ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොස්මෙටිකොරෙක්සියා: රූපලාවණ්‍ය නිෂ්පාදන රැල්ලට හසු වී ඇති කුඩා ගැහැනු දරුවන්ගේ උමතුව
- Author, රූත් ක්ලෙග්
- Role, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 13
"මගේ හොඳ ම යාළුවගේ ගෙදර යන්න ලෑස්ති වෙන්න මාත් එක්ක එන්න," යැයි එලී-මේ උද්යෝගයෙන් කැමරාව දෙස බලා පවසයි.
එම වීඩියෝව පටිගත කරන විට දස හැවිරිදි වියෙහි පසුවූ ඇය, ටික් ටොක් ඔස්සේ තමන් දිනපතා අනුගමනය කරන රූපලාවණ්‍ය කටයුතු ගැන සිනාසෙමින් විස්තර කරයි.
"මම මේ ටෝනර් එකට ගොඩක්, ගොඩක්, ගොඩක් කැමතියි," ඇය පවසන්නේ විනිවිද පෙනෙන දියරයක් තම මුහුණේ ආලේප කරමිනි. ඉන්පසුව ඇය සමට දිදුලන බවක් ලබා දෙන සීරම් වර්ගයක් ආලේප කරමින්, "ඕ මයි ගෝඩ්, බලන්න කොච්චර දිලිසෙනව ද කියලා," යනුවෙන් සතුටින් පවසයි.
ඇය ඇගේ කහ පැහැති ක්‍රීම් එකකින් "ස්මූදී" එකක් සාදා ගැනීමට, අතේ පිටුපස බිංදු තවරන අතර එය මොයිස්චරයිසර් එකක් සමග මිශ්‍ර කරයි.
ඇය කතා කරන අතරතුර, පරිස්සමෙන් ඇස් යට කන්සීලර් අලේප කර, කම්මුල් වලට රෝස පැහැති බ්ලෂ් සහ හයිලයිටර් එකතු කරයි. ඊට පස්සේ ඇය ඇස් පිහාටු කර්ල් කර මස්කාරා සහ ලිප් ග්ලොස් අලේප කරයි.
හිසකෙස් වියලා ස්ට්‍රේට් කිරීමෙන් පසුව ඇය සිය ගමන යාමට සූදානම් බව පවසයි.
එලී-මේ, දැන් 13 හැවිරිදි නවයොවුන් තරුණියකි. ඇය වයස අවුරුදු අටේ සිට ම විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිත කරන අතර, ඒවා ප්‍රවර්ධනය කිරීමේ කාර්යයේ නිරත වෙයි. ලොක්ඩවුන් සමයේ විනෝදයට ආරම්භ කළ මෙම කාර්යය අද වන විට ඇගේ පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබේ. ඔවුන්ට ෆේස්බුක්, ටික්ටොක්, යූටියුබ් සහ ස්නැප්චැට් වැනි සමාජ මාධ්‍ය වේදිකාවල සමාජ මාධ්‍ය ගිණුම් පවතියි. එලී-මේ විසින් මෙහෙයවන ටික්ටොක් ගිණුම සතු අනුගාමිකයන් සංඛ්‍යාව 330,000 ඉක්මවයි.
ඇගේ මව වන සොෆීට තවත් දරුවන් පස් දෙනෙකු ද සිටින අතර ඇය පවසන්නේ ඔවුන් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වසරකට පවුම් 50,000කට වැඩි ආදායමක් උපයන බව යි.
"කන්ටෙන්ට් ක්රියෙටර්ස්ලා වීම අපේ ජීවිතය වෙනස් කළා," එංගලන්තයේ ගිනිකොණදිග ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවස ඉදිරිපිට සිට මා සමග වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වෙමින් සොෆී පවසයි. " තවත් පොඩි ළමයි විශාල පිරිසකට දැනගන්න ඕන වුණා එලීගේ මේ සම රැක ගන්නා ක්‍රමවේදය ගැන. ඉතින් ඒක එකපාරටම ඉතා වේගයෙන් ජනප්‍රිය වුණා."
විවිධ සමාජ මාධ්‍ය සෙවුම් ක්‍රමවේද ඔස්සේ "දරුවන් සහ රූපලාවන්‍ය" යන වචන ටයිප් කළහොත්, සම ආරක්ෂා කරන සහ මේකප් නිරූපණ නිෂ්පාදන පිළිබඳව මහත් උද්යෝගයෙන් කතා කරන, නැතහොත් ආලේපන භාවිත කරමින් හෝ, "ගෙට් රෙඩී විත් මී" හෝ "ආෆ්ටර් ස්කූල්" වැනි වීඩියෝ හරහා එදිනෙදා සැලසුම් ගැන කතා කරන කුඩා දැරියන් සිය ගණනකගේ වීඩියෝ සොයා ගැනීම අපහසු නොවේ. ඔවුන් අතර වයස අවුරුදු තුනක් හෝ හතරක් තරම් කුඩා දරුවෝ ද වෙති.
