ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උතුරේ ධීවර ගැටලුව: තමිල්නාඩු මහ ඇමති විජෙයිගේ අත පෙවීමෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම කුමක් ද?
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු ඉක්මනින් නිදහස් කර ආරක්ෂිතව නැවත ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ඉල්ලා තමිල්නාඩු මහ ඇමති සී. ජෝසප් විජෙයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් වෙත ලිපියක් යොමු කර තිබේ.
තමිල්නාඩු රජය විසින් ඊයේ (මැයි 12) නිකුත් කරන ලද නිවේදනයකට අනුව, රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ මන්ඩපම්හි ධීවරයින් පිරිසක් ජාත්‍යන්තර සමුද්‍රීය සීමාව (IMBL) උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම ධීවරයින් මැයි 10 වන දින මුහුදු ගොස් ඇති බවත්, එම පිරිස සහ ඔවුන් රැකියාව සඳහා පිටත්ව ගිය ධීවර බෝට්ටුව ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
'සියලු ම ක්‍රියාමාර්ග ගන්න'
අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස සහ ඔවුන්ගේ බෝට්ටුව හැකි ඉක්මනින් නිදහස් කර ගැනීම සඳහා පවතින සියලු ම රාජ්‍ය තාන්ත්‍රික මාර්ග භාවිත කරන ලෙස තමිල්නාඩු මහ ඇමති විජෙයි ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා බන්ධනාගාරවල ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු දැනට රඳවා සිටින බවත්, ශ්‍රී ලංකා බලධාරීන් ධීවර බෝට්ටු 264ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකා බලධාරීන්, මුහුදු සීමාවන් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර ගැටලුවක් ලෙස දිගින් දිගට ම පවතී.
'අත්අඩංගුවට ගන්නේ මුහුදු සීමාවන් උල්ලංඝනය කරන නිසා'
ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බීබීසී සිංහල නාවික හමුදාවෙන් කළ විමසීමකදී එහි මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවේ, ඉන්දීය ධීවර කාර්මිකයින් මුහුදු සීමා උල්ලංඝනය කිරීම සහ මෙරට ජල තීරයේ මසුන් මැරීම යන නීතිවිරෝධී කටයුතුවල නියැලීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා බව ය.
"ඉන්දීය ධීවර ජනතාව මෙහෙම අත්අඩංගුවට පත්වෙන්නේ ජාත්‍යන්තර සමුද්‍රීය සීමාව උල්ලංඝනය කරගෙන ඇවිල්ලා නීතිවිරෝධී විදිහට ධීවර කටයුතුවල නියැලෙන නිසා. නැතුව වෙන හේතුවක් නිසා නෙමෙයි ඒ අයව අත්අඩංගුවට ගන්නේ. ඒක තමයි ධීවර පනතේ තියෙන්නේ. ෆොරින් වෙසල් (විදේශීය නෞකාවකට) එකකට ඇවිල්ලා අපේ රටේ මත්ස්‍ය සම්පත නීතිවිරෝධී විදිහට අල්ලන්න බැහැ. මුහුදු සීමාව උල්ලංඝනය කරන එක වගේ ම නීතිවීරෝධි විදිහට ධීවර කටයුතුවල නියැලෙන එකත් තහනම් ආම්පන්න භාවිත කිරීම කියන කරුණු නිස යි," නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අදහස් සහ යෝජනා
මේ අතර, තමිල්නාඩු මහ ඇමතිවරයාගේ නිල X සමාජ වේදිකාවේ පළකර ඇති, ඉන්දීය ධීවරයින් සම්බන්ධ ලිපියට බොහෝ පරිශීලකයින් අදහස් පළකර තිබේ.
එහිදී විනෝද් ජේම්ස් නමැත්තෙකු අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, තමිල්නාඩු මහ ඇමති විජෙයිහට ශ්‍රී ලංකාවට ගොස් බලධාරීන් සමග සාකච්ජා කිරීමෙන් ධීවරයින් සම්බන්ධ ගැටලුව නිරාකරණය කර ගැනීමට අවස්ථාව උදාවනු ඇති බව ය.
මේ අතර, එස්.ඒ. නිමලන් නමැති පරිශීලකයෙකු පෙන්වා දී ඇත්තේ, මෙම ගැටලුවට ප්‍රධාන හේතුව ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී මුහුදු සම්පත් කොල්ලකෑම බව ය.
"මහ ඇමති විජෙයි, ඔබතුමා තමිල්නාඩු ධීවරයින් මුහුදු සීමාව උල්ලංඝනය කරලා ශ්‍රී ලංකාවේ සාගර සම්පත් සොරකම් කිරීම නවත්වන්න ඕන. මේ ඔක්කොම ගැටලුවලට ප්‍රධාන හේතුව තමිල්නාඩු ධීවරයින් ඉන්දීය මුහුදු සීමාවෙන් ඔබ්බට ගිහින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීම සිදුකරන එක යි."
