'ෆොරිනර්ස් ඔන්ලි' හෝටල් ගැන දේශීය සංචාරකයින්ගෙන් චෝදනා: ඊට අදාළ නීති මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මීට අවුරුද්දකට උඩදී අපි යාළුවෝ කට්ටියක් මිරිස්ස ප්‍රදේශයේ සංචාරයකට ගියා. අපි යද්දී බීච් එක ළඟ තියෙන හොටෙල්ස් ඉස්සරහා ඉඳන් ඒ අය ඉංග්‍රීසියෙන් පාරේ යන ෆොරිනර්ස්ලට කතා කරනවා, එයාලගේ හොටෙල් එකට එන්න කියලා. අපිවත් දැකලා එතන හොටෙල් එකක් ඉස්සරහ හිටිය කෙනෙක් හින්දියෙන් කතා කරලා එයාලගේ හොටෙල් එකට එන්න කියලා කිව්වා. අපි හොටෙල් එකට ගියා ම අපිට මුලින් ම කතා කරපු කෙනා ම මේසයක් එහෙම ලෑස්ති කරලා දීලා ටිකක් වෙලා අපිත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කළා. අපෙන් ඇහුවා ඔයාලා කොහේ ඉඳන් ද ලංකාවට ආවේ කියලා. පස්සේ අපි කිව්වා අපි කොළඹ ඉදලා නිවාඩුවකට මෙහෙට ආවේ කියලා. පස්සේ ඒ කතා කරපු කෙනා 'ආ ඔයාලා ලංකාවේ ද?' කියලා අහලා හැරිලා ගියා. සමහර වෙලාවට එයා හිතන්න ඇති අපි ඉන්දියාවේ ඉඳල ලංකාවට ආව ටුවරිස්ට්ලා කියලා. පස්සේ අපිට හොටෙල් එකෙන් කෑම ඕඩර් කර ගන්න වෙන වේටර් කෙනෙක් එනකම් බලන් ඉන්න වුණා," බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් නයෝමි (සැබෑ නම නොවේ) තමන්ට අත්විඳීමට වූ සිද්ධියක් පිළිබඳව විස්තර කළා ය.
මෙරට සංචාරක කර්මාන්තයට 2019 වසරේදී එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, 2020 වසරේදී ගෝලීයව බලපෑ කොවිඩ් වසංගතය සහ 2022 වසරේදී ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් දරුණු ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදුවිය.
එහිදී වැඩි ම බලපෑම එල්ල වූයේ, සංචාරක කර්මාන්තයට ය.
කෙසේ වෙතත්, දකුණු පළාත පමණක් නොව ඇතැම් අවස්ථාවලදී නැගෙනහිර පළාතේ ද පවත්වාගෙන යනු ලබන හෝටල් සහ ආපන ශාලා ආදිය දේශීය සංචාරකයින් සඳහා විවෘත නොවන බවට චෝදනා එල්ල වන්නේ මීට වසර කිහිපයකට පෙර සිට ය.
'අපි බලාපොරොත්තු වන සමානාත්මතාව මේක ද?'
විදේශීය සංචාරකයින් වැඩි වශයෙන් ගැවෙසෙන දකුණ සහ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව පිහිටා ඇති හෝටල් සහ ආපනශාලාවල සේවය ලබා ගැනීමට පැමිණි දේශීය සංචාරකයින්ට අත්විඳීමට සිදුවූ සිද්ධි පිළිබඳව ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබූ සටහන් රැසක් බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.
මීට දින කිහිපයකට පෙර මිදිගම ප්‍රදේශයේ පිහිටා ඇති "Lazies Midigama" නම් වූ හෝටලයට යාමට උත්සහ කළ මාර්ක් කුරේ නමැති පුද්ගලයෙකු තමන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම පිළිබඳව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබිණි.
එහිදී ඔහු සඳහන් කර තිබුණේ, අදාළ හෝටලයේ කාර්ය මණ්ඩලය තමන් ඇතුළු මිතුරන්ට හෝටලයට ඇතුළු වීමට අවසර ලබා නොදුන්නේ හමේ වර්ණය හේතුවෙන් බව ය.
"ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ මිදිගම පිහිටි "Lazies Midigama" වෙත ඇතුළු වීමට අපට අවසර ලැබුණේ නැහැ. ඒකට හේතුව වුණේ අපේ හමේ පාටයි. මෙතන අමුත්තන්ගේ බාහිර පෙනුම ගැන සැලකිලිමත් වෙන සමාජීය සහ වාර්ගික වෙනස්කම් කිරීම් සිදු කරනවා. පිවිසුම් දොරටුව ළඟදී කාර්ය මණ්ඩලය අපිට සලකපු ආකාරය පිළිබඳ වීඩියෝ සාක්ෂි අප සතුව තිබෙනවා. මූලික සමානාත්මතාව සහ ගෞරවය අගය කරන අයෙක් නම් මෙතන මගහරින්න. පොලිසියට මේ ගැන පැමිණිලි කළත් ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න කටයුතු කළේ නැහැ. අපේ රට ඇතුළේ අපි බලාපොරොත්තු වෙන සමානාත්මතාව මේක ද?" මාර්ක් කුරේ සිය ෆේස්බුක් ගිණුමේ එලෙස සටහනක් තබා තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Mark Cooray
මේ අතර, ඉකුත් පෙබරවාරි මාසයේදී මිරිස්ස ප්‍රදේශයේ ආපන ශාලවකට ආහාර ගැනීමට පැමිණි බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රහසන ශිල්පියෙකු වන හැරී පෙරෙයිරාට මුහුණ දීමට සිදුවූ සිදුවීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබිණි.
හැරී පෙරෙයිරා සහ ඔහුගේ මිතුරන් මිරිස්ස ප්‍රදේශයේ රාත්‍රී ආහාර ගැනීමට ගිය ආපන ශාලාවේ හිමිකරු ඔවුන්ට ආහාර පිළිගැන්වීම ප්‍රතික්ෂේප කළ බවත්, එයට හේතුව වූයේ ඔවුන් දුඹුරු සම සහිත පුද්ගලයින් වීම බවටත් එම වීඩියෝවේදී හැරී පෙරෙයිරා ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබේ.
'මම පස්සේ හොයලා බැලුවා ඇයි එහෙම ලංකාවේ අපිට යන්න බැරි කියලා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ අදහස් දක්වා තිබූ ශ්‍රී ගුරුගේ නමැත්තෙකු සඳහන් කර තිබුණේ, තමන් මිදිගම ප්‍රදේශයේදී විදේශීය මිතුරන් කිහිප දෙනෙකු සමග හෝටලයකට ඇතුළු වීමට යාමෙදී එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් ඊට ඉඩ නොදුන් බව ය.
කෙසේ වුව ද, පසුව කරුණු සොයා බැලීමේදී දේශීය සංචාරකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් ඇති ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් හෝටල් පරිපාලනය, දේශීය සංචාරකයින්ට තම හෝටල්වලට ඇතුළු වීමට ඉඩ නොදෙන බවට කරුණු දැන ගන්නට ලැබුණු බව ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි.
මාර්ක් කුරේ තබා තිබූ ෆේස්බුක් සටහනට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ගුරුගේ නම් වූ ෆේස්බුක් පරිශීලකයෙකු තමන්ට ද එවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදුවූ බව සඳහන් කර තිබිණි.
"මට මිදිගම Groove Garden එකට යන්න දුන්නේ නෑ...මම තර්ක කළා ම ගේට්ටුව ළඟ හිටිය කළු ඇඳගත්ත අයියලා මට ගහන්න ආවා... මං එතනට ගියේ මගේ ඉතාලි යාළුවො 5ක් එක්ක මන් එන්ට්‍රන්ස් ෆී එක ගෙවන්න පර්ස් එක ගත්තා ම මට කිව්වා මල්ලිට යන්න බෑ කියලා. මට මාර ලැජ්ජ හිතුණා මගේ යාළුවෝ ඉස්සරහ. මගේ යාළුවෝ ගියෙත් නෑ. ඒ අවට ඉඳන් ඒ සිද්ධිය දැකපු සමහර ගෙස්ට්ලත් 'Very Racist place' කියලා යන්න ගියා. මං පස්සේ හොයලා බැලුවා ඇයි එහෙම ලංකාවේ අපිට යන්න බැරි කියලා...ලංකාවේ කොල්ලෝ ගිහින් ඇතුළේ බීලා රණ්ඩු වෙනවා කියන්නේ," එම පුද්ගලයා එලෙස තම අත්දැකීම විස්තර කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
මේ අතර Down South Lands නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන අයෙකු ද මෙම ගැටලුව ගැන කරුණු දක්වා තිබෙන ආකාරය බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.
එම පරිශීලකයා සඳහන් කර තිබුණේ, දේශීය සංචාරකයින් සහ විදේශික සංචාරකයින් දෙපිරිස ම පැමිණෙන හෝටලයක් පවත්වාගෙන යාමේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා හේතුවෙන් බොහෝ හෝටල් හිමියන් දේශීය සංචාරකයින්ට සිය හෝටල් වෙත පැමිණීම සීමා කර ඇති බව ය.