ගැහැනු ළමයින් ඉලක්ක කර ගනිමින් රූපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම අලුත් දෙයක් නොවේ. පසුගිය දශකවල තිබූ ස්ක්‍රබ් සහ ක්ලෙන්සර් මගින් කුරුලෑවලින් තොර සමක් ලබා දෙන බවට පැවසූ අතර, අද වන විට ගැහැනු ළමයි වඩාත් පුළුල් නිෂ්පාදන රැසක් භාවිත කරති. ඉන් බොහොමයක් වයස්ගත වීම වැළැක්වීමේ අමුද්‍රව්‍යවලින් සමන්විත වන අතර, ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ කිසිදු අඩුපාඩුවක් නොමැති සිනිඳු සමක් ලබා ගැනීම යි.
අදාළ සන්නාම මගින් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, ඒවා ප්‍රවර්ධනයේ නිරත වන ඇතැම් තරුණ ගැහැනු ළමයි ඔවුන් "සන්නාම තානාපතිවරුන්" ලෙස හඳුන්වා ගනිමින් බබල්, ඩ්‍රන්ක් එලිෆන්ට් සහ පී. ලුයිස් වැනි සන්නාමයන්හි නිෂ්පාදන ප්‍රදර්ශනය කරති. "දීප්තිමත් සමක් ලබා දෙන ග්ලෝ-බූස්ටින් ක්‍රමවේදයක්" සඳහා K-Pop ඩීමන් හන්ටර් තේමාවන් සහිත සම රැකගැනීමේ නිෂ්පාදන පැකේජ පවා වෙළඳපොළේ දැකගත හැකි ය.
පැහැදිලිව ම දරුවන් ඉලක්ක කරගත් නිෂ්පාදන තිබෙන අතර ම, තරුණ පිරිස් අතර ජනප්‍රිය ඇතැම් සන්නාම පවසන්නේ ඔවුන් මෙම ළමා වෙළඳපොළ සමග සම්බන්ධ වීමට අකමැති බව යි. උදාහරණයක් ලෙස, ඩ්‍රන්ක් එලිෆන්ට් ආයතනයට සම්බන්ධ ආරංචි මාර්ගයක් පවසන්නේ එය "තරුණ පරපුර ඉලක්ක කරගත්" සන්නාමයක් නොවන බව යි. තම නිෂ්පාදන වගකීමෙන් යුතුව භාවිත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට උත්සාහ කරන බව ද ඔවුන් පවසයි.
කෙසේ වෙතත්, බබල් සහ පී. ලුයිස් යන ආයතන මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නොමැත.
එලී-මේ වැනි තරුණ ප්‍රවර්ධකයන්ට අමතරව, තවත් බොහෝ කුඩා දැරියෝ පියවර කිහිපයකින් යුත් මෙම රූපලාවන්‍ය ක්‍රමවේදයන් තම දෛනික ජීවිතයට බද්ධ කරගෙන සිටිති. පයි නමැති සම ආරක්ෂණ සන්නාමයක් විසින් වයස අවුරුදු නවයත් 12ත් අතර පසුවන දරුවන් 1,500ක් ඇසුරින් කරන ලද සමීක්ෂණයකට අනුව, ඔවුන්ගෙන් අඩකට ආසන්න පිරිසක් සතිපතා විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිත කරති. ඉන් අඩක් ම පවසා ඇත්තේ තමන්ට ගැටලුකාරී සමක් ඇතැයි සිතන නිසා ඒවා පිළියම් ලෙස භාවිත කරන බව යි.
එය දැන් බිලියන ගණන් මුදල් සංසරණය වන මහා පරිමාණ කර්මාන්තයක් බවට පත්ව තිබේ. කිසිදු පසුබෑමක සලකුණකින් තොරව, ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වන මෙම වෙළෙඳපොළ තවදුරටත් පුළුල් වෙමින් පවතී. එහෙත්, නියාමකයින් ඇතුළු ඇතැම් පාර්ශව පෙන්වා දෙන්නේ මේ පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව යි.
"වයස අවුරුදු තිස් ගණන්වල සහ හතළිස් ගණන්වල පසුවන කාන්තාවන් ඉලක්ක කරගනිමින්, වයස්ගත වීම කියන්නේ ගැටලුවක් බවත්, ඊට ඇති එක ම විසඳුම තමන් සතු බවත් පවසමින් රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම් කාලයක් තිස්සේ ඔවුන් පසුපස හඹා ගියා," කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය සහ සමාජ මාධ්‍ය පර්යේෂිකාවක වන බෲක් එරින් ඩෆි පවසයි.