"හැම ආණ්ඩුවක් ම කළේ මේක ම යි. ලිපි ලියන එක.. ඔයාලා වෙනස්. එක ම ලිපි ලියන්න එපා.. මධ්‍යම ආණ්ඩුව කවදාවත් උදව් කළේ නැහැ. ශ්‍රී ලංකාවේ දෙමළ මන්ත්‍රීවරුන්ට කෙලින් ම කතා කරලා ඔවුන්ට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට කතා කරන්න කියන්න," සෙන්තිල් කන්නන් ඉන්දීය මහ ඇමතිවරයාගේ ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත.
'විජෙයිගේ දේශපාලනය ශ්‍රී ලංකාවට එල්ල කරන බලපෑම'
මේ අතර, තමිල්නාඩු දේශපාලනයේ පවතින උණුසුම් තත්ත්වයන් මෙරට දේශපාලනයට ද බලපෑම් එල්ල කළ හැකි අවස්ථා පවතින බව ජාත්‍යන්තර සබඳතා පර්යේෂක සහ උපදේශක ආචාර්ය හසිත් කන්දඋඩහේවා බීබීසී සිංහල සේවයට පැවසීය.
"තමිල්නාඩුවේ නව මහ ඇමති විජෙයි බලයට පත්වීමත් එක්ක ලංකාවේ දේශපාලනයට යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන් ම මැතිවරණ සමයේදී ඔහු කරපු කච්චතිව් දූපත පවරා ගැනීම සහ ඉන්දියාවේ තමිල්නාඩුව ආශ්රිත ප්‍රදේශවල සම්පත් පරිභෝජනය සම්බන්ධයෙන්. විශේෂයෙන් ම මුහුදේ මත්ස්‍ය සම්පත් සම්බන්ධයෙන්.
මහ ඇමතිවරයා බලයට පත්වුණාට පස්සේ සිදුකරපු ප්‍රධාන කාර්යයන් කිහිපය අතර ඔහු ඉන්දියාවේ විදේශ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා, ලංකාවේ රඳවාගෙන ඉන්න ඉන්දීය ධීවරයින් නිදහස් කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. මේක පළවෙනි කරුණ.
දෙවැනි කරුණ හැටියට මම හිතෙනවා ගොඩක් වෙලාවට ඔහු ඉන්දියාවේ මධ්‍යම රජයට බලපෑම් කරන්න පුළුවන් කච්චතිව් දූපත සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකට තීරණාත්මක සාකච්ඡාවකට යන්න කියලා. මම හිතන්නේ දූපත නැවත පවරා ගැනීමකට වඩා මේ දූපත ආශ්රිත මුහුදේ සම්පත් පරිභෝජනය කරන්න ඉන්දියාවේ මධ්‍යම රජය නම්මවා ගන්න ගොඩක් වෙලාවට තමිල්නාඩුවේ මහ ඇමතිවරයා කටයුතු කරන්න ඉඩ තියෙනවා. මේක ඇතැම් විදිහකින් ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කරන්න පුළුවන්.
මොක ද අපි ගොඩක් සංවේදී යි අපේ භුමි කලාපයන් සම්බන්ධයෙන්. අනිත් අතින් ඉන්දියාවේ භුමි කලාපයේ සම්පත් පරිභෝජනය සම්බන්ධයෙන් ඉල්ලීමක් කළොත් ඒක රාජතාන්ත්‍රික වශයෙන් රටවල් දෙක අතර යම් ගැටලුසහගත තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන්.
තුන්වැනි කරුණ හැටියට ගත්ත ම තමිල්නාඩු දේශපාලනය උණුසුම් වෙනකොට අපේ රටේ උතුරේ දේශපාලනයත් උණුසුම් වෙනවා. පළාත් සභා මැතිවරණය වගේ මැතිවරණයන්ට එතැනදී බලපෑමක් එල්ල වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් එතැනදී උතුරේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අභිබවා සාපේක්ෂව අලුත් දේශපාලන පක්ෂවලට බලයට එන්න හැකියාව තියෙනවා.
හතර වෙනි කරුණ තමයි දිගින් දිගට ම මේ වගේ ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට බලපෑමක් තමිල්නාඩුවෙන් එල්ල වුණොත් මේකට කොහොම ද දකුණේ දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ, කියන එක ගැටලුවක් තියෙනවා. දැනට ලංකාව සහ ඉන්දියාව අතර සුහදශීලී සබඳතාවන් තියෙන්නේ. ඒ වගේ ම බොහොම සුහදතාවයන් මත ගනුදෙනු සිදුකරනවා ආර්ථික, තාක්ෂණික ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ. ඉතිං මේ තත්ත්වය වෙනස්වීම කොයිතරම් විදිහට ශ්‍රී ලංකා - ඉන්දියානු සහ ශ්‍රී ලංකා - චීන සබඳතාවලට යොමු වීම වෙන්න පුළුවන් ද? කියන එකත් ගැටලුවක් වෙලා තියෙනවා. මොක ද මේ වෙද්දී ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ චීන සංචාරයත් සිද්ධ වෙමින් තියෙනවා. මේ හැම දෙයක් ම එකට ලින්ක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි යි."