"කවුරු කොහොම කිව්වත් මේ ලංකාවෙ ෆොරිනර්ස්ලට සර්විස් එක දෙන රෙස්ටුරන්ට් එකක් හොටෙල් එකක් කරන්න බොහොම අමාරු යි අපේ අය එක්ක. හැමෝගෙ ම යහපත වෙනුවෙන් හදාගනිපු ඔය වගෙ දේවල් තියෙන නිසා තමයි සුද්දොත් පාඩුවෙ නිදහසේ ඉන්නේ. අපේ උන්ගෙන් බහුතරේ බීගත්තා ම සුද්දො වඩාගන්න පවා යනව. එහෙම නැති අයත් යනව. ඒ අය තෝරලා බේරලා ගන්නවට වඩා ඔය මෙතඩ් එක පහසු නිසා තමයි ගොඩක් ම ෆොරිනර්ස් ඔන්ලි වෙලා තියෙන්නේ. එහෙම තැනකින් බලෙන් කන්න යන එකත් අවුල්. තව තැන් ඕන තරම් තියෙන නිසා. ජීවිතේට ඕවයි ලංකාවෙ එකෙක්ට කන්න තැනක් නැති වෙන්නෙ නැහැ, එහෙම නැත්නම් සුද්දෙක් හරි ලෝකල් ඔන්ලි කියල බිස්නස් පටන් ගනියි. ඕව අසාධාරණ යි කියන එකෙක් ගිහින් රෙස්ටුරන්ට් එකක් දාල ඇඟ බේරන් කරල බලන්න ඔනෙ කොච්චර සුන්දර ද කියල ලෝකල් ෆොරිනර්ස්ලා මික්ස් වුණා ම."

ඡායාරූප මූලාශ්‍රය, Facebook
'ෆොරිනර්ස් ඔන්ලි හෝටල් පවත්වාගෙන යන්න බැහැ'
විදේශිකයින්ට පමණක් සේවාවන් සපයනු ලබන හෝටල් පවත්වාගෙන යාම පිළිබඳව ඉකුත් වසරේ මැයි මස 14 වන දා දිනැතිව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් හෝටල් හිමියන්ව දැනුවත් කර තිබිණි. එම නිවේදනයට අනුව කිසිදු හේතුවක් මත දේශීය සංචාරකයින්ට වෙනස්කොට නොසැලකිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
එවැනි පසුබිමක තවමත් ඇතැම් හෝටල් සහ ආපනශාලා හිමියන් දේශීය සංචාරකයින්ට වෙනස්කොට සැලකීම පිළිබඳව බීබීසී සිංහල ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරන්ජිත් වෑවිටගෙන් අදහස් විමසීමක් කළේ ය.
එහිදී සභාපතිවරයා කියා සිටියේ, හෝටල් හෝ ආපන ශාලා විසින් තමන්ගේ පාරිභෝගිකයින් වන පුද්ගලයින්ට වෙනස් කොට සලකනු ලැබීම නීතියට අනුව පටහැනි ක්‍රියාවක් බව ය.
"ඒක මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. කාටවත් එහෙම ෆොරිනර්ස් ඔන්ලි කියලා නම් කරන්න බැහැ. ඒක නීතියට පටහැනි යි. තමන් අදාළ සේවාවන් වෙනුවෙන් මුදල් ගෙවනවා නම් ඕනෑ ම කෙනෙකුට අවස්ථාව තියෙනවා තමන් කැමති තැනකින් ඒ සේවා ලබා ගන්න. ඒක ඉස්සර කාලේ ඉඳල ම තිබ්බ ස්ටෑන්ඩර්ඩ් එකක්. අපි කිසි ම විදිහකින් පුද්ගලයින් වෙන් කරලා හඳුන්වල දෙන එක අනුමත කරන්නේ නැහැ. ජාතිය, ආගම හරි හමේ පාට අනුව වගේ මේ කිසි ම ඩිස්ක්රිමිනේෂන් එකක් අනුමත කරන්නේ නැහැ."
එමෙන් ම විදේශිකයින්ට පමණක් සේවා සපයන මෙවැනි හෝටල් සහ ආපන ශාලා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රමිති සහ තත්ත්ව පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව ද සභාපතිවරයා පැවසුවේ ය.
"මේ ගැන අපි කලිනුත් සේවාවන් සපයන අය දැනුවත් කරලා තියෙනවා. කවුරු හරි ෆොරිනර්ස් ඔන්ලි කියලා සර්විස් එක දෙනව නම් අපේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් කොලිටි ඇෂූවරන්ස් ඩිපාර්ට්මන්ට් එකට කම්ප්ලේන් කරන්න පුළුවන්. අපි ඒ ගැන තදින් ම හොයා බලනවා," ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරන්ජිත් වෑවිට පැවසීය.
