"නමුත් දැන් මෙහි පැහැදිලි වෙනසක් සිදුවෙමින් පවතිනවා. අද වන විට ලා බාල වියේ පසුවන දැරියන් පවා මෙම දැඩි පීඩනයට ගොදුරු වෙලා තියෙනවා."
සමාජ මාධ්‍ය වේදිකාවන්ගේ උපකාර ලබා ගනිමින් මෙම කර්මාන්තය අඛණ්ඩව වර්ධනය වන විට පහත ප්‍රශ්න පැන නගියි: ඒක හුදෙක් හානිකර නොවන විනෝදයක් ද, නැත්නම් ගැහැනු ළමයින්ට තමන්ගේ පෙනුමේ යම් වැරැද්දක් තියෙනවා කියලා සිතන්න සලස්වනවා ද? වර්තමානයේ ගැහැනු ළමයින් තමන්ව දකින විදිහ ගැන මෙයින් පෙන්වන්නේ කුමක් ද?
සම සුරැකීමේ ගැඹුර
චර්ම රෝග විශේෂඥයින් සහ විද්‍යාඥයින් විසින් මේ වන විට නව යෙදුමක් හඳුන්වා දී තිබේ. ඒ කොස්මෙටිකොරෙක්සියා යන්න යි. ඔවුන් මෙය අර්ථ දක්වන්නේ කුඩා වයසේ සිටම කිසිදු අඩුපාඩුවක් නොමැති, "පිරිපුන්" සමක් ලබා ගැනීම සඳහා ඇති වන අස්වාභාවික උන්මාදය සහ ඒ හේතුවෙන් රූපලාවන්‍ය නිෂ්පාදන අධික ලෙස භාවිත කිරීමට පෙළඹීමයි. මිලාන් විශ්වවිද්‍යාලයේ ඉතාලි ජාතික චර්ම රෝග විශේෂඥයෙකු වන මහාචාර්ය ජියෝවානි ඩැමියානි, තම සායනයට පැමිණෙන බාල වයස්කාර දැරියන් තුළ පැවති මෙම දැඩි ඇබ්බැහිය දැක මහත් කනස්සල්ලට පත් විය. මේ පිටුපස ඇති සැබෑ තත්ත්වය සෙවීම සඳහා ඔහු වහා ම පර්යේෂණයක් ආරම්භ කළේ ය.
එහිදී ඔහු වයස අවුරුදු 8ත් 14ත් අතර පසුවන ඔහු වෙත පැමිණි රෝගීන් 55 දෙනෙකු සමග සාකච්ඡා කළේ ය. මෙම කොස්මෙටිකොරෙක්සියාහි ලක්ෂණ පෙන්නුම් කළ දැරියන් ස්මාර්ට් ජංගම දුරකථනවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අතර, සමාජ මාධ්‍ය ඔස්සේ රූපලාවන්‍ය උපදෙස් ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා පැය ගණනාවක් ගත කොට ඇති බව ඔහු පැහැදිලි කරයි. එමෙන් ම, ඔවුන් දිනකට විවිධ වර්ගයේ සම සුරැකුම් නිෂ්පාදන 10ක් දක්වා භාවිත කිරීමට පුරුදුව සිටි අතර රූපලාවන්‍ය ආලේපන නොමැතිව තම පවුලේ සාමාජිකයන් සමග පවා සමාජීය වශයෙන් ඇසුරු කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කරති.
සෙෆොරා සහ බෙනෙෆිට් වැනි ලොව සුප්‍රකට රූපලාවන්‍ය සන්නාමයන්හි හිමිකාරිත්වය දරන LVMH සමාගමට එරෙහිව ඉතාලි තරගකාරීත්ව අධිකාරිය විසින් මේ වන විට විශේෂ පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබේ. මෙම නිෂ්පාදන ළමයින් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා සුදුසු නොවන බව පාරිභෝගිකයාට පැහැදිලිව පෙන්වා දීමට මෙම සන්නාම අපොහොසත් වී ඇත්දැයි එහිදී පරීක්ෂා කෙරේ. එමෙන් ම, බාල වයස්වල පසුවන ක්ෂුද්‍ර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් යොදාගනිමින්, සූක්ෂම අලෙවිකරණ උපක්‍රම හරහා මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ළමයින්ව පොලඹවන්නේද යන්න පිළිබඳවද එහිදී විමර්ශනය කෙරේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, තමන් ඉතාලි බලධාරීන්ට පූර්ණ සහයෝගය දක්වන බව සහ ඉතාලියේ පවතින අදාළ නීති රීති තමන් අකුරටම පිළිපදින බව යි.
