, එය "ලබු සුප් සාහිත්‍යයේ" දැක්වෙන වැරදි වැටහීම්වලට සමාන බවත් හැඟෙන නිසාත්, ඇය පවුලේ චැට් එකෙහි පණිවුඩ ලැබීම නිහඬ කර ඇත.

ඇගේ දෙමව්පියන් ඇගේ 15 හැවිරිදි සහෝදරයාට වැඩි කැමැත්තක් දක්වන බව ඇය විශ්වාස කරයි. සාම්ප්‍රදායික චීන සංස්කෘතිය තුළ, පවුලේ පරම්පරාව රැගෙන යා හැක්කේ පිරිමින්ට පමණක් බව සැලකේ.

Four young adults are immersed in their phones while sitting on a bench in Beijing, China

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇගේ මව ඇගේ ජීවිතයේ සෑම අංශයක් ම බෙහෙවින් පාලනය කර ඇති බව චාවෝ පවසයි. උපාධිය ලැබීමෙන් පසු ඇය ප්‍රංශයේ පූර්ණ කාලීන රැකියාවක් සොයා ගත් නමුත් ඇගේ මව ඇයට එය අතහැර චීනයට ආපසු පැමිණෙන ලෙස පැවසුවා ය.

"මම ආපහු එන්න කලින්, මගේ අම්මා මාව බලාගන්නම් කියලා කිව්වා. මට ගොඩක් සංවේදී වුණා," ඇය කියනවා. "නමුත් ඇත්තට ම, ඇයට ඕන වුණේ මම ගෙදර ඇවිත් මගේ සහෝදරයාව බලාගන්නවා දකින්න විතර යි..."

"මම පොඩි කාලේ එයා මට සලකපු විදියට ම තමයි අදත් එයා මට සලකන්නේ. ඒත් එයා මගේ මල්ලිට නම් ආදර්ශවත් අම්ම කෙනෙක් වගේ පේනවා."

අතීතයේදී, චාවෝ ඇගේ මිතුරන් සමග කඳුළු සලමින් කතාබස් කර ඇගේ දෙමව්පියන්ගේ හැසිරීම තේරුම් ගැනීමට උත්සහ කළා ය. නමුත් දැන් ඇය මීම්ස් සහ උපහාසාත්මක වීඩියෝ වෙත යොමු වී ඇත. අනෙක් අයගෙන් ලැබුණු සමාන ප්‍රතිචාර නිසා ඇගේ අත්දැකීම අමුතු එකක් නොවන බවත්, පවුල් ගැටලු හාස්‍යයෙන් යුතුව විසඳා ගත හැකි බවටත් ඇයට වැටහී ගොස් තිබේ.

දේශපාලන කම්පනය

A historical photo showing young girls waving copies of Mao Zedong's 'Little Red Book' during the Cultural Revolution

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ චීන දෙමාපියෝ සංස්කෘතික විප්ලවයේ කැළඹිලිසහගත කාලවලදී ජීවත් වූවෝ වෙති

කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අධ්‍යයන අංශයේ උපාධිධාරිනියක වන ග්වා ටින්ග් පවසන්නේ, තම දරුවන් කෙරෙහි ඇති ඉහළ අපේක්ෂාවන් සහ සෙනෙහස ප්‍රකාශ කිරීමේ දුෂ්කරතා පිටුපස ඇති "ඓතිහාසික හේතු" රාශියක් ඇය දකින බැවින් ඇය චීන දෙමාපියන්ට අනුකම්පා කරන බව ය.

ඇය පවසන්නේ, වර්තමාන දෙමව්පියන් හැදී වැඩෙන විට, පෞද්ගලික හැඟීම් ප්‍රසිද්ධියේ කතා කිරීම නොසලකා හරින බව ය.

1966 සිට 1976 දක්වා ප්‍රචණ්ඩත්වයේ සහ නොසන්සුන්තාවයේ දශකයක් පුරා පැවති සංස්කෘතික විප්ලවය අතරතුර, ආදරය ප්‍රකාශ කිරීමට තිබුණේ රටට හෝ එවකට එහි නායකයා වූ සභාපති මාඕ සේතුංට පමණි.

වත්මන් දෙමව්පියන්ගේ ඇති අනාරක්ෂිතභාවය සහ කාංසාවට "ඔවුන් කලක් ජීවත් වූ කැළඹිලි සහ දරිද්‍රතාව මෙන් ම ඔවුන්ට ගමන් කිරීමට සිදුවූ කටුක, පරිසරයට අනුගත වීමට හැකි සතුන් ඉතිරි වීමේ සංකල්පය" හේතු විය හැකි බව ඇය තවදුරටත් පවසයි.

දරිද්‍රතාවයෙන් හා දුෂ්කරතාවයෙන් පිරුණු කාලවලදී හැදී වැඩුණු නිසාත්, ඉතා තරගකාරී පරිසරයක ජීවත් වීමට අරගල කිරීමට සිදුවූ නිසාත්, අද දෙමව්පියන්ට අනාරක්ෂිතබවක් සහ කනස්සල්ලක් දැනෙන බව ඇය විශ්වාස කරයි.

නමුත් මෙම උපාය මාර්ගය ක්‍රියාත්මක වන බවක් නොපෙනෙන අතර, උදාහරණයක් ලෙස වින්සන්ට් සම්බන්ධයෙන්, "මට මගේ දෙමව්පියන්ගේ දුෂ්කරතා තේරුම් ගත හැකි යි, නමුත් මටත් මගේ ම කම්පනයක් තිබෙනවා," ඔහු පවසයි.

සමහර වර්චුවල් දෙමව්පියන් ඔවුන්ගේ අන්තර්ගතයන් තවදුරටත් මුදල් ඉපැයීම සඳහා කළමනාකරණ සමාගම් සමග අත්සන් කර ඇති නමුත් වින්සන්ට් පවසන්නේ, ඔහුට තවමත් ඔවුන්ගේ වීඩියෝ නැරඹීමට අවශ්‍ය බව ය.

"මගේ ජීවිතේ එක ම උණුසුම මට ලැබෙන්නේ මේ හරහා," ඔහු කියනවා. "ඒක හැම දේකට ම වඩා හොඳ යි."

සංස්කරණය: ග්‍රේස් සෝයි සහ ඇලෙක්සැන්ඩ්‍රා ෆූෂී

ලිපියේ මුල් ඡායාරූපය: නැගෙනහිර ආසියානු දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායමේ අන්ද්‍රෝ සයිනි