පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණීය තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සජබ මන්ත්රී චමින්ද විජේසිරිට මාස 18ක සිරදඬුවම්

ඡායාරූප මූලාශ්රය, Chaminda Wijesiri LW | Facebook
පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් අද (ජූලි 28) වසර එකහමාරක සිරදඬුවමක් නියම කරන ලදී.
එම නඩුව විභාග කළ බදුල්ල මහාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා 4කටත්, ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා 3ටත් වැරදිකරු බවට තීරණය කළ අතර ඔවුන්ට දඬුවම් නියම කිරීම අද සිදු කළේය.
මන්ත්රී චමින්ද විජේසිරිට අමතරව චෝදනා 03කට වරදකරු කෙරුණ ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලකට මෙහිදී බදුල්ල මහාධිකරණය විසින් වසර 10ක අත්හිටවු සිරදඬුවම් නියම කර තිබේ.
කෙසේවෙතත් අනෙක් වරදකරු වූ රියදුරු බන්දුල රත්නායක මියගොස් ඇති බව අධිකරණයට මීට පෙර දැනුම් දී තිබේ.
2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඒ ආසන්න දිනක බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසල දී පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.
තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මග හරස් කළ මන්ත්රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට මරණීය තර්ජන සිදුකොට පහරදී තුවාල සිදුකර ඇති බව ද පැමිණිල්ල විසින් චෝදනා කර තිබිණි.
අයුතු අවහිරය, පහර දී තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරා සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවිණි.





