"තරුණ පාරිභෝගිකයින් සහ සම රැක ගැනීම පිළිබඳ සංවාද නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිනවා. ඒ නිසා අපගේ සියලුම පාරිභෝගිකයින්ට වඩා හොඳ මගපෙන්වීමක් සහ සහයෝගයක් ලබා දීම සඳහා අපගේ රූපලාවන්‍ය උපදේශකයින් ලබා දෙන උපදෙස්වල ගුණාත්මකභාවය අපි දිගින් දිගටම ඉහළ නංවනවා," එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
LVMH සමාගම සතුව "විශේෂයෙන් ම කුඩා දරුවන් ඉලක්ක කරගත්" කිසිදු නිෂ්පාදනයක් හෝ අලෙවිකරණ ව්‍යාපාරයක් නොමැති බවත්, තමන් කටයුතු කරන්නේ වයස අවුරුදු 18ට වැඩි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමඟ පමණක් බවත් ඔවුහු අවධාරණය කරති.
එක්සත් රාජධානියේ ප්‍රචාරණ ප්‍රමිති අධිකාරිය පවසන්නේ තමන් ඉතාලියේ සිදුවන මෙම වර්ධනයන් පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන බව යි. තම රට තුළ ද මෙවැනි ම තත්ත්වයක් පවතී ද යන්න පිළිබඳව සාක්ෂි සොයමින් සිටින බව තහවුරු කළ ද ඔවුන් පවසන්නේ " අප මේ මොහොතේ කිසිදු නිල නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව," යි.
මෙම රූපලාවන්‍ය නිෂ්පාදන කිසිසේත් ම ලාභදායී ඒවා නොවේ. වයස අවුරුදු 18ට අඩු දරුවන් විසින් සිදු කරනු ලැබූ ටික්ටොක් 100ක් ඇසුරෙන් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, ඔවුන් ප්‍රදර්ශනය කළ දෛනික රූපලාවන්‍ය කටයුතු සඳහා සාමාන්‍යයෙන් පවුම් 125කට අධික පිරිවැයක් වැය වන බව යි. භාවිත කරන ආකාරය අනුව, සෑම මාස තුනකට හෝ හතරකට වරක් මෙම නිෂ්පාදන නැවත මිලදී ගැනීමට ඔවුන්ට සිදු වේ.
පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනය ලබන වයසේ පසුවන දරුවන් පවා කොරියානු ග්ලාස් ස්කින් පෙනුම ලබා ගැනීමට උත්සහ කරන අතර ඒ වෙනුවෙන් ඔවුහු ක්ලෙන්සර්, ටෝනර්, ප්‍රයිමර්, මොයිස්චරයිස් , සීරම්, අයි ක්‍රීම් සහ ෆේස් මිස්ට් ආදී දෑ දිගින් දිගට ම භාවිත කිරීමට පුරුදු වී සිටිති.
"මේකේ තියෙන උත්ප්රාසය මොකක්ද කිව්වොත්, ඔවුන් මේ සොයන පෙනුම දැනටමත් ඔවුන් සතුව තිබීමයි. කුඩා කාලයේදී කෙනෙකුගේ සම පවතින්නේ උපරිම නිරෝගී මට්ටමකයි," බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජේන් අයර් පවසයි.
"බාහිර විෂ ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වීම වළක්වන, සමේ තෙතමනය ආරක්ෂා කරන සමේ ආවරණය ළමා වියේදී ඉතා අලංකාර ලෙස ආරක්ෂා වෙලා තියෙනවා, තාරුණ්‍යය කියන්නෙත්, සමේ නියම සුන්දරත්වය කියන්නෙත් අන්න ඒකට යි."
වසර 20කට ආසන්න කාලයක් සේවයේ නියුතු වෛද්‍ය අයර් පවසන්නේ, පෙර කිසිදු කලෙක නොවූ විරූ අයුරින් වර්තමානයේදී කුඩා දරුවන් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතයට පෙළඹී ඇති බව යි. ඇය වෙත පැමිණෙන රෝගීන්ගේ ස්වභාවය එකිනෙකට බෙහෙවින් වෙනස් ය. එක් පැත්තකින් තම කුඩා දරුවාට භාවිත කළ හැකි හොඳ ම රූපලාවන්‍ය ක්‍රමවේදය කුමක්දැයි විමසන දෙමාපියෝ ඇය වෙත පැමිණෙති. රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතය නිසා ඇති වූ දරුණු අසාත්මිකතා හේතුවෙන් ප්‍රතිකාර පතා පැමිණෙන වයස අවුරුදු අටක් තරම් වූ කුඩා දරුවන්ද ඇයගේ සායනයෙන් වාර්තා වේ. ඇය පවසන්නේ මේ තත්ත්වය දැක දෙමාපියන් දැඩි ලෙස බියට පත්ව සිටිය ද, මෙතරම් විවිධ නිෂ්පාදන ප්‍රමාණයක් භාවිත කිරීමෙන් තම දරුවන් මුදවා ගැනීමට ඔවුන් අපොහොසත් වී ඇති බව යි.
