ඩොනල්ඩ් ට්‍රම්ප් සමග චීන සංචාරයට එක්ව සිටින ලොව ප්‍රධාන සමාගම්වල විධායක නිලධාරීන් කවුද?

    • Author, කැලී හේස්
    • Role, තාක්ෂණ වාර්තාකරු
    • Author, ආචී මිෂෙල්
    • Role, ව්‍යාපාරික වාර්තාකරු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය චීන සංචාරය සඳහා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සහ තාක්ෂණ සමාගම් කිහිපයක විධායක නිලධාරීන් කිහිප දෙනෙකු රැගෙන ගොස් තිබේ.

Nvidiaහි ජෙන්සන් හුවාං, Apple සමාගමේ ටීම් කුක්, ටෙස්ලා සහ SpaceX සමාගමේ ඊලෝන් මස්ක්, BlackRockහි ලැරී ෆින්ක් මෙන් ම මේටා, වීසා, ජේ.පී. මෝර්ගන්, බෝයිං සහ කාර්ගිල් ඇතුළු තවත් සමාගම් රැසක විධායක නිලධාරීන් රැසක් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ බීජිං නිල සංචාරයට එක්ව සිටිති.

මෙම සංචාරයේදී ට්‍රම්ප් සමග ඇමෙරිකානු ව්‍යාපාරික විධායක නිලධාරීන් 12 දෙනෙකුට අධික පිරිසක් එක්වන බව ධවල මන්දිර නිලධාරියෙක් බීබීසීයට පැවසීය.

මෙම සංචාරය ඇමෙරිකා එක්සත් ජනපදයට වැදගත් යැයි සැලකේ. මන්ද ට්‍රම්ප් සහ ජනාධිපති ෂී ජින්පිං අතර හමුවීම සිදුවන්නේ දෙරට අතර ආර්ථික හා තාක්ෂණික ආතතීන් ඉහළ යමින් පවතින කාලයක වන හෙයිනි.

Nvidiaහි දියුණු AI චිප් ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර වර්ධනය වන තරගයේ කේන්ද්‍රස්ථානය වන බැවින්, අවසාන මොහොතේ ජෙන්සන් හුවාං ද මෙම කණ්ඩායමට එක්වීම වැදගත් වේ.

මෙටාහි මාර්ක් සකර්බර්ග් සහ ඔරකල් සභාපති ලැරී එලිසන් වැනි අනෙකුත් ව්‍යාපාරික ප්‍රධානීන් සමග හුවාං ද ට්‍රම්ප්ගේ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ උපදේශක කවුන්සිලයේ සමාජිකයෙකි.

හුවාං, මස්ක්, කුක් සහ ෆින්ක් සමග පහත දැක්වෙන සමාගම්වල විධායක නිලධාරීන් ද චීනයට ගිය නිල ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමේ පිරිසක් ලෙස ට්‍රම්ප් සමග එක්ව සිටිති. එම පිරිස මෙසේ ය.

  • ඩිනා පවෙල් මැක්කෝමික්, මෙටා සමාගමේ සභාපති සහ උපප්‍රධානී
  • කෙලී ඕර්ට්බර්ග්, බෝයිං සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී
  • රයන් මැක්ඊනර්නි, වීසා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී
  • ස්ටීවන් ෂ්වාස්මන්, බ්ලැක්ස්ටෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී
  • බ්‍රයන් සයික්ස්, කාර්ගිල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති
  • ජේන් ෆ්‍රේසර්, Citi සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී
  • ජිම් ඇන්ඩර්සන්, Coherent සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී
  • හෙන්රි ලෝරන්ස් කල්ප්, GE Aerospaceහි ප්‍රධාන විධායක නිලධාරී
  • ඩේවිඩ් සොලමන්, Goldman Sachs සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී
  • ජේකබ් තයිසන්, Illumina සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී
  • මයිකල් මයිබෑක්, මාස්ටර්කාඩ් සමාගමේ සභාපති

ඉහත සඳහන් 11 දෙනාට අමතරව, Micron Technology සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සංජෙයි මෙහ්රෝත්‍රා ද ට්‍රම්ප්ගේ නියෝජිත කණ්ඩායමට එක්ව තිබීම සුවිශේෂී කරුණකි.

2023 දී ජාතික ආරක්ෂක හේතු මත චීනය විසින් තීරණාත්මක යටිතල පහසුකම් සඳහා ඇතැම් මයික්‍රෝන් චිප් භාවිතය සීමා කළ බැවින් මෙම සංචාරය සඳහා ඔහුගේ එක්වීම සුවිශේෂී වේ. චීනය විසින් ගනු ලැබූ මෙම තීරණය තම ව්‍යාපාර සඳහා බලපෑමක් එල්ල කළ බව මයික්‍රෝන් සමාගම පවසයි.

තාක්ෂණය සහ අපනයන පාලනය සම්බන්ධයෙන් පවතින ආතතීන් මධ්‍යයේ වුව ද, අර්ධ සන්නායක එක්සත් ජනපද-චීන ​​ආර්ථික සම්බන්ධතාවයේ කේන්ද්‍රීය ස්ථානය ලෙස පවතී.

Ciscoහි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති චක් රොබින්ස්හට සංචාරයට එක්වන ලෙස ආරාධනා කර තිබුණ ද, 'ආදායම් ආශ්‍රිත කටයුතු හේතුවෙන්' ඔහුට එයට එක්වීමට නොහැකි බව සමාගමේ ප්‍රකාශිකාවක් පැවසීය.

