ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහ බැංකු බැඳුම්කර: 'අර්ජුන, රවි සහ අර්ජුන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනා පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නෑ'
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ බැඳුම්කර නිකුතුවකදී රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමති රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ තිබූ නඩුවේ පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබූ චෝදනා එම විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දී තිබූ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා (ජූනි 1) ඉවත දැමීය.
ඒ අනුව, පොදු දේපළ පනත යටතේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේ ය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මෙම තීන්දුව ලබා දුන්නේ ය.
චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියෙන් මූලික විරෝධතාවක්
2016 වසරේ මාර්තු මස 31 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ බැඳුම්කර නිකුතුවකදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම කළ බවට චෝදනා කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකු විත්තිකරුවන් වශයෙන් නම් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් ගොනු කරනු ලැබ තිබිණි.
2021 වසරේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ විත්තියේ නීතිඥවරුන් මෙම නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නම් කර ඇති බවත් සමාගමකට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් පෙන්වා දී තිබිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස සෙසු විත්තිකරුවන්ට ද අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව විත්තියේ නීතිඥවරුන් විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කරමින් ප්‍රකාශ කරනු ලැබ තිබිණි.
දෙපාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2021 වසරේ දෙසැම්බර් මස 6 වන දා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාව පිළිගෙන තිබිණි.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතිපතිගෙන් ඇපෑලක්
පසුව මෙම තීරණය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන ලද අතර අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කර කර තිබිණි.
ඉන් අනතුරුව එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේ ය.
එම ඇපෑල විභාග කිරීමෙන් අනතුරුව සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන, දණ්ඩ නීති සංග්‍රහයේ 386 සමග කියවිය යුතු පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බව ප්‍රකාශ කළේ ය.
අර්ථ නිරූපණ ආඥා පනත යටතේ සමාගමක් පුද්ගලයෙකු වශයෙන් අර්ථ නිරූපණය කළ යුතු බව ද තීන්දුවේ සඳහන් විය.
ස්වභාවික පුද්ගලයින්ගෙන් පමණක් නොව ආයතනික ව්‍යුහයන් මගින් ද සිදු කර රහසිගත හා සංකීර්ණ මූල්‍ය වංචාවලින් මහජන දේපළවලට සැලකිය යුතු පාඩුවක් සිදුවන බවට ද තීන්දුවෙන් පෙන්වා දී ඇත.
ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450(5)(අ) වගන්තිය යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හැකිතාක් ඉක්මනින්, නොපමාව නඩු විභාගය පැවැත්විය යුතු බවට තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.