"ඇත්තට ම මේක භයානක තත්ත්වයක්," වෛද්‍ය අයර් පවසයි. "මෙම නිෂ්පාදන සැලසුම් කර තිබෙන්නේ වයස්ගත වීම වැළැක්වීමේ වෙළෙඳපොළ වෙනුවෙන්. ඉතා ම සාධාරණව බැලුවත්, දරුවන්ට මේවායින් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. නරක ම දේ තමයි, මේවායේ අඩංගු සැර රසායනික ද්‍රව්‍ය මගින් දරුවන්ගේ සියුම් සමට දැඩි ලෙස හානි සිදුවෙන්න පුළුවන් කියන එක."
ළමුන් මෙලෙස විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතට නැඹුරු වීමෙන්, කුරුලෑ (Acne) සහ බාහිර ද්‍රව්‍යයක් සමේ ස්පර්ශ වීම නිසා හටගන්නා දද වැනි රෝගී තත්ත්වයන් සහිත බාල වයස්කාර රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් තමන් මේ දිනවල දකින බව ඇය පවසයි.
මෙම නිෂ්පාදන බොහොමයක සමේ සෛලවලට ජීව විද්‍යාත්මකව බලපෑම් කළ හැකි සක්‍රීය සංඝටක අඩංගු වන අතර, එමගින් සමේ ස්වාභාවික ක්‍රියාකාරීත්වය වෙනස්කම්වලට ලක්වේ. මෙයින් වඩාත් ම ප්‍රබල සංඝටකයක් වන්නේ රෙටිනෝල් ය. රෙටිනෝල් මගින් සමේ සෛල අලුත් වීමේ ක්‍රියාවලිය වේගවත් කරන අතර, එමගින් වැඩිහිටියන්ගේ මුහුණේ ඇති වන සිහින් රැලි වැටීම් අවම කරයි. එහෙත්, කුඩා දරුවන්ගේ සිරුරේ මෙම ක්‍රියාවලිය දැනටමත් ඉතා ඉහළ වේගයකින් ස්වභාවිකව ම සිදු වේ. එබැවින් ළමයින්ට රෙටිනෝල් භාවිතයෙන් කිසිදු සැබෑ වාසියක් අත් නොවන අතර, එමගින් සිදුවන්නේ ඔවුන්ගේ සම අනවශ්‍ය ලෙස උත්තේජනය වීම පමණි.
මෙම අහිතකර බලපෑම අවසානයේ "රෙටිනෝල් පිළිස්සුම්" තත්වය දක්වා දුරදිග යා හැකි ය. එහිදී සම ආරක්ෂා කරන ස්වාභාවික ආවරණයට හානි සිදු වේ. ප්‍රතිඵලයක් ලෙස දරුවන්ට සමේ දැඩි වේදනාව, දද වැනි බිබිලි මතුවීම හෝ දිගුකාලීන සමේ සංවේදීතාව වැනි පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැක.
මෙවැනි නිෂ්පාදන තුළ ළමා සමට බරපතළ හානි කළ හැකි තවත් බොහෝ සංඝටක අඩංගු වන බවට වෛද්‍ය අයර් අනතුරු අඟවයි. වඩාත් ම භයානක කරුණ නම්, කුඩා දරුවෙකුගේ සම යම් රසායනික ද්‍රව්‍යයකට මෙලෙස අසාත්මික වුවහොත් ඔවුන්ට තම ජීවිත කාලය පුරාවටම එම සංඝටකය අඩංගු කිසිදු නිෂ්පාදනයක් අතුරු ආබාධයකින් තොරව භාවිත කිරීමට නොහැකි වී යාම යි.
තරුණ තරුණියන් අතර නළල දෙපසින් සහ හිසේ ඉදිරිපසින් හිසකෙස් හැලී යාමේ වර්ධනයක් වර්තමානයේ දක්නට ලැබෙන බව චර්ම රෝග විශේෂඥයන් නිරීක්ෂණය කර ඇතැයි ඇය පවසයි. මෙලෙස කුඩා අවධියේදීම විවිධ වර්ගයේ මුහුණු ආලේපන (ෆේස් ක්‍රීම්) බහුලව භාවිත කිරීමට පෙළඹීම මෙම තත්ත්වයට හේතු විය හැකි බවට මේ වන විට නව මතයක් ද ගොඩනැගෙමින් පවතින බව ද ඇය පෙන්වා දෙයි.
