සුරේෂ් සලේගේ පෙත්සම: අභියාචනාධිකරණය අද දෙන බව කී නියෝගයට මොක ද වුණේ?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 28 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේ ය.

සුරේෂ් සලේ ඉදිරිපත් කළ මෙම රිට් පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය එහි නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබිණි.

එහෙත්, මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු නිවේදනය කළේ, එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 28 වන දා සිදුකරන බව ය.

මෙම නඩුකරයේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

පෙත්සම්කාර සුරේෂ් සලේ කියා සිටින්නේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව ය.

ඒ අනුව තමන් රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝග බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබී ය.