මෙම විධායක නිලධාරීහු ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාජ මාධ්‍ය, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, පරිගණක චිප් සහ නිෂ්පාදන ඇතුළු පුළුල් පරාසයක විහිදෙන සමාගම් නියෝජනය කරති.

කැලිෆෝනියාවේ පිහිටි ජෛව තාක්‍ෂණ සමාගමක් වන Illuminaහි ප්‍රකාශිකාවක පැවසුවේ, තයිසන්ට මෙම නියෝජිත පිරිස සමග එක්වීමට ලැබීම ගෞරවයක් බවත්, මෙම සංචාරය සබඳතා ශක්තිමත් කිරීමට සහ නිරවද්‍ය වෛද්‍ය විද්‍යාවේ අනාගතයට සහය වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ය.

අනෙකුත් සමාගම්වල නියෝජිතයින් අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීම්වලට වහා ම ප්‍රතිචාර දැක්වූයේ නැත.

පරිගණක චිප් සහ AI සම්බන්ධයෙන් ඇමෙරිකානු-චීන එදිරිවාදිකම්වලට මැදි වූ සමාගමක් වන Nvidiaහි ප්‍රධානී ජෙන්සන් හුවාං දූත පිරිසේ මුල් ලැයිස්තුවේ නොසිටියේ ය.

ඇලස්කාවේ ඇන්කරේජ්හිදී එයාර් ෆෝස් වන් ගුවන් යානය ඉන්ධන පිරවීම සඳහා නතර කළ අවස්ථාවේදී අනපේක්ෂිත ලෙස හුවාං ද බීජිං බලා යන ගුවන් යානයට ගොඩ වී තිබිණි.

"ඇමරිකා එක්සත් ජනපදයට සහ පරිපාලනයට සහය වීම සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ ආරාධනයෙන් ජෙන්සන් සමුළුවට සහභාගී වනවා,"යැයි Nvidia ප්‍රකාශකයෙක් බීබීසීයට පැවසීය.

සංචාරයට එක්වීමට නියමිත විධායක නිලධාරීන්ගේ ලැයිස්තුවේ හුවාං නොමැති බව ට්‍රම්ප් දැනගත් පසු, ඔහු අඟහරුවාදා උදෑසන Nvidia ප්‍රධානියාට දුරකතනයෙන් කතා කර ඔහුට ආරාධනා කළ බව බීබීසීයට දැන ගැනීමට ලැබිණි.

පසුව ට්‍රම්ප්, හුවාංට සංචාරය සඳහා ආරාධනා කර නොමැති බවට පළවූ මාධ්‍ය වාර්තාවන්ට ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය.

"ජෙන්සන් දැනටමත් එයාර් ෆෝස් වන් ගුවන් යානයේ සිටිනවා මම ඔහුට ඉන් ඉවත් වෙන්න කියලා නොකියන තාක්. නමුත් එහෙම සිදුවේවි කියා සිතන්න අමාරු යි. CNBC වාර්තාව අසත්‍යක්, නැත්නම් එය දේශපාලනයේ කියන විදිහට ව්‍යාජ ප්‍රවෘත්තියක්" යනුවෙන් ඔහු සමාජ මධ්‍යයේ සටහනක් තබා තිබිණි.

ට්‍රම්ප්ගේ චීන සංචාරය වසර 10කට ආසන්න කාලයකින් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු විසින් සිදු කරනු ලබන පළමු සංචාරය වන අතර දෙපාර්ශ්වය ම ඇතැම් විට 100% ඉක්මවන තීරුබදු පැනවීමෙන් පසු දෙරට අතර ශක්තිමත් නොවන වෙළෙඳ ගිවිසුමක විශේෂ පරීක්ෂාවක් ලෙස සැලකේ.

දකුණු කොරියාවේදී පැවති ට්‍රම්ප් සහ ෂී අතර අවසන් හමුවෙන් පසුව, 2025 ඔක්තෝබර් මාසයේදී තීරුබදු අත්හිටුවන ලදී.

ට්‍රම්ප් සහ ෂී අතර සාකච්ඡා ප්‍රමාද කිරීමට බලපෑ ඉරානයට එරෙහි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය කරන යුද්ධය මෙම රැස්වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

යුද්ධය අවසන් කිරීම සඳහා ටෙහෙරානය සහ වොෂින්ටනය අතර ගිවිසුමකට මැදිහත් වීමට උදව් කරන ලෙස ට්‍රම්ප්, අඩු මිලකට ඉරාන ඉන්ධන මිල දී ගන්නා ප්‍රධාන ගැනුම්කරු වන චීනයෙන් ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීනයට ද ගැටුම අවසන් කිරීමට අවශ්‍ය ය. එය රටට ඉන්ධන සැපයුම සීමා කර ඇති අතර, චීන භාණ්ඩ ආනයනය කරන ලොව පුරා අනෙකුත් රටවල මිල දී ගැනීමේ හැකියාවට එය බලපා තිබේ.

නමුත් චීනය සතු අතිවිශාල ඉන්ධන සංචිත සහ විවිධාකාර බලශක්ති සැපයුම් හේතුවෙන්, බොහෝ අසල්වැසි රාජ්‍යයන්ට සාපේක්ෂව යුද්ධයේ බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමට චීනයට මේ දක්වා හැකි වී තිබේ.

අතිරේක වාර්තාකරණය: පීටර් හොස්කින්ස්