එක්සත් රාජධානියේ රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්රය පෙන්වා දෙන්නේ කුඩා දරුවන් තම වයසට ගැළපෙන නිෂ්පාදන පමණක් භාවිත කරන්නේදැයි සොයා බැලීමට මවුපියන්ට අවශ්‍ය උපදෙස් හා සහාය ලබා දිය යුතු බව යි. රූපලාවන්‍ය සමාගම් රැසක් නියෝජනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ පුද්ගලික සත්කාර නිෂ්පාදන සංගමය (CTPA) මෑතකදී මවුපියන් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහයක් ද නිකුත් කර තිබේ. ඔවුන් විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව ඒ සඳහා සහභාගී වූ මවුපියන්ගෙන් 40%ක් ම, එනම් දහසකට ආසන්න පිරිසක් පිළිගෙන ඇත්තේ තමන්ට වඩා තම දරුවන් රූපලාවන්‍ය නිෂ්පාදන පිළිබඳව දන්නා බව යි.
එම සංගමයේ අධ්යක්ෂ ජනරාල් ඩොක්ටර් එමා මෙරඩිත් පවසන්නේ, කුඩා දරුවන් වයස්ගත වීම වැළැක්වීමේ ආලේපන හෝ අනවශ්‍ය ලෙස සංකීර්ණ රූපලාවන්‍ය සත්කාර සඳහා යොමු වීම කිසිසේත් ම අනුමත නොකරන බව යි.
"අපගේ අරමුණ වන්නේ සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන නිෂ්පාදන නිවැරදිව භාවිත කරන බව තහවුරු කිරීම යි. එමගින් තරුණ පරපුරට තම වයසට ගැළපෙන, සෞඛ්යාරක්ෂිත රූපලාවන්‍ය පුරුදු ඇති කර ගැනීමට මග පෙන්වන අතර ම, මවුපියන්ට ද මේ පිළිබඳව තම දරුවන් සමඟ විවෘතව සාකච්ඡා කිරීමට අවශ්‍ය සහාය අප ලබා දෙනවා," ඇය පැවසුවා ය.
එලී-මේගේ මව වන සොෆී පවසන්නේ ඇය තම දියණිය භාවිත කරන නිෂ්පාදනවල අඩංගු ද්‍රව්‍ය පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් වන බව යි. රෙටිනෝල් වැනි ප්‍රබල රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන ඇසුරුම්වලින් ඉවතට ගෙන පෙන්වීමට තම දියණියට ඉඩ දීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ ඇයව විවේචනය කර තිබිණි. නමුත් සොෆී පවසන්නේ එම රසායනික ද්‍රව්‍ය දරුවන්ගේ සමට අහිතකර බව තමන් හොඳින් ම දන්නා බැවින්, එවැනි කිසිදු නිෂ්පාදනයක් තම දියණියගේ සමට "සමීප වීමටවත්" ඉඩ නොදෙන බව යි. එමෙන් ම, තම දියණිය ඉගෙන ගන්නා පාසල හෝ ඔවුන් පදිංචි ස්ථානය වැනි පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය වෙත අනාවරණය නොකිරීමට ඇය වගබලා ගන්නා අතර ඔවුන්ගේ ගිණුම් වෙත ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවෙයි.
ප්රමුඛ පෙළේ රූපලාවන්‍ය සමාගම්වල නව නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමේ උත්සව සඳහා එලී-මේ නිරන්තරයෙන් සහභාගී වෙයි. එහිදී විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන අත්හදා බැලීමට මෙන්ම අනෙකුත් අන්තර්ගත නිර්මාණකරුවන් සමග සුහදව අදහස් හුවමාරු කර ගැනීමට ද ඇයට අවස්ථාව ලැබෙන අතර, ඇය පවසන්නේ එය ඉතා විනෝදජනක අත්දැකීමක් බව යි. මේ වන විට ඇය සහ සොෆී එක්ව ඔවුන්ගේ ම තරුණ පරපුර ඉලක්ක කරගනිමින් නවතම සත්ව නිෂ්පාදනවලින් තොර රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දීමට සූදානම් වෙමින් සිටිති.
දහතුන් හැවිරිදි වියේ පසුවන එලී-මේ ඇතැම් විටෙක ඇගේ වයසට වඩා මුහුකුරා ගිය පෙනුමක් මෙන් ම, තවත් විටෙක ඇගේ සැබෑ වයසට ගැලපෙන ළදරු පෙනුමක් ද විදහා දක්වයි. මෘදු ස්වරයකින් කතා කරන ඇය, ඉතා කල්පනාකාරී මෙන් ම තම අදහස් පැහැදිලිව ප්‍රකාශ කළ හැකි දැරියකි. කෙසේ වුව ද, ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී ඇය තම මව දෙස බලනු දක්නට ලැබේ. දිගු, අලංකාර ලෙස සකසන ලද නියපොතු සහිත ඇය ආලේපන ගල්වා පැමිණ සිටිය ද එය ඉතා ස්වභාවික පෙනුමකින් යුක්ත විය. "දැන් මේකප් කරන එක මට සාමාන්‍ය දෙයක් වගේ දැනෙනවා," ඇය පවසයි.
උපක්රමශීලි කැඩපත
සමාජ මාධ්‍ය හරහා තමන් ලැබූ සාර්ථකත්වය තම ජීවිත වඩාත් අර්ථවත් කළ බව සොෆී පවසයි. එහෙත්, සමාජ මාධ්‍ය පිළිබඳ මනා වැටහීමක් ඇති, රූපලාවන්‍ය කෙරෙහි පමණට වඩා ඇලුම් කරන මෙම තරුණ පරපුර, අනාගතයේදී තමන් කෙබඳු විය යුතු ද සහ තම බාහිර පෙනුම කෙසේ තිබිය යුතු ද යන්න පිළිබඳව විකෘති වූ ආකල්පයක් ඇති කරගනු ඇතැයි මනෝවිද්‍යාඥයෝ අනතුරු අඟවති.
ඉතාලි ජාතික මනෝවිද්‍යාඥ ඇල්බර්ටෝ ස්ටෙෆානා, ඩැමියානි සමග එක්ව කොස්මෙටිකොරෙක්සියා පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් සම්පාදනය කළේ ය. ඔහු පවසන්නේ ළමයින් තම "ස්වයං අනන්‍යතාවය ගොඩනගා" ගන්නා වයසේදී මෙවැනි දේවලට යොමුවීමෙන්, ඔවුන් වයසින් මුහුකුරා යන විට "තම සැබෑ ස්වරූපය පිළිගැනීමට" අපොහොසත් විය හැකි බව යි.
"රූපලාවන්‍ය නිෂ්පාදන කෙරෙහි දැඩි ලෙස ඇබ්බැහි වන දරුවන් බොහෝ විට මෙහෙයවනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දකින දේ මගින්."
ඒ නිසා ඔවුන්ගේ ආත්ම අභිමානය තීරණය වෙන්නේ ඔවුන්ට ලැබෙන ලයික්ස් ප්‍රමාණය හෝ කමෙන්ට් මතයි."
මෙම කොස්මෙටිකොරෙක්සියා ලෙස හඳුන්වන තත්ත්වය මෑතකදී ඉස්මතු වූ ප්‍රවණතාවක් බැවින්, එමගින් ඇති විය හැකි දිගුකාලීන මානසික බලපෑම් නිශ්චිතව ම ප්‍රකාශ කිරීම අපහසු ය. එහෙත් ස්ටෙෆානාගේ නවතම පර්යේෂණවලට අනුව, මෙහි ඇති ඇතැම් ලක්ෂණ ශරීර විරූපී ව්‍යාකූලතාවය (BDD) සමග සෘජුව ම සම්බන්ධ වේ. මෙය තමන්ගේ බාහිර පෙනුමේ පවතින අඩුපාඩු පිළිබඳව සිතමින් පුද්ගලයෙකු තුළ දැඩි ලැජ්ජාවක් සහ කාංසාවක් ඇති කරන මානසික රෝගී තත්ත්වයකි.
එමෙන් ම, වයස අවුරුදු හතක් හෝ අටක් තරම් මුල් අවදියේ පසුවන දරුවන් පවා මෙම රූපලාවන්‍ය ඇබ්බැහියේ රෝග ලක්ෂණ පෙන්වන අතර, ඔවුන් තුළින් දැනටමත් කාංසාව සහ ලැජ්ජාව වැනි ලක්ෂණ දක්නට ලැබෙන බව ඔහු අනතුරු අඟවයි.
"තමන් තුළ ඇති වන දැඩි ලැජ්ජාව නිසා සමහර දරුවන් පාසල් යාම පවා ප්‍රතික්ෂේප කරනවා. එම ලැජ්ජාව ඇති වෙන්නේ සමාජ මාධ්‍ය හරහා තමන්ව අන් අය සමග සංසන්දනය කිරීමෙන් සහ තමන් අන් අයට වඩා ලස්සන මදි කියා සිතන නිසායි," මෙම තත්ත්වය කෙතරම් දරුණු විය හැකිද යන්න පිළිබඳ පැහැදිලි කරමින් ඔහු පවසයි.
ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි පුද්ගල සමාජභාවය සහ අධ්‍යාපන සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෙසිකා රින්ග්රෝස් ද මෙම මතය අනුමත කරයි. "ළමයින් මේ දේවල් දකිද්දී හිතන්නේ මේක තමයි සාර්ථක ජීවිතය එහෙමත් නැත්නම් ජීවත් වෙන්න ඕනෙම විදිහ කියලා."
"තමන්ට මෙම 'පරිපූර්ණ පෙනුම' හෝ 'පරිපූර්ණ ජීවිතය' ළඟා කරගන්න බැරි වුණා ම , තමන් ජීවිතයෙන් අසාර්ථක වෙලා කියලා ඔවුන් හිතන්න පෙළඹෙනවා."
ටික්ටොක් සමාගම පවසන්නේ නව යොවුන් වියේ පසුවන්නන් අන්තර්ජාලය තුළ ආරක්ෂා කිරීමට විශේෂ ආරක්ෂිත පියවර තමන් සතු බවත්, වයස අවුරුදු 18ට අඩු දරුවන් ඉලක්ක කරගනිමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඉඩ නොදෙන බවත් ය. එමෙන් ම, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන්ට අවශ්‍ය සහය සහ තොරතුරු ලබාදෙන බවත්, සිය වේදිකාව තවදුරටත් දියුණු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව එහි සිටින තරුණ උපදෙස් මණ්ඩලය හරහා නව යොවුන් තරුණ තරුණියන්ගෙන් නිරන්තරයෙන් අදහස් විමසන බවත් ඔවුහු පවසති. මීට අමතරව, සමේ සෞඛ්‍යය පිළිබඳව චර්ම රෝග විශේෂඥයින්ගේ උපදෙස් ලබාගනිමින් ස්වයං අධ්‍යයනයෙන් ඉගෙන ගැනීමට ද තරුණ ප්‍රජාව ටික්ටොක් මාධ්‍යය භාවිත කරන බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලයන්හි හිමිකාරිත්වය දරන මෙටා සමාගමෙන් මේ පිළිබඳව අදහස් විමසූව ද, ඔවුන් මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැත.
රින්ග්රෝස් සහ මා විසින් අදහස් විමසූ අනෙකුත් විශේෂඥයින් පෙන්වා දෙන්නේ, මෙය සමාජ මාධ්‍ය සමාගම්වලට පමණක් සීමා වූ ගැටලුවක් නොවන බව සහ මෙහි වගකීම අදාළ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කරන සන්නාම මෙන්ම දෙමාපියන් ද භාරගත යුතු බව යි.
"ළමයෙක් ම සන්නාමයක තානාපතිවරයෙක් විදිහට පෙනී සිටිමින් මේ ලෝකය ගැන අනෙක් දරුවන්ට හඳුන්වා දෙනකොට, ඒ දේ සමාජය ඇතුළේ සාධාරණීකරණය වෙනවා," රින්ග්රෝස් පවසයි.
නමුත් අනෙක් අතට, අප ජීවත් වන්නේ දිනෙන් දින පුළුල් වන ඩිජිටල් ලෝකයක් සමග එහි ම කොටස්කරුවන් වෙමිනි. මෙය ළමා වියේදී මුහුණ දීමට සිදුවන, මග හැරිය නොහැකි තවත් එක් සංකීර්ණ අභියෝගයක් නොවේ ද? දරුවන්, විශේෂයෙන් ම මෙහිදී ගැහැනු ළමුන් ඩිජිටල් අවකාශය තුළ තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට හෝ එහි ඉදිරියටම යාමට යම් ක්‍රමවේදයක් ඉගෙන ගැනීම පමණක් නොවේ ද?
ස්ටෙෆානා මෙයට එකඟ නොවේ. ඔහු පවසන්නේ ළමුන් සහ තරුණ පිරිස් සැබෑ ලෝකයේ නොපවතින, හුදෙක් ඩිජිටල් අවකාශයට පමණක් සීමා වූ බාහිර පෙනුමක් හෝ මෝස්තරයක් තමන් වෙත ළඟා කර ගැනීම සඳහා අතිවිශාල කාලයක් හා මුදලක් වැය කරමින් සිටින බව යි.
"දැන් මිනිස්සු ලස්සන සහ කැත මනින විදිහ පවා සම්පූර්ණයෙන් ම නරක තත්ත්වයකට හැරෙමින් තිබෙන්නේ," ඔහු පවසයි.
"සමාජ මාධ්‍ය තුළ භාවිත කරන විවිධ ෆිල්ටර්ස් සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය නිසා අද ළමයින් දකින සමහර රූප ඇත්ත ඒවා නෙවෙයි. ඉතින් ඔවුන් මේ ලුහුබඳිමින් යන්නේ සැබෑ ලෝකයේ කොහෙත්ම නැති දෙයක්."